පළාත් පාලන මැතිවරණය මැයි 6 වැනිදා පැවැත්වීමට දින නියමවීමත් සමඟ දේශපාලන වේදිකාව යළිත් ක්‍රමයෙන් උණුසුම් වීමට පටන් ගෙන තිබේ. මේ වනවිට ඇතැම් දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ද ආරම්භ කර ඇත. පසුගිය සතියේ අවධානයට ලක් වූ තවත් සිදුවීමක් වූයේ හිටපු හමුදා ප්‍රධානීන් කිහිප දෙනකුට මහා බ්‍රිතාන්‍යය විසින් සම්බාධක පැනවීමයි.
ජනපතිගේ පාර්ලිමේන්තු කතාවට දැඩි අවධානයක්
ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ ගෙවී ගිය මාස 4 තුළ රට සුබවාදී අනාගතයක් කරා ගෙන යා හැකි බවට වන විශ්වාසය ඇති කළ හැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ අනුව ආර්ථික ජයග්‍රහණ රැසක් රටට උදා කර දී ඇති බව පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට මෙන්ම විදෙස් සහාය ඇතිව ආරම්භ කරන ලදුව අතරමග නැවතී තිබු සංවර්ධන ව්‍යාපෘති රැසක් ද යළි ආරම්භ කරමින් ස්ථාවරත්වයේ සංඥාව රටට දී ඇති බව සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී අය වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
රට ඉදිරියට ගෙනයෑමේ මෙම වැඩපිළිවෙළට අකුල් හෙළමින් දේශපාලනය කිරීමට කිසිවකු සිතන්නේ නම් ඔවුන් දේශපාලනයෙන් අවලංගු වන බව පැවසූ ජනාධිපතිවරයා අද මෙරට සියලු දේශපාලනඥයන්ට ඇති එකම මාවත රජයේ වැඩපිළිවෙළට අනුගත වීම සහ ආශීර්වාද කිරීම පමණක් බවද කීය. එසේම මාධ්‍ය විසින් දේශපාලනය කළ යුගය අවසන් බවත්, එම යුගය යථාර්ථයක් වූවා නම් වත්මන් ආණ්ඩුව බලයට පත්නොවන බවත් පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් ආණ්ඩුව සෑම විටම ජනතාව සමග සංවාදයේ යෙදෙන දේශපාලන ව්‍යාපාරයක් බව ද පැවසීය.
ඉතිහාසයේ රට ගොඩනැඟීමට ලැබුණු අවස්ථා බොහොමයක් ජාතියක් ලෙස අප මඟගැර ගත් බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා, අද රටට ලැබී ඇති අවස්ථාව ජනාධිපතිවරයා ලෙසත්, ආණ්ඩුව ලෙසත් කිසිසේත් මගහැර නොගන්නා බවත්, මෙරට ආර්ථිකයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරන බවත් අවධාරණය කළේය. තමන්ට හෝ ආණ්ඩුවේ කිසිදු ඇමතිවරයකුට පෞද්ගලික අභිලාෂ නොමැති අතර ඇත්තේ රටත්, ජනතාවත් පිළිබඳ සුබ සිහිනයක් බව පැවසූ ජනාධිපතිවරයා නියත වශයෙන්ම එම සිහිනය මල්ඵල ගන්වන බවත් එම වැඩපිළිවෙළට අකුල් හෙළූ පිරිසක් ලෙස ඉතිහාසයට එක්නොවී රට දිනවීමේ ගමනේ පංගුකරුවන් වන ලෙස තමා විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරන බවත් පැවසීය.
පැයකුත් විනාඩි හතළිහකට ආසන්න කාලයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිදු කළ අය වැය පිළිතුරු කතාව කෙරෙහි පක්ෂ – විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ පමණක් නොව, ආර්ථික විශේෂඥයන් වගේම විදෙස් රටවල තානාපතිවරුන්ගේ ද දැඩි අවධානයක් යොමු වී තිබීම විශේෂත්වයකි.
ජනපති අනුරගෙන් අපූරු කතාවක්
ජනාධිපති අනුර කුමාර මෙහිදී තවත් අපූරු අනාවරණය කළේය.
“ජනාධිපතිවරුන් ජනාධිපති විශ්‍රාම වැටුපක් ගන්නවා; ඇමැති විශ්‍රාම වැටුප ගන්නවා; මන්ත්‍රී විශ්‍රාම වැටුපත් ගන්නවා. මම අද ලියුමක් දුන්නා මට මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා කියලා…” ජනාධිපතිවරයා එසේ කියා නතර නොවී මෙසේද කීවේය: “ඇමැතිවරුන්ට මන්ත්‍රී විශ්‍රාම වැටුප ලැබෙනවා.”
ඒ මොහොතේ පාර්ලිමේන්තු සභා ගැබේ සිටි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උපුල් අභයවික්‍රම ළඟ සිටි මන්ත්‍රීවරයකු සමඟ මෙසේ කීවේය:
“කිසිම හිරිකිතයක් නැතිව මෙහෙම ගසාකන්න පුළුවන්ද! හැබැයි හොඳ වැඩේ ඔය සමහර ඇමැතිවරුන්ගේ නෝනලා දන්නේ නැතිව ඇති ඔහොම පඩි දෙකක් ගන්නවා කියලා…”
ඇමැති විජිතගෙන් එක්සත් රාජධානියට ප්‍රතිචාර
මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකු ඇතුළු සිවුදෙනකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වයි. විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය:
‘ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක’ යන මැයෙන් 2025 මාර්තු 24 වැනි දින එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. එම පුවත්පත් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරයට, එක්සත් රාජධානියේ රජය පුද්ගලයන් සිවුදෙනකුට සම්බාධක පනවා ඇති අතර, ඉන් තිදෙනෙක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීහු වෙති.
වගකිවයුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේ යැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක් සම්බන්ධයෙන් ද එකී පුවත්පත් නිවේදනයේ සඳහනක් වෙයි.
අදාළ පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළු වීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒක පාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි. රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වේ.
වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින අතර, අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු වේ.
ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා වෙත පසුගිය (26) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී දැනුම් දෙනු ලැබිණි.
නාමයෝජනා විසි වීමට හේතු
පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා භාරදීමෙන් පසු සමගි ජන බලවේගයේ ප්‍රබලයන් වන බුද්ධික පතිරණ නායකත්වය දෙන අකුරැස්ස, නලින් බණ්ඩාර නායකත්වය දෙන බිංගිරිය සහ නයනක රන්වැල්ල නායකත්වය දෙන බණ්ඩාරගම යන පළාත් පාලන බලප්‍රදේශයන්හි නාමයෝජනා ප්‍රතික්ෂේප විය. මෙලෙස නාමයෝජනා ප්‍රතික්ෂේප වීම පොදුජන පෙරමුණේ මෙන්ම මාලිමාවේ ද සිදු විය. මීට ප්‍රධානම හේතුව ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පෙන්වා දෙන්නේ මෙවර මැතිවරණයට තරුණ නියෝජනයේ කැපී පෙනෙන වැඩිවීමක් සිදු වීමත් සමඟ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් නාමයෝජනා සමඟ ඉල්ලා සිටීමයි. මෙම සහතික කළ පිටපත ලෙස බොහෝ දෙනෙකු තේරුම් ගෙන ඇත්තේ සමාදාන විනිසුරුවරයකු හෝ නීතිඥයෙකු ඉදිරියේ සහතික කළ පිටපතකි. නමුත් මැතිවරණ කොමිසම ඉල්ලා ඇත්තේ කච්චේරියෙන් හෝ ප්‍රාදේශීය ලේකම් විසින් අනුපිටපතක් යනුවෙන් සහතික කළ පිටපතකි. මෙන්න මේ වැරදි වැටහීම බහුලව නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට හේතු වී තිබේ.
සජිත් කනස්සල්ලෙන්
කෙසේ වෙතත් සජබ ප්‍රබලයන්ගේ නායකත්වයෙන් යුතු නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳ සජබ නායක සජිත් ප්‍රේමදාස කනස්සල්ලට පත්ව සිටී. සහ බිංගිරියේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම උප්පැන්න සහතික පිටපත් නිසා සිදු වුවද බණ්ඩාරගම ප්‍රතික්ෂේප වීම කුමන්ත්‍රණයක් දැයි මේ වනවිට සැක සංකා පහළ වෙමින් තිබේ. රන්වැල්ල නායකත්වය දෙන ප්‍රදේශයට ප්‍රාදේශීය සභා දෙකක් අයත් වෙයි. එනම් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව හා මිල්ලනිය ප්‍රාදේශීය සභාවයි. නයනක පවසන්නේ බණ්ඩාරගම නාමයෝජනා පත්‍රයේ ඇති පක්ෂ මහ ලේකම් අත්සන් කරන පිටුව නාමයෝජනා භාර දීමෙන් පසු අතුරුදන් වී ඇති බවයි. කච්චේරියේ නිලධාරීන් හෝ දිසාපති සැලසුම්සහගතව මෙම පිටුව ඉවත් නොකළ බව සජබ හා නීතිඥයෝ විශ්වාස කරති. බණ්ඩාරගම හා මිල්ලනිය කියන දෙකේම බලයලත් නියෝජිතයා නයනක වන අතර නාමයෝජනා භාර දෙන තෙක්ම සාමාන්‍යයෙන් නාමයෝජනා බහාලූ ෆයිල් කවරය තබාගන්නේ ඔහු සන්තකයේය. එවන් පසුබිමක ඔහු අත වූ එක් නාමයෝජනාවක අවසන් පිටුව තිබෙන්නත් අනෙක්වාහී නොතිබෙන්නත් පුළුවන්කමක් නැති බව ද පක්ෂය විශ්වාස කරයි.
සජිත් හදිසියේම බණ්ඩාරගමට එයි
බණ්ඩාරගම නාමයෝජනා ද ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව පක්ෂ නායක සජිත්ගෙන් හදිසි පණිවිඩයක් ලැබිණි. පසුදා උදෙන්ම ඔහු බණ්ඩාරගම මෛත්‍රී ශාලාවට එන බව කළුතර දිස්ත්‍රික් සියලු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් ඊට සහභාගී වන ලෙසත් ඉන් කියවිණි. බණ්ඩාරගම නාමයෝජනා ප්‍රතික්ෂේප වී ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් සිටි අපේක්ෂකයන් කලබල කරමින් සිටින විට අපේ නායකයා හදිසියේම සිය බලප්‍රදේශයට පැමිණීම පිළිබඳ නයනක හොඳටම බිය විය.
දැනුම් දුන් පරිදි පසුදා උදේම සජිත් ප්‍රේමදාස බණ්ඩාරගමට පැමිණියේය. බණ්ඩාරගම අපේක්ෂකයෝ දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට වූහ. අවුරුදු ගණනාවක් එක දිගට ජයග්‍රහණය කළ අපේක්ෂකයන් මෙන්ම වසර ගණනාවක් තිස්සේ පළාත් පාලන ආයතන සභිකයකු වීමේ අපේක්ෂාවෙන් සිටි පිරිස් විවිධ දේ කියන්නට වූහ. කිසිවකුටත් ජයග්‍රහණය කළ නොහැකි වුවත් ලිස්ට් එකෙන් හරි එක්කෙනකුට දෙන්නකුට ඇතුළට යෑමට තිබූ අවස්ථාව අහිමි කිරීම පිළිබඳ ඔවුහු අප්‍රසාදය පළ කළහ.
ජගත් බාල්දිය පෙරළුවේ කාට ද?
මේ අතර සජබ තවත් ප්‍රබලයකු වූ ජගත් විතානගේ තවත් බාල්දියක් පෙරළා තිබේ. පක්ෂ නායකයා කිසිදු පෙර දැනුම්දීමකින් තොරව එක පාරටම කඩාගෙන බිඳගෙන පැමිණීම ඔහුගේ කේන්තියට හේතු වී තිබිණ. “මම මේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. එකපාරටම කියන්නෙවත් නැතුව මෙහෙම එන එක හරි නෑ. එනවා නම් කලින් මට දැනුම් දෙන්න ඕනෑ. මම දන්නෙත් නෑ මෙහෙම එනවා කියලා…” යනුවෙන් ඔහු දෝෂාරෝපණය කරන්නට විය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ජගත් පසෙකට කැඳවාගෙන ගොස් “කෑගහන්න එපා. මේක මේ හදිසියේ ගත්ත තීරණයක්” යැයි පවසා අස්වසා තිබේ.
ජගත් විතානගේ කළුතර දිස්ත්‍රික්කය පුරා කියාගෙන යන කතාවක් ගැනත් සජබ තුළ මේ වනවිට කසකුසුවක් ඇති වී තිබේ. එනම් ඉම්තියාස් බාකීර් මාකාර් පක්ෂයේ සභාපති තනතුරින් ඉවත් වෙනවා නම්, ඒ තනතුර තමාට අවශ්‍ය යැයි ජගත් පවසා තිබේ. ජගත් මේ කතාව කියා ඇත්තේ ද මුස්ලිම් ගම්මානයකට ගොස් ඉම්තියාස්ගේ ප්‍රබල ආධාරකරුවකුගේ නිවෙසකට ගොස්ය. එහි සිටි මුස්ලිම් තරුණයකු එහිදී අපූරු කතාවක් කියා තිබේ. “ඇත්තටම හොඳයි ජගත් මහත්තයා, අපේ සර් ඉල්ලා අස් වෙනවා. ඔබතුමා ඒක ගන්න එක හොඳයි” යනුවෙන් පවසා තිබේ. තරුණයා එසේ පැවසුව ද ජගත් එතැනින් පිටව ගිය පසු රැස්ව සිටි පිරිස අතර කතාබහ වී ඇත්තේ වෙනම කතාවකි. ජගත් වැන්නකුට, ඉම්තියාස් දැරූ තනතුර වැනි භාරධුර තනතුරක් දැරිය හැකිදැයි ඔවුනොවුන් අතර කතාබහ ඇති විය.
රනිල්ට චීනයෙන් උපන්දින කේක්
ගෙවුණු සතිය රනිල්ට අධික කාර්යබහුල කාලයක් විය. 24 සඳුදා රනිල්ගේ උපන්දිනය යෙදී තිබිණි. එය අතරතුර දේශපාලන හමු රැසක් ද යෙදී තිබිණි.
රනිල්ට ඉකුත් සතියේ ආන්දෝලනාත්මක තැනකින් සුහද ඇරියුමක් ලැබුණේය. ඒ චීන තානාපති කාර්යාලයයි. ඒ ඇරියුම රනිල්ගේ උපන්දිනය වෙනුවෙන් චීනයෙන් උපන්දින පාටියකටය. ඒ සාදය තිබුණේ උපන්දිනයට පෙර යෙදුණු සෙනසුරාදා රාත්‍රියේය.
රනිල්-මෛත්‍රී යුවළ සහ චීන තානාපති යුවළ ඊට සහභාගී වූහ. සාදය අවස්ථාවේ ගත් ඡායාරූපයක්ද තානාපති කාර්යාලයෙන් මාධ්‍යයට නිකුත් කර තිබිණි. උපන්දිනයටත් කලින්ම චීනය රනිල්ට සාදයක් දීම ගැන දේශපාලන ලෝකයේ විවිධ කතාබහ ඇති විය.
රනිල් මාධ්‍යවේදී ලසන්තගේ නිවෙසට
ගිය ඉරිදා රනිල් හිතවතකු බලන්නට පිළියන්දලට ගියේය. ඒ අන් කවරකුවත් නොව ලක්බිමේ හිටපු මාධ්‍යවේදි ලසන්ත වීරකුලසූරියයි. ඔහු මේ වනවිට රෝගි තත්ත්වයෙන් පිළියන්දල නිවෙසේ සිටී.
“උපන්දිනේට කලින් මට ලසන්ත බලලා එන්න තිබුණොත් හොඳයි” රනිල් එසේ ප්‍රකාශ කළේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් චින්තක, හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සහ තවත් මාධ්‍ය සගයෙක් සමඟයි. ඒ අනුව ඔවුහු ලසන්තගේ පවුලේ අය සමඟත් සාකච්ඡා කොට ගමන සංවිධානය කළහ. ඔවුහු ද රනිල් සමග මේ ගමනට එක්වූහ.
හිටපු ජනාධිපතිවරයා තම නිවෙසට පැමිණ සිටිනු දුටු ලසන්තගේ දෙනෙත් කඳුළින් තෙත් වූයේ කියාගන්න බැරි සතුට නිසාය. එම නිවෙසේ දිගු වේලාවක් රැඳී සිටිමින් ලසන්තගේ රෝගී තත්ත්වය ගැන විමසා බැලූ රනිල් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග ගැනත් කතිකා කරගත්තේය.
රනිල් කියන්නේ හැඟීමක් දැනීමක් නැති මිනිහෙක් යැයි පිටින් බලා නිගමනය කරන අයට මේ පුවත අමුතු සිදුවීමක් විය. රනිල් සහ මාධ්‍ය සගයෝ ලසන්තගේ නිවෙසින් පිටවූයේ කළු කෝපි කෝප්පයක් ද පානය කිරීමෙන් අනතුරුවය.
රනිල්ගෙන් බන්දුලට යෝජනාවක්
හිටපු ඇමැති බන්දුල ලියූ ‘ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය’ පොත ඉකුත් බදාදා ජනගත කෙරුණේ රාජගිරිය බැංකු පියස ශ්‍රවණාගාරයේදීය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ හිටපු ජනපති රනිල්ය.
“ලංකා ආර්ථිකය ඍණ වූ මෑතකාලීන අවස්ථා දෙකේදීම බන්දුල සහ මම එකට හිටියා. 2002 වසරේ ආර්ථිකය ඍණ වූ අවස්ථාවේදීත් 2023 වසරේදීත් අපි එක්ව සිට ඊට විසඳුම් සෙවුවා. ඒ ගැනත් තවත් පොතක් ලියන ලෙස මා බන්දුලට ආරාධනා කරනවා” යැයි රනිල් එහිදී කීය. හිටපු කථානායක මහින්ද යාපා, දයාසිරි, වජිර, තිස්ස අත්තනායක, කරූ, ආචාර්ය සමරතුංග ඇතුළු දේශපාලකයෝ රැසක් මීට එක් වූහ.
පොත එළිදැක්වීමේ උත්සවයෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයේදී දේශපාලන නායකයෝ විවිධ මාතෘකා ගැන කතා කළහ.
රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි බව රනිල් කියයි.
රණවිරුවන් කිහිප දෙනෙකුට බ්‍රිතානයේ සම්බාධක පැනවීම දේශපාලන ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. බ්‍රිතාන්‍යය අදාළ සම්බාධක පැනවීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව රනිල් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර හමුවක් පැවැත්විණි. ඒ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදීය. එහිදී රනිල් අදාළ සම්බාධක පැනවීම ගැන තම ස්ථාවරය දැනුම් දී තිබේ.
අල් ජසීරා සාකච්ඡාවේදී ද ශවේන්ද්‍ර සිල්වා ගැන ප්‍රශ්නයක් රනිල්ට යොමු විය.
“චෝදනා තිබේ නම් පරීක්ෂණයක් කරන ලෙසත් ඊට මුහුණ දීමට සූදානම් බවත් ශවේන්ද්‍ර මට දැනුම් දුන්නා. නමුත් ඒ ගැන පරීක්ෂණයක් කරන්නට චෝදනා කිසිවක් තිබුණේ නැහැ” යනුවෙන් රනිල් අල් ජසීරාවට පිළිතුරු දී තිබිණි.
“මම මගේ ස්ථාවරයන් ගැන හැම වෙලේම කෑගහලා නොකිවුවට රණවිරුවන් කිසිවෙකුත් දංගෙඩියට යැවීම වෙනුවෙන් පෙනී සිටියේ නෑ. එල්ටීටීඊ හිතවාදියා හිතලු කතන්දර ගෙතුවට, ඉතිහාසයේ කිසි දවසක රටට අහිතකර තීරණයක් අරගෙන නෑ” රනිල් තම දේශපාලන හිතවාදියකු සමඟ එසේ පවසා තිබිණි.
සජිත්ට වජිරගෙන් චෝදනාවක්
“හරි විපක්ෂ නායකත්වයක් නැති නිසා විපක්ෂය අද අතරමංවෙලා” මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී වජිර කීවේ වර්තමානයේ ආණ්ඩුව පැත්තෙන් නැඟන ප්‍රශ්නවලට විපක්ෂයේ ගොළුවත ගැන විස්තර කරමිනි.
ඊට පිළිතුරක් දෙමින් රනිල් අතීතයේ විපක්ෂවල ස්වරූපය විස්තර කළේය:
“ජේ.ආර්. ජයවර්ධන එදා විපක්ෂ නායකව සිටියදී විපක්ෂයට තද නායකත්වයක් ලබා දුන්නා. ආණ්ඩුව කොතරම් ප්‍රබල වුණත් විපක්ෂයේ බලය ශක්තිමත් කරන්නට ඔහු කාර්යශූර වුණා. මමත් විපක්ෂ නායක ලෙස කටයුතු කරද්දී ආණ්ඩුවල ජනපීඩක ක්‍රියා හමුවේ මේ ආණ්ඩුවලට ලොකු පීඩනයක් ලබා දුන්නා. ඒත් දැන් විපක්ෂ නායක ඉන්නව ද නැද්ද නෑ.”
එජාප – සජබ බෙදීම තවදුරටත්
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය සමගි කිරීමේ වෑයම මේ වන විට අසාර්ථක වී තිබේ ඒ සම්බන්ධයෙන් වැඩිම චෝදනාව එල්ල වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටය.
“සජිත් හිතෙනවා නම් රනිල් එයාගේ යටතේ ඉන්න ඕනෑ කියලා, ඒ තරම් විහිළුවක් තවත් නෑ” එජාප සභාපති වජිර අබේවර්ධන කීවේය.
“පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් අතේ තිබ්බ ජයග්‍රහණය උදුරලා අරගෙන අනුර කුමාරට දුන්නේ රනිල් කියලයි සජිත්ල කියන්නේ…” සාගල පැහැදිලි කළේ ඔහුට ලැබුණු තොරතුරකි.
“ඒ ජනාධිපතිවරණයේදී වුණේ හරිම දේ. මේකෙන් ජේවීපී එකට අනාගතයක් නැති වෙනවා. සජිත් දිනුවා නම් ඒක තමයි රයිට් පොලිටික්ස්වල අවසානය...” වජිර වැඩිදුරටත් කීවේය.
රාජිතට අලුත් වගකීමක් බටලන්ද තවමත් නොනිමි මාතෘකාවකි
“ඔය ජේවීපී එක මැරූ අයගේ ලිස්ට් එක හදන්න. තලතාවත් ඒකට සම්බන්ධ කරගන්න. ඒ පවුල්වල අය සම්බන්ධ කරගෙන මාධ්‍ය හමු තියන්න.” රනිල් වික්‍රමසිංහ එසේ ප්‍රකාශ කළේ දොස්තර රාජිත සේනාරත්නටය.
“ඔව් ඒක හොඳ වැඩක්, කරන තරමක් අපරාධ කළේ ඒගොල්ලෝ. ඒවා ගැන රටට කියන්න ඕනෑ” රාජිත කීවේය.
මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ බටලන්ද වධකාගාරය ගැන පමණක් නොව, රටේ තිබුණු වධකාගාර ගැන පරීක්ෂණයක් කළ යුතු බවය.
මාලිමාව ගැන එස්.එෆ්.ගෙන් අනාවැකියක්
පසුගිය දිනක කුරුණෑගලදී ලංකාවේ සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙඳසලක ශාඛාවක් විවෘත විය. මේ සඳහා සහභාගි වන ලෙස ජේ.සී. අලවතුවලට හා සරත් ෆොන්සේකාට පෙර කී වෙළෙඳසල් ජාලයේ හිමිකරු ආරාධනා කර තිබිණි. වෙළෙඳසල විවෘත කිරීමෙන් අනතුරුව ජේ.සී. හා ෆොන්සේකා අතර සුහද කතාබහක් ඇති විය. එහිදී “සජිත් එක්ක මේ වැඩේ කරන්න බෑ, අමාරුයි” යනුවෙන් දෙදෙනා අතර කතාබහක් ඇති විය. පසුව එළියට පැමිණි සරත් ෆොන්සේකාගෙන් පැමිණ සිටි මාධ්‍යවේදීහු පළාත් පාලන මැතිවරණය පිළිබඳ ප්‍රශ්න කළහ. එහිදී සරත් ෆොන්සේකා “මෙහෙමයි, පළවෙනි දේ තමයි සමගි ජන බලවේගයට ගමනක් නෑ. මම සභාපති විදිහට හිටියා. මම ඉල්ලා අස්වුණාට පස්සේ ඉම්තියාස් බාකීර් මාකාර් මැතිතුමා පත්වුණා. එයත් දැන් ඉල්ලා අස්වුණා. චම්පික රණවක ගියා. රාජිත සේනාරත්න ගියා. දැන් ඔක්කොම නායකයො මට්ටමේ අය යනවා. මේ අය යන්නේ සජිත්ගේ දුර්වලතා නිසා. මේ විදිහට යන්න බෑ. සජබ ශක්තිමත් වෙන්න නම් ලොකු වෙනසක් වෙන්න ඕනෑ…” යනුවෙන් මාධ්‍යයට පැවසීය.
එහිදී පෙරළා ප්‍රශ්න කළ මාධ්‍යවේදීන් “දැන් මොකක්ද ඔබතුමා හිතන්නේ මේ මැතිවරණය ගැන?” යැයි විමසූ කල ඔහු “මේ මැතිවරණයත් මාලිමාව අනිවාර්යයෙන්ම දිනනවා. මිනිස්සු ඉන්නේ මාලිමාවත් එක්ක” යනුවෙන් පැවසීය.
මැතිසබයේ ක්‍රීඩා ශුර-ශුරියෝ
5 වැනි වරටත් සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ ජය සංකේත සහ සහතික පත් ප්‍රදානය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී පසුගියද (21) පැවැත්විණි. ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මේ තරගාවලිය සංවිධානය කර තිබිණි.
වජිරගෙන් තේ පැන් සංග්‍රහයක්
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 76 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයක් පසුගිය සඳුදා උදෑසන කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධනගේ සංවිධායකත්වයෙන් මෙම තේ පැන් සංග්‍රහය සූදානම් කර තිබුණි.
රනිල්ගේ පින්කමට කවින්ද හා අජිත් එක්වෙති
රනිල් සහ වජිර සේදවත්ත විහාරස්ථානයට පැමිණෙන විටත් එතැනට විශාල පිරිසක් එක්ව සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට සිය උපන්දිනය වෙනුවෙන් සුබ පැතීම සඳහාය. ඒ අතරින් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ එම පක්ෂයේ සාමාජික අජිත් මාන්නප්පෙරුම මහත්වරුන් එක්ව සිටීම ද කාගෙත් කතාබහට ලක් විය. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි විගසම ඔවුන් දෙදෙනා විසින් රනිල් වික්‍රමසිහ මහතාට සිය සුභාශිංසන එක් කළහ.
අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා දානමය වැඩසටහනට එක්විය. වැඩම කර සිටි සංඝයා වහන්සේට දානය බෙදීම රනිල්ගේ අතින් සිදු වූ අතර, වජිරත් පැමිණ සිටි සෙසු පිරිසත් ඊට එක්වූහ.