ඔබේ අල්ලේ කුජ ග්‍රහයාට අයිති ස්ථාන තුනෙන් දෙකක් පිළිබඳව පසුගිය ලිපියෙන් විස්තර කළා ඔබට මතක ඇති. කුජගේ බලය ඇති අනිත් ස්ථානය කුජ තලාවයි. ඒ පිළිබඳවයි මෙවර ලිපියෙන් විස්තර කරන්නේ. කුජ තලාව පිහිටන්නේ අල්ල වටේට තියෙන ග්‍රහ මණ්ඩලවලට මැදි වෙලා. රූපසටහනින් ඔබට එය පැහැදිලි වේවි. බැලූ බැල්මටම එසේ පෙනුනත් අනිත් ග්‍රහ මණ්ඩලවලට බලපාන්නේ නැතිව ස්වාධීනව ක්‍රියාකාරිවන තලාවක් වශයෙනුයි හස්ත රේඛා විද්‍යාවේදි කුජ තලාව හඳුන්වන්නේ.
කුජ තලාව හොඳට පිරී, සිනිඳුවට පිහිටා ඇත්නම් එය ඉතා හොඳ වාසනාවන්ත ලකුණක්. ඕනෑම අවදානම් බැරෑරුම් වැඩකට වුවත් නොබියව ඉදිරිපත්වීම ඒ අයගෙ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් වෙයි. දැඩි ආත්ම විශාවසයක් ඇත. ඒ අය පස්සට අදින්නේ නැහැ. එඩිතරකමත් ඒ වගේමයි. ඍජු ප්‍රතිපත්ති ඇති ඔවුන් විනෝදකාමි ජීවිත ගත කරනවා. ගේදොර, ඉඩකඩම්, යානවාහන ආදි ලෞකික සැප සම්පත් ලැබීමටත් එවැනි පිහිටීම් බොහෝදුරට හේතු වෙයි. කුජ තලාව තරමක් පහත්වෙලා තිබීම වුවත් සුබපල දෙන පිහිටීමක් බව කිව හැකිය. තැන්පත් විනීත ගතිගුණ ඇති එවැනි අය කාරුණික හදවත් ඇත්තන් ද වෙයි. පැරණි සිරිත් විරිත්වලට ගරු කරයි. සමාජ සේවා කටයුතුවල යෙදෙන අයට තිබිය යුතුම පිහිටීමක් වශයෙනුත් එය හඳුන්වාදිය හැකියි.
‘කුජ තලාව’ හුඟාක්ම වළ ගැසී තිබීමෙන් කුමක්ද වෙන්නේ කියා අපි දැන් විමසා බලමු. ඒක නම් ඉතා අවාසනාවන්ත පිහිටීමක්. අතේ අනිත් ග්‍රහමණ්ඩලවලින් කියැවෙන සුබ පල නැති බංකර දමන්නටත් එවැනි පිහිටීම් හේතු වෙනවා. බොහෝ අවස්ථාවල බලාපොරොත්තු නැති නොයෙකුත් කරදර නිසා එවැනි අය අවාසනාවන්ත ජීවිතයකට යොමුවීමට ඉඩ ඇති නිසයි එසේ සඳහන් කරන්නෙ.
කුජ තලාවට තාරකා ලකුණක් පිහිටියොත් එය ඉතා අසුබයි. යාන වාහනවලින් සිදුවෙන හදිසි විපතක් ඒ මඟින් පෙන්නුම් කරයි. දිළින්දෙක් හෝ සල්ලාලයෙක් හෝ වෙන නිසා කුජ තලාවේ පිහිටි දැල් ලකුණත් ඒ වගේම අසුබයි. කාගේ හෝ අතක කුජ තලාව මැද චතුරස්‍රයක ලකුණක් වැටිල තිබේ නම් පිරිමියෙකුට නම් අනියම් ගැහැනියකුත් ගැහැනියකට නම් අනියම් පිරිමියෙකුත් ලැබීමට එවැනි පිහිටීම් හේතු වන බව කියැවේ. පැහැදිලිව පිහිටි කතිරයක ලකුණක් කුජ තලාවේ තිබීමත් වඩා සුබ පල දෙන පිහිටීමක්. ධනවත්වීම සහ බලවත්වීමට එය හේතු වෙයි. රෝගී වන නිසා දූපත් ලකුණ කුජ තලාවට අසුබයි. කුජ තලාව මැද ත්‍රිකෝණයක ලකුණක් වැටී ඇත්නම් එම තැනැත්තා හොඳ ඤාණ ශක්තියක් ඇති අයෙක් වෙන්නම ඕන. දාර්ශනික අදහස් ඇති අයෙක් වෙන්නත් හේතු වෙනවා. ඕනෑම දුකක් වේදනාවක් විඳ දරා ගැනීමේ ශක්තියක් ඒ අයට උපතින්ම උරුම වෙනවා. මහත්මා ගාන්ධිතුමාගේ අල්ලේත් එවැනි පිහිටීමක් තිබුණ බව පත පොතේ සඳහන් වෙයි. එම පිහිටීම් ඔහුගේ චරිතයටම ගැළපෙන බව අපිටත් හිතාගත හැක. අල්ලේ පිහිටන ග්‍රහ මණ්ඩල පරීක්ෂා කිරීම ද ප්‍රවේශමෙන් කළ යුත්තක්. සමහර මණ්ඩලයක් ඒ එක්කම තියෙන වෙනත් මණ්ඩලයක් සමඟ මිශ්‍ර වෙලා පිහිටන්නටත් ඉඩ ඇත. ඒ වාගේම සමහර මණ්ඩල විකෘති වී හෝ සම්පූර්ණයෙන්ම අත්ලෙන් අන්තර්ධාන වී හෝ තිබිය හැකිය.
ඔබේ අතේ පිහිටි සිකුරු මණ්ඩල අනිත් සෑම මණ්ඩලයකටම වඩා බලවත්ය කියා අපි මොහොතකට සිතමු. එහෙම නම් සිකුරුගේ ගතිගුණ තමයි ඔබට වැඩියෙන්ම පිහිටා ඇත්තේ. ඒ අනුව අනිත් මණ්ඩල ගැනත් ඒ ආකාරයෙන්ම සිතන්නට අපි පුරුදු වෙන්නට ඕන. දර පැළීම, ගස් කැපීම, පතල් වැඩ, කම්හල් වැඩ ආදි බර වැඩ කරන අයගේ අත්වල සීරීම් කරගැට ආදිය ඇතිවෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. ග්‍රහ මණ්ඩල කර ගැටි වෙන්නත් සිරීම් ආදිය නිසා මණ්ඩල පැහැදිලි නොවෙන්නත් එවැනි බර වැඩ හේතු වෙනවා. එවැනි අවස්ථාවලදී එම ග්‍රහ මණ්ඩලවල ක්‍රියාකාරිත්වය අල්ලේ ප්‍රධාන රේඛාවලටම පැවරෙන බව අපි විශේෂයෙන් මතක තබා ගත යුතුයි. එහිදී රේඛාවල පිහිටීම පිළිබඳව වැඩි සැලකිල්ලක් යොමු කරන්නට ඕන.
ඉකුත් ජනවාරි මාසයේ සිට ආරම්භ කළ හස්ත රේඛා විද්‍යාව යටතේ මේ වන විට අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා, අප්‍රධාන රේඛා, ඇඟිලි හා රාශි දොළහ පිළිබඳව විස්තර කළා ඔබට මතක ඇති. එතැන් පිටන් ගුරු මණ්ඩලය, ශනි මණ්ඩලය, රවි මණ්ඩලය, බුධ මණ්ඩලය, කුජ මණ්ඩලය, චන්ද්‍ර මණ්ඩලය, සිකුරු මණ්ඩලය පිළිබඳවත් ඔබව දැනුවත් කෙළෙමි. අද ඉදිරිපත් කළේ කුජ තලාව පිළිබඳවයි. ඒ අනුව මේ වන විට හස්ත රේඛා විද්‍යාවට සම්බන්ධ ලිපි විසිපහකට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත. මෙතෙක් පළවු එම ලිපි ඔබ කියවා හොඳින් අවබෝධ කර ගත්තා නම් හස්ත රේඛා විද්‍යාව හැදෑරීමේ මූලික අඩිතාලම ඔබ විසින් සකස් කරගෙන ඇතැයි සිතමි. ඉහත විස්තරවලට අමතරව අල්ලේ වැටෙන සුබ, අසුබ සියුම් රේඛා සහ සලකුණු පිළිබඳව ද ඔබ දැනුම්වත් කිරීමට අදහස් කරමි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්