– පාසල් වාර විභාග කාලයේදී අපි කිසිම ප්‍රසංගයක් භාර ගන්නේ නෑ
– ශයිනි ගර්ල්ස් බෑන්ඩ් එකේ මූලිකම දේ තමයි විනය මොන ප්‍රසංගයට කොහේ ගියත් අපේ දරුවන්ට හොඳ විනයක් තියනවා
කණ්ඩායම් සංගීත කිවුවාම අපේ මතකයට නිතැතින්ම එන්නේ පිරිමි සංගීත කණ්ඩායම්. ක්ෂේත්රයේ දී අපිට නිතරම මුණ ගැසෙන්නේ පිරිමි සංගීත කණ්ඩායම්. නමුත් ඒ සමාජ සම්ප්රදාය උඩු යටිකුරු කරන්න ඇහැලියගොඩ පැත්තෙන් අපූරු මැණික් කැට ටිකක් මතුවුණා. ඒ තමයි ශයිනි ගර්ල්ස්. ඔවුන් මේ වෙනකොට මුළු රටේම ජනප්‍රිය කාන්තා සංගීත කණ්ඩායමක්. ශයිනි ගර්ල්ස් කණ්ඩායමේ නිර්මාතෘ නිමල් කරුණාරත්න.
වෘත්තියෙන් යාන්ත්‍රික ඉංජීනේරුවරයකු වූ ඔහු වසර දහ අටක් ලාෆ්ස් හි සේවය කළේය. මේ වන විට තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන ඔහු තමන් විසින් ඇරඹූ සංගීත කණ්ඩායම ගැන පවසන්නේ මෙවැන්නකි.
කොහොමද මේ සංගීත කණ්ඩායමක් හදන්න ඕන කියන සිතුවිල්ල ආවේ.
දවසක් මම දැක්කා මැලේසියානු ජාතික නූර් අමීරා කියන පුංචි දුවක් ඩ්‍රම්ස් වාදනයක් කරනවා. මම ඒ වීඩියෝ එක මගේ දුව අමදිනීට පෙන්නුවා. එතකොට එයා කිව්වා “මටත් ඩ්‍රම් සෙට් එකත් තිබුණා නම් මමත් ඔය වගේ ගහනවා” කියලා එයා මට අභියෝග කළා. ඊට සති 2කට විතර පස්සේ මම එයාට ඩ්‍රම්ස් සෙට් එකක් ගෙනත් දුන්නා. මම දැක්කා දුවගේ අමුතු ජවයක් තියනවා කියලා. ඒ නිසා අපේ ප්‍රදේශයේම ඉන්න සංගීත ගුරුවරයෙක් ටෝනි ප්‍රභාත් ඉලුප්පැල්ල ගෙන්නලා මාස 6ක් දුවට හොඳින් ඩ්‍රම්ස් වාදනය ඉගැන්නුවා.
බෑන්ඩ් එකේ අනෙක් සාමාජිකයන් හමු වුණේ කොහොමද?
දුව ගෙදර ඉඳන් ඩ්‍රම්ස් වාදනය පුරුදු වෙනකොට එයාගේ යාළුවෝ අහල පහල දරුවෝ මේක බලන්න එනවා. ඇවිත් අත්පුඩි ගහනවා. මට හිතුණා ඉතුරු සංගීත භාණ්ඩ ටිකත් හොයාගෙන, ඒ දරුවන්වත් මේ වැඩේට යොදා ගත්තා නම් හොඳයි කියලා. මම දැනගෙන හිටියා ලේඩීස් බෑන්ඩ් එකක් ලංකාවේ හිටියා කියලා. නමුත් ඒ අය ටිකක් වයසින් වැඩි අය. මට හිතුණා දරුවොත් එක්ක වෙනස්ම විදිහේ වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා.
ශයිනි ගර්ල්ස් පටන් ගන්නේ කොයි කාලේද?
ශයිනි ගර්ල්ස් පටන් ගත්තේ 2018 අග කාලයේ දී. 2019 වෙනකොට තමයි අපි බෑන්ඩ් එකක් විදිහට එළියට එන්නේ. ඒ කාලේ මේ දරුවෝ හරිම පුංචියි. ඔක්කොමලා වයස අවුරුදු 15ට අඩු කට්ටිය. බෑන්ඩ් එකේ නායකත්වය දරන්නේ මගේ දුව අමදිනී සත්සරනී.
අධ්‍යාපන කටයුතු සහ සංගීත කටයුතු කොහොමද කළමනාකරණය කරගන්නේ.
අපි දැනට පුහුණුවීම් කරන්නේ බදාදා සහ සෙනසුරාදා දවස් දෙකේ විතරයි. බදාදා හවස 7සිට 10 දක්වාත් සෙනසුරාදා සවස 5 සිට රාත්‍රි 11 දක්වා පුහුණුවීම් කරනවා. ඇත්තටම මේ දරුවෝ යන ක්ලාස්වල ගුරුවරු එයාලගේ කාලසටහන් වෙනස් කරගෙන දරුවන්ට පුහුණුවීම්වලට සහාය ලබා දෙනවා. අනිත් දේ තමයි පාසල් වාර විභාග කාලයේදී අපි කිසිම ප්‍රසංගයක් භාර ගන්නේ නෑ.
කාන්තා සංගීත කණ්ඩායමකට මේ ක්ෂේත්රයේ ඉන්න අපහසුයි නේද?
මම හිතන්නේ ඕනේම දේකට අවශ්‍ය වැදගත්ම සාධකය තමයි විනය. ශයිනි ගර්ල්ස් බෑන්ඩ් එකෙත් මූලිකම දේ තමයි විනය. අප මොන ප්‍රසංගයට කොහේ ගියත් අපේ දරුවන්ට හොඳ විනයක් තියනවා. ඒ වගේම කණ්ඩායමේ කිසිම කෙනෙකුට මගෙන් අහන්නේ නැතිව ඡායාරූපවලට පෙනී සිටින්න, කතා කරන්න බෑ. මේ හැමදේම කරන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට. මගේ දුවත් මේ බෑන්ඩ් එකේ සාමාජිකාවක්. ඒ වගකීම මට තියනවා.
ඔබට සංගීතය පැත්තෙන් තිබෙන අහියෝග මොනවාද?
ශයිනි ගර්ල්ස් දරුවෝ තාම පාසැල් යන වයසේ ඉන්නේ ඒ නිසා ප්‍රසංගයක් භාර ගනිද්දී අපි ඒ ප්‍රසංගය පවත්වන දවස සහ එ් ස්ථානයට ඇති දුර ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. අපි සතිය මැද ප්‍රසංග භාර ගන්නේ නෑ. සිකුරාදා සහ සෙනසුරාදාට ප්‍රසංග භාර ගන්නවා. නමුත් ඉරිදා නම් අපි ප්‍රසංග භාර ගන්නේ කිලෝ මීටර් 100ක දුර ප්‍රමාණයෙන් විතරයි.
ශයිනි ගර්ල්ස් කියන නම දැම්මේ ඇයි?
මට අවශ්‍ය වුණේ ටිකක් වෙනස් විදිහේ නමක් දාන්න. ඒ නිසා ඔය තොරා ගත් නම් කීපයක අගට ගර්ල්ස් කියන කෑල්ල දාලා බැලුවා. ශයිනි කියන්නේ දිදුලන, බබළන යන සිංහල අරුත. මං හිතුවා ඒ නම අපිට හොඳයි කියලා.
හෙට දවසේ බලාපොරොත්තු මොනවද?
අනාගතේ ලංකාවේ සිටින හොඳම සංගීත කණ්ඩායම වෙන්න තමයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම ජාත්‍යන්තරව පිළිගත් විශිෂ්ට බෑන්ඩ් එකක්වීම තමයි අපේ සිහිනය.