“කෙලෙසක කීවත්
ඔබ ගැන මතකය
අමතක කරනු කියා……
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ……”
ගරාගොඩ සිංහල කනිෂ්ඨ විද්‍යාලයේ හැන්දෑවේ පැවැත්වෙන රැස්වීමකදී ගීත ගායනා ද ඉදිරිපත් වන අයුරු දැක පාසල නිමවී නිෙවසට නොයා ඒ දෙස බලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස කැමති කෙනෙකුට සින්දුවක් කීමට නිවේදක අය්යාගෙන් ලද ඇරියුමෙන් හා හා පුරා කියා වේදිකාවට ගොඩ වූ ඔහු, “මා මෙතැනට පැමිණියේ සින්දුවක් ගායනා කිරීමටයි..” කියා සභාවෙන් අවසර ගෙන වරද්ද වරද්දා ගැයූ ගීතය සම වයස් බාලාංශ පන්තියේ ළමයින්ගේ උසුළු විසුළු මධ්‍යයේ වුව ද නිරභීතව ගයමින් ඇරඹි ගමන ගායන දිවියේ වසර හතළිස් පහක් සමරන්නට තරම් දුරක් එන්නට වේ යැයි සිහිනයෙන්වත් නොසිතන්නට ඇත. අසූව දශකයේ තාරුණ්‍යයේ පොපියන චමත්කාරය හදවතින් බදා තුරුලු කර ගන්නට ඒ ගී හඬ ඔස්සේ රැගෙන ආ සුමිහිරි සුසංවේදි ආස්වාදය එදා මෙදා තුර නව දලුලමින් වැඩේ. වරක් ගී හඬ ඇසූ අයෙකුට කිසිදා අමතක කළ නොහැකි ඒ හඬ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායන ශිල්පියාගේ යි.
පුංචි කාලේ ගෙදර ජීවිතය මතකද…?
යටියන්තොට ගරාගොඩ කැලණි ගං මිටියාවතේ සොඳුරු ගම් පියසක මම ඉපදී හැදී වැඩුණා. මගේ අම්මා මේරි නෝනා. තාත්තා හෙට්ටිආරච්චිගේ ගුණවර්ධන. පුංචි කාලේ අපට සින්දුවක් අහන්න රේඩියෝවක්වත් තිබුණේ නැහැ. අපේ තාත්තා මේසන් බාසුන්නැහේ කෙනෙක් වුණාට එයා වැලි ගොඩ දැම්මා. ඒ වගේම වඩු වැඩත් කළා. අපට ලීවලින් සෙල්ලම් බඩු හදලා දුන්නා. වාඩියේ අය උයාගෙන කාලා ඉතුරු කරන සැමන් ටින් ගෙදර අරගෙන ඇවිල්ලා ඒවායෙන් හරිම ලස්සන සෙල්ලම් බඩු කාර්, බස්, ලොරි හදලා තාත්තා අපට දුන්නා. මට සහෝදර සහෝදරියෝ පස් දෙනයි.”
මවුපියන් ගීත ගායනා කළා ද…?
දවසක් තාත්තා වැඩ ඇරිලා ගෙදර එද්දි ලොකු පාන් ගෙඩියක් වගේ එකක් ගෙනාවා. ඒක ටිකකින් අතට අරගෙන වාදනය කරන්න පටන් ගත්තා. අම්මාත් ළඟින් ඉඳගෙන සින්දු කිවුවා. වඩු වැඩ, සිමෙන්ති වැඩ කරන, වැලි ගොඩදාන මගේ තාත්තාට ලස්සනට සින්දු කියන්න, වාදනය කරන්න පුළුවන් කියලා මම දැනගත්තේ එදා යි. ඒ වෙලාවේ මගේ තාත්තා ගැන මට පුදුමාකාර හැඟීමක් ඇති වුණා. ලොකු පාන් ගෙඩියක් වගේ තාත්තා ගෙදර අරගෙන ඇවිත් වාදනය කළේ මැණ්ඩලීනයක් බව මම දැන ගත්තේ පසුවයි. එදා ඉඳලා අපි ගෙදර සින්දු කිවුවා.”
ජීවිතය ආරම්භ කළේ වෘත්තීය ගායකයෙන් විදිහට ද…?
පාසල් අධ්‍යාපනය අවසන් කරලා මම මහවැලි අධිකාරියේ වැඩ කළා. ගෙවල් ගානේ ගිහින් ප්ලාස්ටික් බඩු විකුණුවා. පොළේ එළවළු, කෙසෙල් ගෙඩි විකුණුවා. තව නොයෙක් දේ කළා.ජාතික තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමට අයදුම් කළා. නමුත් ඒකට මාව තේරුණේ නැහැ.”
යෞවන සම්මාන උලෙළ ඔබේ ජීවිතය වෙනස් කළා නේද?
1979 වර්ෂයේ යෞවන සම්මාන තරගයට මම ගීතයක් රචනා කරලා, ඒකට මම ම තනුවක් හදලා, මම ම ගායනා කරලා ඒකේ පද රචනාව තරගයට දැම්මා. සති දෙකකට පස්සේ ලියුමක් ආවා මගේ ගීතය තේරිලා තියෙනවා ඊළඟ වටයේ තරග සඳහා කෑගල්ලට එන්න කියලා. මම ගියා. ලොකු ලොකු වාදකයෝ එක්ක තරගකරුවන් ඇවිත් හිටියා. මට බයත් හිතුණා. මම මැණ්ඩලීනය වාදනය කරමින් මගේ ගීතය ගායනා කළා. දිස්ත්‍රික් තරගයෙන් මාව තේරුණා. අවසාන මහා තරගයටත් ගියා. එතැනදීත් මම ප්‍රථමයා වුණා. මගේ පද රචනාවටත්, තනුවටත් සම්මාන ලැබුණා. මුලදි අයදුම් පත් දාලා ප්‍රතික්ෂේප වෙච්ච යොවුන් ගී කණ්ඩායමට පසුව එයාලම කතා කරලා මාව බඳවා ගත්තා. එතැන ඉඳලා මගේ සංගීත ගමන වෙනස් වෙන්න පටන් ගත්තා. චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, ෂර්ලි වෛජයන්ත, ධම්මිකා බණ්ඩාර වගේ පිරිස මට එහිදී හමු වුණා. බෙල්වුඩ් නැවතිලා පුහුණුවීම් කළා. හරිම ප්‍රබෝධමත් කාලයක් ගත වුණා. ටික කලක සිටන්, අම්මා ජීවන උයන් තෙරේ, මල් මල් විලේ, කෙලෙසක කීවත් වගේ ගීත මම නිර්මාණය කළේ ඒ කාලෙයි. ෂර්ලි වෛජන්ත ගුරුතුමා යටතේ තමයි ඒ කාලේ මම පුහුණුව ලැබුවේ. එතුමාගෙන් ගීත ගොඩාක් මට ලැබුණා. තවලම් අපි යනවා.., ලෝසත වෙත සෙත…, යෙහෙළියක සේ.., සැඳෑ සමයයි.. වගේ ගීත ජාතික තරුණ සේවා සභාවේ සංගීත සමාගම විසින් නිර්මාණය කළ ගීත යි.
වසර 45ක් ගී ලොවේ ඔබේ සහෘද රසිකයින් වෙනුවෙන් පසුගියදා ඔබ නොමිලේ ගී ප්‍රසංගයක් පැවැත්වූවා නේද…?
මගේ ආදරණීය රසික සහෘදයින් නිසා යි අදටත් මට ජනප්‍රියත්වය රැඳී තිබෙන්නේ. එයාලා වෙනුවෙන් මම ‘ඔයා නිසා‘ ප්‍රසංගය පැවැත්වූවා. ගංගාවක් ගලනවා වගේ මගේ ආදරණීය රසික පිරිස මේ ප්‍රසංගය රසවිඳින්න ආවා. ඉඩකඩ ප්‍රශ්න නිසා ගැටලු රැසක් ඇති වුණා. ඒත් අපහසුතාවට පත් වූ කිසි කෙනෙක් මට දොස් කිවුවේ නැහැ. සංගීත ප්‍රසංග මුදලට විකිණෙන මේ කාලේ සෑම වසර පහකටම වරක් මම නොමිලේ ප්‍රසංගයක් පවත්වනවා. කවුරුහරි මගෙන් මුදලට ප්‍රසංගයක් කරන්න ඉල්ලීමක් කළොත් මං ඒ ගැනත් සලකා බලනවා. දැන් මම තරුණ සේවා සභාවෙන් ඉවත් වෙලා නිදහසේ ගෙදර ඉන්න නිසා මට කාලය තියෙනවා. ඒත් මගේ රසික පිරිස වෙනුවෙන් පවත්වන සංවත්සර ප්‍රසංගය මම විකුණන්නේ නැහැ.”
ඔබේ දරුවොත් ඔබේ ගීත ගයනවාද..?
මගේ දරුවන්ට ඉතින් කොහොමටත් පිය උරුමය තියෙනවානේ. ඒත් අවශ්‍යම තැනකදී ඇරෙන්න එයාලා මගේ ගීත ගායනා කරන්නේ නැහැ. කැසට්පට හතළිස් පහක්, සංගත තැටි පහළොවක් විතර මම දැනට කරලා තියෙනවා. නව පරපුරේ බොහෝ අය තරගවලදි මගේ ගීතත් ගායනා කරනවා. එයාලා ජයග්‍රහණ ලබනවා. අපේ ගීත ඉල්ලලා අපිත් එක්ක තරහා වෙන හදවතේ ගායකයෝත් ඉන්නවා. අපේ ගීත අරගෙන එයාලාගේ වගේ ගායනා කරලා, ඒවා සාමාජ මාධ්‍ය ජාලවලින් ප්‍රචාරය කරවලා ඊට පස්සේ එයාලා ඉන්න ප්‍රසංගවලට අපි එනවාට විරුද්ධ වෙන අයත් අද මේ ක්ෂේත්රයේ ඉන්නවා. අපි කවදාවත් අනුන්ගේ ගීතයක් අපේ කරගෙන ඒ හරහා ජනප්‍රය වෙන්න දැඟලුවේ නැ. දුව ළිහිණි, පුතා ගයන මධුවන්ත. ඒ දෙන්නාත් සිංදු කියනවා. එයාලාට අලුත් නිර්මාණ අපි හදලා දෙනවා. පසු කාලෙක මගේ දුවයි, පුතයි එයාලාගේ ගීතවලට අමතර ව මගේ ගීතත් ගයයි.
තුෂාරී කළුබෝවිල