රජයේ පළාත්පාලන සේවයට 1968 දී ලිපිකරුවකු ලෙස එක්වෙමින් වෘත්තීය ජීවිතය අරඹන මාල් විජයරත්න ජ්‍යෙෂ්ඨ ලේඛකයා 1970 දී ශිෂ්‍ය ගුරුවරයෙක් ලෙස ශාන්ත මේරි විද්‍යාලයට ඇතුළත් වෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධියක් ලබා ගන්නා ඔහු උපාධිධාරී ගුරුවරයකු ලෙස සිය අධ්‍යාපනික මෙහෙවර අරඹන්නේ ගැටමාන්න විද්‍යාලයෙනි. එතැනින් කොළඹ රාජකීය විද්‍යාලයට වාණිජ ගුරුවරයකු ලෙස සපැමිණෙන හේ, එහි වසර 20ක් පුරා සිසු නැණ පහන් දල්වන්නට සිය කාලය හා ශ්‍රමය වැය කළේ ය. ඒ අතරේ විෂයානුබද්ධ කෘති රැසක් පාඨකයනට තිළිණ කරන මාල් විජයරත්න 2013 දී සිය ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන සිව්පස මිතුරෝ කෘතිය ජනගත කරයි. නච සෝ නච අඤ්ඤෝ නමින් ජනගත වූ මේ කෘතිය ඔහුගේ ස්වයංලිඛිත අපදානයයි. මේ ඒ පිළිබඳව කරන ලද සංලාපයෙක සංක්ෂිප්තයයි.
තමන්ගෙ ස්වයංලිඛිත අපදානයක් ලියන්න ඕන කියලා හිතුවෙ ඇයි?
මම අවුරුදු 15 ඉඳන්ම හිතන් ඉඳපු නමක් තමයි නච සෝ නච අඤ්ඤෝ කියන එක. දැන් මට අවුරුදු 80යි මම මේක ලියන්න ගත්තේ දැනට අවුරුදු 20කටත් කලින්. පොත් දෙකක් විදිහට තමයි ලියන්න ගත්තෙ. එකක් මගේ ජීවිත කතාව විදිහට. අනෙක මගේ දේශපාලන චින්තනය ලියන එක. ඒ පොත් දෙක වෙන වෙනම ලියලා තිබුණෙ. 2013 වසරෙදි අමරහේවා මද්දුම නැති වුණාට පස්සෙ මට කම්පනයක් ඇති වුණා. එතුමා තමයි මාව සාහිත්‍යයට යොමු කළේ. එතුමා තමයි මගේ සාහිත්‍ය ගුරුවරයා වුණේ. එතුමාගේ වියෝවත් එක්ක මට දැනුණු කම්පනය නිසා මම මේ පොත ලියන එක අත්හැරලා දාලා හිටියෙ.
කොරෝනා කාලේ ගෙදරට ම වෙලා ඉද්දි මම ආයෙත් මේක අතට ගත්තා. ඊට පස්සෙ මම දෙකක් ලියන එක පැත්තකට දාලා මේ දෙකම එකක් කළා. ඒකයි නච සෝ නච අඤ්ඤෝ කෘතිය මේ තරම් විශාල පිටු ප්‍රමාණයකින් නිකුත් කරන්න සිද්ධ වුණේ.
කෘතියේ ඔබේ කතාව වගේම දේශපාලන කතාවකුත් තියෙනවා. අපදාන කෘතියකදි එය පාඨකයාට බාධාවක් වගේ කියලා හිතුණෙ නැද්ද?
ඒකට විවිධ අය විවිධ විදිහට තමයි ප්‍රතිචාර දැක්වුවෙ. සමහරු කිවුවා දේශපාලනය දාපු එක හොඳයි
කියලා. සමහරු කියනවා ඒක දාපු එක මගේ කතාවට බාධාවක් කියලා. තවත් සමහරු කිවුවා ඇයි මේ දෙක එකක් කළේ අපරාදෙ කියලා. එක එක්කෙනාගේ මතවාද වෙනස්. හැබැයි මම මට කියන්න ඕන කාරණය කිවුවා. මම හිතුවා මේ වගේ දේවල් දරුවො දැනගන්න ඕන කියලා.
ඔබ කෘතිය ආරම්භයේදී ම පාඨකයාට යෝජනා කරනවා, මේක අපදානයක් විදිහට නොවෙයි නවකතාවක් විදිහට සලකන්න කියලා. මොකද්ද හේතුව?
මේක ඇත්තටම නවකතාවක් තමයි. නවකතාවකින් වෙනස් වෙන්නේ මේ කතාව ඇතුළෙ ඇත්තම නම් ගම් තියෙන නිසා විතරයි. ඒක සාමාන්‍ය කෙනාගේ ඉඳන් මැති ඇමැතිවරු දක්වාම අදාළයි. සමහරු පුදුම වෙනවා මම මේවා ලියපු එක ගැන. මගේ අත්දැකීම් තමයි මම ලිවුවෙ. මට හමුවුණු, ඇසුරු කරන්න ලැබුණු චරිත ගැනත්, මට එයාලා එක්ක තියෙන අත්දැකීමුත් ලිවුව එකයි මම කළේ.
සමහරු හිතුවොත් ඔබ ලියපු දෙයින් ඔවුන්ගෙ ජීවිතවලට අගතියක් වුණා ද කියලා. මොකද බොහෝ දේවල් තියෙනවා මේ කෘතිය ඇතුළෙ පොදු පාඨකයා නොදන්නා…උදාහරණයක් විදිහට නිහාල් නෙල්සන් ගැන තියෙන කරුණු ගත්තොත්?
මම හිතනවා එහෙම නොවේවි කියලා. මොකද මම කතා කරන්නේ මගේ අත්දැකීම්. නිහාල් නෙල්සන්ම ඒ කාලෙ මට කිව්වා ‘උඹ නම් මාර මිනිහෙක්. මේ දේවල් උඹ කිවුවෙ නැත්නම් වෙන කවුරුත් කියන්නෙත් නෑ‘ කියලා. මට පොත ලිවුවට පස්සෙ කිසිම දේශපාලනඥයෙක්වත් කතා කළේ නෑ. මොකද මේ මගේ කතාව ඇතුළෙ තියෙන ඔවුන්ගෙ කතා පමණයි. මම හරි කැමැතියි ජීවිත දිහා බලන්න.
මේ පොත ඇතුළෙන් පේන තවත් දෙයක් තමයි මේක ඔබේ කතාව වුණාට මේ රටේ දශක පහ හයක දේශපාලන, සමාජීය හා ආර්ථික කතාව මේ ඇතුළෙන් විද්‍යමාන වෙන බව…
මම හිතනවා, සාමාන්‍යයෙන් නවකතාවක් කියවන වැඩිහිටියන්ට ඒ පොත ඇතුළෙන් යම් දෙයක් දැනෙන්න ඕන කියලා. ඒකෙන් කියන්නෙ නවකතාවකින් සමාජයක් හදනවා කියන එකක් නොවෙයි. ඒ චරිත අනුසාරයෙන් සමාජය දිහා සාධාරණව, යුක්තිසහගතව හා උපේක්ෂාශීලිව හිතන්න පාඨකයාට අවකාශය විවර වෙන්න ඕන කියලා මම හිතනවා. එයයි ලේඛකයාගේ වගකීම. මම කපමින් කොටමින් හදමින් ලියමින් මේ කෘතිය කාලයක් තිස්සෙ වියමන් කළේ ඒ වෙනුවෙනුයි.
මේ මහා මතක සමුදායක්. ඒවා ඔබේ ස්මරණයේ මෙච්චර පැහැදිලිව සටහන් වුණේ කොහොමද? නැත්නම් මේ සිදුවීම් ගැන ඔබ දිනපොතක සටහන් තිබ්බාද?
පොඩි පොඩි සටහන් කෑලි තිබුණා. ගොඩක් තිබුණෙ හිතේ. මට හොඳ මතකයක් තියෙනවා. මගේ පුංචි කාලේ ඉඳන් සිදුවුණු සිදුවීම් සියල්ල මට අද වගේ මතකයි. මට පශ්චාත්තාපයක් දැනෙනවා ඇයි මම ඒ කාලේ දිනපොතක් පාවිච්චි නොකළේ කියලා.
සුමුදු චතුරාණී ජයවර්ධන