Home » අරුණෝදයට අත වනන විකුම්පුර වැසියෝ

අරුණෝදයට අත වනන විකුම්පුර වැසියෝ

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

1985 ජනවාරි මස 26 වෙනිදාය. උතුරේ වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වැදුණු ත්‍රස්තවාදීන් මන්නාරම අඩම්පන්හි සිංහල ජනතාව පදිංචි ගම්මානවලට පහර දී එහි සිටි සිංහල ජනතාව ඝාතනය කරන්නට විය. දිවි බේරාගන්නට සමත් වූ ජනතාවෝ ඇදිවත පිටින් එයින් පලා විත් අනුරාධපුර අවට කඳවුරුවල නවාතැන් ගත්හ.

ඒ ඇතැමකුගේ මව පියා නැත, තවත් අයකුගේ පවුලේ සියලු ඥාතීන් මිය ගොසිනි. අම්මා, තාත්තා ජීවිතය රැක ගෙන ඇතත් දූ දරුවන් මිය ගොසිනි. මෙවන් ශෝකාන්ත රැසක් මැද මරදන්කඩවල අනාථ කඳවුරක දිවි ගෙවූ අඩම්පන් ජනතාව ගැන සොයා බලන්නට හමුදා නිලධාරීහු කටයුතු කළහ.

ත්‍රස්තවාදීන්ගේ යුද්ධය 2009 වසරේ අවසන් විය. සරණාගත කඳවුරුවල සිටි අය ක්‍රමයෙන් තම නිවාස, ජනපද කරා යන්නට විය. එහෙත් අඩම්පන් ජනතාවට එසේ යන්නට නොහැකි විය.

එයට හේතු වූයේ ඔවුන්ගේ නිවාස ගම් බිම් සියල්ල ඒ වන විටත් රජයේ නිලධාරීන්ගේද සහාය ඇතිව දෙමළ ජනතාවට බෙදා දී තිබීමයි. එවකට මන්නාරම මුරුංගන්හි 542 බළ සේනාධිපතිවරයාව සිටි කර්නල් විකුම් ලියනගේ විසින් මේ ජනතාව යළි පදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලදී.

ඒ වන විටත් අඩම්පන්හි සිංහල ජනතාව පදිංචිව සිටි ඉඩම් ජනතාවට බෙදා දී තිබුණු හෙයින් ඒ සම්බන්ධ අර්බුද ඇති කර ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බව තේරුම් ගත් ඔහු මන්නාරම ප්‍රධාන මාර්ගයට යාබඳව පිහිටි මුරුංගන්හි භූමියක් මේ ජනතාවට සුදුසු බව තීරණය කර ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට දැනුම් දෙන ලදී.

අනුරාධපුරයේ සරණාගත කඳවුරුවල දිවි ගෙවූ අඩම්පන්හි ජනතාවට රජයෙන් ලබා දුන් ආහාර පාන හැර වෙනත් කිසිදු සරණක් නොතිබිණි. ගේ දොර හරකාබාන මේ සියල්ල ඔවුනට අහිමි විය.

ඒ කෙසේ වුවත් අනුරාධපුරයේ සිටි අවතැන් ජනතාව යළි මන්නාරමේ මුරුංගන්හි නරිකාඩු නම් ගම්මානයේ පදිංචි කරවන ලදී. සිමෙන්ති සංස්ථාවට අයත් වූ අත් හැර දමන ලද මුඩු බිමක් එසේ යළි පදිංචි වීමට ඔවුන්ට ලබා දෙන ලදී.

එහෙත් යළි පදිංචි වූ මේ ජනයාට රජයෙන් ලැබෙන සහන පවා ලබා නොදෙන්නට ඇතැම් රාජ්‍ය නිලධාරීහු කටයුතු කළහ. නරිකාඩුවලට අමතරව සිලාවතුරේ හා මඩුපාර ආසන්නයේ තවත් සිංහල ගම්මාන දෙකක් ස්ථාපිත කෙරුණේ පලවා හරින ලද සිංහල ජනතාව යළි පදිංචි කිරීම සඳහාය.

2010 වසරේ නරිකාඩු ගමට පදිංචියට ආ සිංහල ජනතාව ගැන වරින්වර සොයා බලන්නට ඔවුන් පදිංචි කිරීමට මහත් වෙහෙසක් ගත් කර්නල් විකුම් ලියනගේ විසින් කටයුතු කර තිබුණි. ඔහු එම බල ප්‍රදේශයෙන් කොළඹට පැමිණිය ද එම ජනතාව ගැන සොයා බලන්නට විය.

එම හමුදා නිලධාරියා විසින් ලබා දුන් සවිය නිසා තමන්ට යළි පදිංචියට පැමිණීමට හැකියාව ලැබුණු බව වටහා ගත් ඔවුහු එම ගම්මානයේ නම වෙනස් කර නරිකාඩු වෙනුවට විකුම්පුර යනුවෙන් වෙනස් කරන ලෙස ඉල්ලා තිබුණි. එයට අනුමැතිය ලබා දීමට රජයේ නිලධාරීන් පස්ස ගැසූව ද එම ජනතාව තම උත්සාහය අත හැරියේ නැත. කෙසේ හෝ නරිකාඩු විකුම්පුර ලෙස වෙනස් කර ගැනීමට ජනතාවෝ සමත් වූහ. එදා නරිකාඩු (අද විකුම්පුර) ස්ථාපිත කරන්නට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ කර්නල් විකුම් ලියනගේ අද යුද හමුදාපතිවරයාය. එදා කර්නල් නිලයේ සිටි ඔහු අද ලුතිනන් ජෙනරාල්වරයාය.

ඔහු විසින් ආරම්භ කළ විකුම්පුර ජනයා තවමත් අසරණය. ඒ රජයේ නිලධාරීන්ගේ ප්‍රතිපත්ති නිසාය. අපි ඔවුන් ගැන සොයා බලන්නට මන්නාරමේ විකුම් ගමට ගියෙමු.

එදා හදා දුන් නිවාස දියුණු කර ගන්නට ඔවුන්ට හැකියාවක් නැත. දරුවන්ට යන්නට පාසලක් පවා නැත. ඔවුන් තවමත් අනාථයන් සේය. ඒ දෙස ඇස් ඇර බැලිය යුතු රාජ්‍ය නිලධාරීන් තම සේවය පැහැර හැර ඇත.

විකුම්පුර වෙසෙන අවුරුදු 68ක් වයසැති ගුණවතී සමරවීරගේ කතාව ඉතාම ශෝකාන්තයකි. ත්‍රස්තවාදීන් පහර දෙන විට ඇයගේ වයස අවුරුදු 28කි. ඒ තරුණිය එදා සිට අද වයෝවෘද්ධ තත්ත්වය දක්වාම ගෙවා ඇත්තේ කඳුළු සලන දිවියකි.

‘‘ මම ඉපදුණේ හැදුණෙ වැඩුණෙ මන්නාරමේ අඩම්පන්වල, අපේ තාත්තට හොඳ ව්‍යාපාරයක් තිබුණා. මම ඉගෙන ගත්තෙ මන්නාරම සිංහල මහා විද්‍යාලයෙ, 1984 කොටි ගහල අපේ ගමේ සිංහල අය කපා කොටල දානකොට මං ළමිස්සියක්, මගේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි හතර දෙනාම කපල මැරුව මේ තියෙන්නෙ ඒ පිංතූර, (ඝාතනය කළ අවස්ථාවේ ඇයගේ පවුලේ පිංතූර පෙන්නුවාය) ඊට පස්සෙ අපි මරදන්කඩවල අනාථ කඳවුරක හිටියෙ අවුරුදු ගණනාවක් එහේ හිටිය. ඒ කාලෙ රජයේ නිලධාරීන් අපි ගැන බැලුව, යුද්ධෙ ඉවර වෙලා අපි 2010 අපේ ගම්වලට ඇවිත් බැලුවහම අපේ ඉඩම් අපි හරි හම්බකරල ගත්ත හරක බාන මේ කිසිවක් අපට නැහැ, අපේ ඉඩම් සේරම දෙමළ ජනතාවට බෙදා දීල, මගේ පවුලේ අය භූමදාන කරපු සුසාන භූමිය සම්පූර්ණයෙන්ම ඩෝසර් කරල දාලා, උපන් බිමේ කිසිම අයිතියක් නැති විදිහට අපට රජයේ නිලධාරීන් සලකළ තියෙන්නෙ.

අපි ගැන සොයල බලපු ඒ කාලෙ 542 බල සේනාවේ අණ දෙන නිලධාරි ලෙස කටයුතු කරපු විකුම් ලියනගේ මහත්තය අපට කිව්ව ආයෙත් අඩම්පන් ගිහිල්ල ප්‍රශ්න ඇති කරගන්න ඕන නැහැ, මුරුංගන් ඉඩම් අරගෙන අපි මේ අය පදිංචි කරමු කියල, ඒ විදිහට තමයි අපි මේ නරිකාඩු ගමට ආවෙ.

මගේ පවුලේ මිය ගිය අය වෙනුවෙන් එක් කෙනෙකුට ලක්ෂ 10ක් බැගින් වන්දි දෙනව කියල අන්තිමට සියලු දෙනාටම ගෙව්වෙ රුපියල් ලක්ෂයයි. ඒ තමයි රජයේ නිලධාරීන්ගෙ වැඩ, අපි පදිංචි වුණාට ග්‍රාම නිලධාරි කිසිම කැමැත්තක් නැහැ. අපිව එළවන්න නොගත්ත උත්සාහයක් නැහැ. පස්සෙ අපේ උප්පැන්න සහතික බලල තමයි මන්නාරම දිසාපතිවරයා අපට මේ විදිහට පදිංචි වෙන්න අවසර දුන්නෙ‘‘

නිවාස 55කින් ආරම්භ කෙරුණු නරිකාඩු හෙවත් අද විකුම්පුර ජනයාට අවශ්‍ය පහසුකම් කිසිවක් නැත. සාමාන්‍යයෙන් මේ ප්‍රදේශවල ජනයාට වගා කරන්නට ගොඩ හෝ මඬ ඉඩම් ලබා දිය යුතු වුවත් එවැන්නක මේ ජනයාට ලැබී නැත. ඔවුන් හෝ ඔවුන්ගේ මවුපියන් කාලාන්තරයක් එසේ වගා කළ අයයි. එහෙත් අද ඒ අයිතිය ඔවුන්ට අහිමි කරන්නට ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් කටයුතු කර තිබීම ඇත්තෙන්ම කනගාටුදායකය.

විකුම්පුර ගම්මානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන එම්. ඒ රණසිංහ පවසන්නේ විකුම්පුර 99%ක්ම යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් බිහිවුණු ගම්මානයක් බවයි. ‘‘ අපට වගා කරන්න අක්කර 10ක් දෙනව කිව්වා, ඒත් ඒ සේරම වචන විතරයි. රජයෙන් රුපියල් 325,000ක් අනුමත වෙලා තියෙනවා යාබද භූමිය සුද්ද කරන්න, නමුත් ප්‍රාදේශීය ලේකම්වරයා ඒ වෙනුවෙන් අදාළ අනුමැතිය ලබා දෙන්නේ නැහැ. යාබද ඉඩම වනජීවි කියලා. පසුව කිව්වා ඒ ඉඩම ඩෝසර් නොකර කැත්තෙන් කපල එළි කරන්න කියල, ඒක මහ අන්දර වනයක් ඒක කැත්තෙන් කපල එළි කරන්න බැහැ. පාර දෙපැත්තෙ ඕන තරම් ඩෝසර් කරල ඉඩම් සුද්ද කරනවා. අපිට පාස් කරපු මුදල්වත් ලබා දෙන්නේ නැහැ අපේ වගා කටයුතු කරන්න.

පානීය ජල ප්‍රශ්නය විසඳනවා කියල කියන්නෙ 2019 අවුරුද්දෙ ඉඳල, අද වෙනකල් අපට විසඳුමක් නැහැ.

අවම වශයෙන් අපට මේ ඉඩම්වලට තවම බලපත්‍රයක් වත් දීල නැහැ. අපි පදිංචි වුණේ 2010 අවුරුද්දෙ අවුරුදු 13ක්ම ඒ කටයුතු පැහැර හැරල. මේ භූමිය සිමෙන්ති සංස්ථාවට අයිති එකක්, රජයට බදු නොගෙවපු කතාවක් කිය කිය වැඩේ මග අරිනව, අපිට ආගමික කටයුතු කරන්න ගමේ පන්සලක් හදාගන්නවත් මේ අය ඉඩ දෙන්නෙ නැහැ‘‘

සිංහල ජනතාව වෙනුවෙන් ස්ථාපිත ගම්මානයක් වුව ද විකුම්පුර සංහිඳියාවේ ගම්මානයකි. එහි දෙමළ ජාතික පවුල් 3ක්ද වාසය කරන අතර ඔවුන්ට ද අත්ව ඇත්තේ එකම ඉරණමකි.

භවානි කෝබියම් දේවනාහිකී පැවසුවේ ඔවුන්ට ද ගෙවන්නට සිදුව ඇත්තේ අනෙක් අය ගෙවනා දිවියම බවයි

‘‘මට ළමයි දෙන්නෙක් ඉන්නව, ඒ අයට කිසිම පහසුකම් නැහැ, ප්‍රවාහන පහසුකම් පවා අපට ලොකුවට තියෙනවා, හමුදාව ලබා දෙන සහනයක් විතරයි අපට තියෙන්නෙ, මේ ගමේ සිංහල දෙමළ කියල වෙනසක් නැහැ, හැමෝම ගෙවන්නෙ එකම ජීවිතයක්, අහල පහල අනෙක් ගම්මානවලට ලැබෙන සැලකිල්ලෙන් අපටත් පොඩි සැලකිල්ලක් හරි ලැබෙනවා නම් ඒක ලොකුම පිනක්‘‘

ඒ. ආර්. ප්‍රේමලතාගේ ස්වාමියා මිය ගොස් ඇත්තේ මීට වසර පහමාරකට පෙර විකුම්පුරදීය. ඇයගේ දැන් වයස අවුරුදු 63කි. ඇයට ආබාධිත අවුරුදු 42ක දියණියක්ද සිටින්නීය.

‘‘අපි ගෙවන මේ ජීවිතේ ගැන හොයල බලන්න කිසිම රජයේ නිලධාරියෙක් එන්නෙ නැහැ, අඩුම ගානේ අපිට සුසාන භූමියක්වත් නැහැ. පොඩි කඩයක් දාගෙන ජීවත් වෙනවා. ආබාධිත මේ දරුවත් එක්ක ළමයි දෙන්නෙක් ඉන්නව. ඒ අය තනියම ජීවත් කරවන එක මට ලොකු ගැටලුවක්. කුලී වැඩක් කර ගන්නවත් අපට පහසුකම් නැහැ. නළ ළිං 8ක් ගම්මානයට තියෙනවා . ඒත් ඒ සේරම ළිංවල වතුර බොන්න බැහැ. ගමේ ඉන්න පාසල් යන වයසෙ දරුවන්ට යන්න ඉස්කෝලයක් නැහැ. ඒ අය කොණ්ඩච්චිය සිංහල ඉස්කෝලෙට යන්න බස් දෙකක යන්න ඕන. ඒකට බස්වලට ගෙවන්න සල්ලි නැහැ‘‘

මන්නාරම 542 බළ සේනාපති කර්නල් මංජුල චන්ද්‍රසේකර අපට පැවසුවේ යුද හමුදාවට හැකි උපරිම සේවාවක් මේ ජනතාව වෙනුවෙන් සිදු කරන බවයි. පවත්නා නීති රාමුවට යටත්ව කළ හැකි සේවාවන් කරනු ලබන බවත් විකුම්පුර ජනයාට අඩු පාඩු රැසක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු හමුදා සෙන්පතියකු වූ ජානක පෙරේරා ඔහු නමින් ගම්මානයක් වැලිඔය ඉදි කළේය. ඒ ජනකපුරයි. අද විකුම්පුර නම ලබා දී ඇත්තේ ජනතාවයි. වෙනස එය නොවේ මේ ජනයාට නැඟී සිටින්නට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙන්නට රජයේ වගකිව යුතු නිලධාරීන්ම අකුල් හෙළීමයි. ඒ ගැන දැන්වත් අවධානය යොමු විය යුතුය. එසේ නොවන සංහිඳියාව කුමක්ද?

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division