Home » සැක සාංකාවලට එන්න නොදී පවුල පරිස්සම් කර ගැනීම ඔබේ යුතුකමක්

සැක සාංකාවලට එන්න නොදී පවුල පරිස්සම් කර ගැනීම ඔබේ යුතුකමක්

by thanushika
October 7, 2023 12:41 am 0 comment

මනෝ උපදේශනය බලාපොරොත්තුවෙන් කථා කරන බොහොමයක් ජීවිත මූලිකවම පීඩාවට පත් කරලා තිබ්බ කාරණාවක් තමයි ”සැකය” කියන්නේ, “එයා ගැන මට සැකයි, එයාගේ හැසිරීම මට සැකයි, එයාට පෙම්වතෙක් ඉන්නව කියලා මට සැකයි“, ඔය වගේ පූර්ණව ඔප්පු නොවූ දහසකුත් දේවල් හදවතින් මවාගෙන තමන් විසින්ම ඒවාට පොහොර සහ වතුර එකතු කරමින් එම සැකය දිගින් දිගටම වර්ධනය කරගෙන ප්‍රශ්නයක් දක්වා ගෙනයන මිනිස්සු සමාජයේ බහුලයි.

මවාගත්ත සැකය කියන්නේ වර්තමානයේ පවුල් ජීවිත අවුල් කරන, අනවශ්‍ය සමාජ ගැටලු බෝකරවන, හිත් පීඩා ඇතිකරවන විෂ බීජය බවට පත් වෙලා හමාරයි.


අපට යම් කිසි කෙනෙක් ගැන හෝ යම් කිසි දෙයක් ගැන සැකයක මූලික සිතුවිලි දැනෙන්න පටන් අරගෙන පණිවිඩය මොළයට යනවාත් සමඟම අපි දිගින් දිගටම තව දුරටත් ඒ ගැන වධ වෙනවා නම් මොළය පවා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න පටන් ගන්නවා. අප අවට සිදුවෙන සියලුම දේ ඒ සැකය තහවුරු කරවා ගැනීමට යොදා ගන්න කියා ඔබේ යටි සිත පවා ඔබට බලකරන්න පටන් ගන්නවා.
උදාහරණයක් විදිහට ඔබේ සහායකයා දින කිහිපයක ප්‍රමාද වී නිවෙසට පැමිණීම ගැන ඔබට සැකයක් ඇති වූ විටෙක, ඔබේ යටිසිත නිතරම වෙහෙස වන්නේ එම සැකය තහවුරු කරගැනීමට අවශ්‍ය දේ එකතු කරගන්නම තමයි. අන්න එතකොට ඔහු ෆෝන් එක බැලුවත්, එළියට ගියත්, නිදාගත්තත්, හිනා වුණත් මොනදේ කළත් ඒ හැමදේම සැකය තහවුරු කරගන්න හේතු විදිහට තමයි ඔබට පෙනෙන්න පටන් ගන්නේ.
අවසානයේ එම අහේතුක සැකය මවාගත්ත සාක්ෂිවලින් තවතවත් පෝෂණය කරගනිමින් ගිනි බෝලයක් බව‍ට පත් වී තමන්ගේ එදිනෙදා ජීවිතයට බාධාකරවමින් හිසරදය, කම්මැළිකම, තරහා ඒම , නොසන්සුන්කම, නින්ද නොයාම වැනි දහසකුත් ලෙඩරෝග ගණනාවක් එක්ක ඔයාගෙ ජීවිතයට රතු එළි පෙන්නන්න පටන් ගන්නවා .
සරලවම ගත්තොත් උපරිමය අවුරුදු සීයකට අඩු වෙච්ච මේ කෙටි ජීවිත කාලය තුළ තවකෙක්ගෙ ජීවිතය පාලනය කරන්න යන එකත් ඒ අය තමන්ගේ රාමුවෙන් පිටතට පනීවිද කියා වධ වෙන එකත්, පැහැදිලිව ඔප්පු නොවූ දේ ගැන වදෙන් පොරෙන් කරුණු එකතු කරන එකත් මේ හැම දේකින්ම වෙන්නෙ තමන්ගෙ මනසේ අභ්‍යන්තර ප්‍රීතිය හා සාමය නැති වෙලා යන එක විතරමයි.
සැකය ඔළුවට දාගෙන ඒ ඔස්සේ හැඟීම් මෙහෙයවලා පසුකාලීනව ඒ සැකය සාක්ෂි ඇතුව ඔප්පු වෙච්ච වෙලාවල් ඉඳ හිටක තියෙන්න පුළුවන් වුණාට හැබැයි සැකය නිසා විනාශ වෙච්ච ජීවිත නම් ඕන තරම් තියෙනවා.‍ යාළුවෙක් ගැන, නෑදෑයෙක් ගැන, සහෝදරයෙක්, දරුවෙක් හෝ කවුරුම ගැන හරි මොනයම්ම දෙයක් ගැන හරි කොයි වෙලාවක ඔබට සැකයක් අවිනිශ්චිත බවක් ඇති වුණොත් පළමුව එම කාරණය ගැන හැඟීම්වලට ඔබ්බෙන් ගිහින් බුද්ධියෙන් හිතල බලන්න. ඉතා පැහැදිලිව පෙනෙන සාක්ෂි හෝ කරුණු ඇත්නම් පමණක් ඒ ගැන තවදුරටත් සොයා බැලීම් කරන්න.
හැකියාව තියනවා නම් හිතේ තියාගෙන වේදනා විඳිමින් ඉන්නේ නැතුව ඒ ගැන සෘජුව අදාළ අයගෙන් අහලා නිරවුල් කරගන්න. මොකද ඔබට පෙනෙන සැක හිතෙන තැනක යථාර්ථය ඊට එහා වෙනමම කථාවක් වෙන්නත් පුළුවන් .
එහෙම නොවෙන අවස්ථාවල හැකි ඉක්මනින් ඒ සිද්ධිය මනසින් බැහැර කරමින් හිත නිදහස් කරගන්න .
අනවශ්‍ය සැකයකට ඔබේ කාලය ශ්‍රමය සහ මානසික සතුට විනාශ කරලා දාන්න ඉඩ දෙන්න එපා . ලොකුම ලොකු කථා ප්‍රශ්න විදිහට බරට බරේ ඔළුව උඩ තියාගෙන විඳවලා විඳවලා බැරිම තැන උපදේශන සේවයේ පිහිට පතාගෙන එන බොහොමයක් ගැටලුවල, සිද්ධිය සංක්ෂිප්ත කරලා කොළයකට අරගෙන ප්‍රශ්නය හොයද්දි ප්‍රශ්නය වෙනුවට ඉතුරු වුණේ කාගෙහරි හිතක කොහෙදි හරි තැනකදී ඇති වුණ පුංචිම පුංචි සැකයක් විතරයි .
එවැනි අනවශ්‍ය මවාගත් සැක සංකාවලට මොන හේතුව නිසාවත් ඔබේ නි‍ෙවසට එන්න නොදී පවුල පරිස්සම් කර ගැනීම ඔබේ යුතුකමක්.

 අනීෂා ජයකොඩි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division