අවසන් වරට තුන් සිංහලය එක්සේසත් කළ සයවැනි පැරකුම්බා මහරජු කුඩා කල හැදී වැඩුණේ අප්‍රසිද්ධවය. තම පුතුට අතුරු අන්තරාවක් වේයැයි බියෙන් පැරකුම්බා කුමරුගේ මව වූ සුනේත්රාදේවිය රහසේ සිය පුතු හදා වඩා ගත්තේ අනාගත රජකම සිය පුතුට උරුම කරදෙනු පිණිසය. එසේ රජකමට පත්වූ රජතුමා තම මෑණියන් සිහිවීම පිණිස එතුමියගේ නමින් පිරිවෙනක් ආරම්භ කරන ලදී. ඒ පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනයි. එය ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1410 බව සැලකේ.
සංදේශ කාව්‍ය කිහිපයකම පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන ගැන වර්ණනා කර තිබේ. එහිදී පැපිලියානේ බුදුමැදුරත්, බෝධියත්, විහාරාධිපතීන් වහන්සේත්, විහාරස්ථාන පරිසරයත් මැනවින් වර්ණනා කර ඇත.
ප්‍රථමයෙන්ම සුනේත්‍රාදේවි පිරිවෙනෙහි පරිවේණාධිපති ධුරයට පත්වූයේ ගලතුරුමුල මේධංකර මහ නාහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක වූ මංගල හිමියන්ය. උන් වහන්සේ මෙරට සංඝරාජ පදවියට පත්වූ පළමු හිමියන්ය. එදා වියත් විනයධර සඟ පරපුරක් වැඩ සිටි මෙම විහාරය වෙත ෂඞ්භාෂාපරමේශ්වර ශ්‍රී රාහුල හිමි වෑත්තෑවේ හිමි, වීදාගම හිමි වැනි මහාහිමිවරුන්ගේ මෙන්ම රාජ රාජමහාමාත්‍යාදීන්ගේ ආශ්‍රය නිශ්‍රය ලැබුණි. මව් බිසව වෙනුවෙන් මෙම පිරිවෙන පිහිටුවීමෙන් රජතුමාගේ අරමුණු කිහිපයක් විය. ඒ අතර සුපේශල ශික්ෂාකාමී මහා සඟ පරපුරක් ඇති කිරීම, ත්‍රිපිටක ධර්ම ග්රන්ථ ලියා ප්‍රචාරය කිරීම, සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට පුදපූජා පැවැත්වීම, මව් බිසවුන් වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව පිංකම් සිදුකිරීම වේ. සියයකට ආසන්න පිරිසක් නේවාසිකව වැඩ වාසය කරමින් ශාසනික වත්පිළිවෙත්හි යෙදේ.
ත්‍රිපිටක ධර්ම ප්‍රචාරණය අතර කේන්ද්රීයස්ථානයක් වූයේද සුනේත්‍රා මහාදේවි පිරිවෙනයි. කෝට්ටේ සෙල්ලිපියේ සඳහන් පරිදි මසකට ධර්ම ග්රන්ථ 1700ක් එක් අයෙකු විසින් ලිවීම කළ යුතු බවට රාජාඥාවක් වේ. එක් ගාථාවක් ධර්ම ග්රන්ථයක් සේ සැලකෙයි. ඒ අනුව එක් භික්ෂුවක් ගාථා 1700ක් එක් මසකට අනිවාර්යයෙන් ම පිටපත් කළ යුතු විය. ග්රන්ථකරණය සඳහා රාජ්‍ය අනුග්‍රහ ලැබුණි. හයවන පරාක්‍රමබාහු රජතුමා එම ශාසනික සේවාව වෙනුවෙන් කෙත්වතු, ගම්බිම් රැසක් විහාරයට පූජා කර ඇත.
1942 වසරේ සිට 2005 දක්වා වසර 63ක් විහාරාධිපති හා පිරිවෙන්පති වශයෙන් ද කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයද හෙබවූ ආචාර්ය, රාජකීය පණ්ඩිත මැදගොඩ ශ්‍රී සුමනතිස්ස හිමියෝ දෙස් විදෙස් සුපතළ මහා මෙහෙවරක් සිදු කළහ. පිරිවෙනේ ඉපැරැණි ස්මාරක අතර දෙතිස්ඵල රුහ බෝධි වෘක්ෂය, පෙති උළුවලින් සෙවිලි කරන ලද පියසි දෙකකින් යුක්ත පිළිම ගෙයත්, එක් මල් වැලකින් සැරසුණු කෝට්ටේ සඳකඩ පහණත් දැක්විය හැකිය.
ඊට අමතරව වසර 150කට වඩා පැරැණි කවුළු දෙකක් කළුගලින් නිමැවූ පහන් දෙකක් දක්නට ඇති මලසුනත් විශේෂ වැදගත්කමකින් යුත් කෝට්ටේ සෙල්ලිපියත් හඳුන්වා දිය හැකිය. මීට අමතරව විහාර වන්දනාවේදී පහන් දැල්වීම සඳහා භාවිත කළ කුහර සහිත පහන් කණුද පෙන්වා දිය හැකිය. විහාර පරිශ්‍රයද අලංකාරව අද දක්වාම පවතී.
2005.06.23 වන සුමනතිස්ස හිමියන්ගේ අපවත්වීමෙන් පසුව විහාරාධිපති ධුරයට පත් අභයතිස්ස නා හිමිගේ මූලිකත්වයෙන් සිදුවන්නා වූ ශාසනික සේවාවද අතිවිශිෂ්ටය. විහාරය සතු මහරගම පමුණුවේ අක්කර 17 1/2ක භූමිභාගයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දියුණුව උදෙසා පරිත්‍යාග කිරීමත් සත්මහල් නේවාසිකාගාරයක් ඉදිකොට සඟ සතු කිරීමත් ඒ අතර වේ.
මුලික පිරිවෙන වශයෙන් කුඩා සාමණේර හිමිවරුන්ගේ අධ්‍යාපනායතනයක් දවසේ පස්වරුවේද, විද්‍යායතනය ලෙසින් ගිහි සිසුන් උදෙසා දිනයේ පෙරවරුවේද ක්‍රියාත්මකය. මූලික පිරිවෙනෙහි සියයකට ආසන්න භික්ෂූන් වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනය ලබන අතර විද්‍යායතනයේ ගිහි දරුවෝ 200 දෙනෙකු පමණ ඉගෙනුම ලබති. සෞන්දර්ය විෂයයන්, ක්‍රීඩා ආදියෙන් ගිහි සිසුන් වාර්ෂිකව දස්කම් දක්වා ඇත.
ධර්ම ග්‍රන්ථකරණ ක්‍රියාවලියේදී ත්‍රිපිටක ග්රන්ථ සුලභ කිරීම ශිලාලේඛන ගත රාජාඥාවක් වන හෙයින් “අමාගඟුල” ග්රන්ථ මාලාව යටතේ දැනට දහම් ග්රන්ථ හයක් එළි දක්වා ඇත. එයට අතිරේකව විවිධ විෂය යටතේ ධර්මානුකූලව රචිත ග්රන්ථ රැසක් රචනා කොට ඇත.
අද වන විට සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරය තුළ සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන ආයතන හා සේවාවන් රැසකි.
1. විහාරස්ථානය
2. සුනේත්‍රා මහාදේවි මූලික පිරිවෙන
3. සුනේත්‍රා මහාදේවි විද්‍යායතන පිරිවෙන
4. සුනේත්‍රා මහාදේවි ධර්ම විද්‍යාලය
5. සුනේත්‍රා මහාදේවි දායක සභාව
6. සුනේත්‍රා මහාදේවි කාන්තා සංගමය
ඒ අතර මුල් තැනක් ගනී.
කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇති පිරිවෙන අතුරින් සුවිශේෂී පිරිවෙනක් ලෙස සුනේත්‍රාදේවි පිරිවෙන හඳුන්වා දිය හැක්කේ ඒ හරහා වර්තමානයේද කැපී පෙනෙන වෙනසක් සමස්ත අධ්‍යාපනය ක්ෂේත්රයටම සිදු වන හෙයිනි.