Home » නොදැන කළ වරදකට දඬුවම් විඳින සද්දන්තයෝ 

නොදැන කළ වරදකට දඬුවම් විඳින සද්දන්තයෝ 

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

සිරුරේ ප්‍රමාණයෙන් සහ සවි ශක්තියෙන් සද්දන්ත වුවත් වන අලින්ට උදාවී ඇත්තේ හොඳ කලක් නම් නොවේ. අලි- මිනිස් ගැටුම් ඇතුළු විවිධ හේතුවෙන් දිනපතා මියයන සද්දන්තයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත. ඉකුත් දෙසතිය පුරා වාර්තා වූ අලි මරණවලින් කිහිපයක්ම වෙඩි තැබීම්වලින් සිදු වූ ඒවාය. ඉකුත් සතියේ කැකිරාව වෙරුන්කුලම වැව් ඉවුරේදී වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ ජම්බෝ නමැති ඇතින්න ගැබ්ගෙන සිටි බව ද වාර්තා වූයේ බොහෝදෙනාගේ හදවත් සංවේදී කරමිනි.

එමෙන්ම ඉකුත් සැප්තැම්බර් තිස්වැනිදා මහියංගණ පුද බිමේදී වෙඩි වැදීමෙන් සීතා නමැති ඇතින්නක් ද තුවාල ලැබුවා ය. අනුකම්පා විරහිත එවැනි වෙඩි තැබීම්වලින් තුවාල ලබන සහ මියයන සද්දන්තයන් පිළිබඳ නිතර කතා කරද්දී වන අලි නිසා මිනිසුන්ට වන හානිය ගැන කතා නොකරන්නේ ඇයි දැයි ඇතමකුට සිතිය හැකිය. අලි- මිනිස් ගැටුම් හේතුවෙන් මිනිසුන් විඳින දුෂ්කරතා ද එතරමට ම ඛේදනීයය.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්තවලින් ඉකුත් දා හෙළි වූයේ අලි මිනිස් ගැටුම් නිසා මෙතෙක් වාර්තා වූ ඉහළම පුද්ගල සහ වන අලි මරණ ඉකුත් 2022 වසරේදී සිදුව ඇති බවය. ඒ අනුව එම වසරේදී පුද්ගල මරණ 145ක් සහ වන අලි මරණ 433ක් සිදුවී ඇති බව ද පැවසේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ වල් අලින්ගේ සංක්‍රමණික මාර්ග, අලිමංකඩ අනවසරයෙන් අල්ලා ගැනීම, විවිධ ආයතන සහ පුද්ගලයන් අලිමංකඩ සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම, ගොවීන්, වගා සහ මිනිස් ජනාවාස සඳහා වන ඉඩම් අල්ලා ගැනීම ආදී කරුණු අලි- මිනිස් ගැටුම් උග්‍රවීමට බලපා තිබෙන බවය. 2022 වසරේදී වල් අලින් පහරදීමෙන් සිදුවූ මරණවලින් 36ක් අනුරාධපුර වනජීවී කලාපයෙන් වාර්තා වී ඇත.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛන අනුව 2023 වසර ආරම්භයේ සිට ඉකුත් සැප්තැම්බර් 22 දක්වා අලි මරණ 335ක් සිදුවී ඇත. ඒ අතරෙන් දුම්රියේ ගැටීමෙන් අලි 30ක් මරණයට පත් වී ඇත. ලංකාවේ අලි මරණ සම්බන්ධයෙන් බරපතළම තත්ත්වය වාර්තා වූයේ ඉකුත් සැප්තැම්බර් 27 වැනිදාය. එදින කොළඹ සිට කන්කසන්තුරය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් අලි ඇතුන් හතර දෙනකු මිය ගිය අතර, මඩකලපුවේ සිට කොළඹ බලා පැමිණි මීනගයා දුම්රියේ ගැටීමෙන් තවත් ඇතකු සහ පැටවකු තුවාල ලබා මිය ගියහ. වෙඩි තැබීම්වලින් තවත් අලි කිහිපදෙනකු ද ඝාතනය වූයේද ඒ සිදුවීම ආසන්නයේදීය. ඒ අනුව පැය 36ක් ඇතුළත ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 11ක් මිය ගියේ ඉතා ශෝචනීය අයුරෙනි. මෙම අලි මරණවලට හේතුව සහ ඒවා වළක්වා ගන්නේ කෙසේද? හැමදාම කතා කළත් අවසානයක් හෝ විසඳුමක් නැති මේ පිළිබඳ කතා කරන්නට අප අලි පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කිහිප දෙනකු සම්බන්ධ කර ගත්තෙමු.

ප්‍රකට අලි පර්යේෂක, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය සුමිත් පිලපිටිය පැවසුවේ නියඟය මේ වසරේ ඉතා දරුණුව පැවැති බැවින් එවැනි තත්ත්වයකදී අලි ඇතුන් සාමාන්‍ය‍යෙන් ආහාර සහ ජලය සොයා යෑම මෙන්ම එහෙ මෙහෙ යෑම වැඩි බවයි. එම නිසා දුම්රිය දෙපාර්තමේන්තුව අලි හරස් මාර්ග වැඩි වීමේ අවදානම පිළිබඳ රියැදුරන් දැනුම්වත් කිරීමෙන් අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන මරණ අවම කර ගැනීමට හැකිවනු ඇති බව හෙතෙම පැවසීය. නිතර අලි එහා මෙහා යන දුම්රිය මාර්ගවල වේග සීමා හඳුන්වා දී තිබුණද ඒවා පිළිපැදීම වඩා මානුෂික කාරණයක් වන්නේ කිසිවකු දුම්රියේ වේගය නිරීක්ෂණය නොකරන නිසාය. දුම්රියේ ගැටීමෙන් අලි අනතුරට පත්වීම අවම කර ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහයෝගීතාවකින් සහ සංවේදී බවකින් කටයුතු කරන අතර, තවදුරටත් ඒ සහයෝගීතාව අවශ්‍ය බව ද ආචාර්ය පිලපිටිය සඳහන් කළේය.

පරිසර සංරක්ෂණවේදී සහ පර්යේෂක සුපුන් ළහිරු ප්‍රකාශ් ද ශ්‍රී ලංකාවේ අලි ඇතුන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ නිතර පර්යේෂණවල නියැළෙන ඒ පිළිබඳ සංවේදීව කටයුතු කරන්නෙකි. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් මුහුණ දෙන අනතුරුදායක තත්ත්වය ගැන ඔහු මෙසේ පැවසීය.

“ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත ලේඛනයට අනුව මෙරට ජීවත්වන ආසියානු අලි ඇතුන් වඳවීමේ තර්ජනයට ලක්වී සිටිනවා. අලි ඇතුන් වඳවී යෑම හුදෙක් එක් සත්ත්ව විශේෂයක් මිහිතලයෙන් තුරන් වීමක් පමණක් නොවේ. ඊට හේතුව එම සතුන් විසින් ඔවුන් ජීවත් වන පරිසර පද්ධති තුළ සිදු කරන කාර්යභාරය අහිමි වීමත් සමඟ සමස්ත පරිසර පද්ධතියම බිඳ වැටී යෑමට ඉඩ ඇති නිසයි. එයින් මිනිසාගේ පැවැත්මට ද බාධා එල්ලවන අතර, සංචාරක කර්මාන්තය වැනි ක්‍රම හරහා ලැබෙන සෘජු ආර්ථික ප්‍රතිලාභ ද අහිමි වනවා.”

ඔහුගේ නිරීක්ෂණය අනුව ශ්‍රී ලංකාව තුළ වාර්තා වන ආසියානු අලි (Elephas maximus) විශේෂය දැනට ඉතිරිව ඇත්තේ මෙරට ඇතුළුව ආසියාවේ රටවල් 13ක පමණි. බටහිර ආසියාවේ ඉරාන වෙරළ තීරයේ සිට ඉන්දියානු උප මහද්වීපය දක්වාත්, නැඟෙනහිර දෙසින් සුමාත්‍රා, ජාවා සහ බෝර්නියෝ දූපත් ද ඇතුළුව ගිනිකොනදිග ආසියාව දක්වාත්, චීනයේ යැංසි ගඟ දක්වා උතුරටත් ආසියානු අලි ව්‍යාප්ත වී සිටිය ද එම ඓතිහාසික හස්ති වාසභූමිවලින් සියයට අනුපහකින්ම මේ වන විට අලි ඇතුන් වඳවී ගොස් අවසන්ය.

පරිසර සංරක්ෂණවේදී සහ පර්යේෂක සුපුන් ළහිරු ප්‍රකාශ් පවසන පරිදි ලොව ආසියානු අලි ඇතුන් ජීවත්වන රටවල් අතරින් වැඩිම වාර්ෂික අලි මරණ වාර්තා වන රට ශ්‍රී ලංකාවයි. 2011 වසරේ මෙරට සිදු කළ ප්‍රථම වන අලි සමීක්ෂණයට අනුව මෙරට වන අලි ගහනය 5,879කි. එහෙත් පසුගිය 2012-2022 කාලසීමාව තුළ වන අලින් 3,291ක් පමණ මරණයට පත්වී ඇත. ඒ අතරෙන් 70%ක් පමණ මරණවලට හේතුව සෘජු මානව ක්‍රියාකාරකම්ය. මෙම වසරේ මෙතෙක් වාර්තා වී ඇති අලි මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී පැහැදිලි වන්නේ ගෙවුණු සෑම දිනකම එක් අලියකු හෝ මරණයට පත්ව ඇති බවයි.

අලි-මිනිස් ගැටුම මේ වන විට ශ්‍රී ලංකාවේ අඩකට වැඩි ප්‍රදේශයක පැතිරී ඇති අතර, වියළි කලාපය මුළුමනින්ම වාගේ ඊට ගොදුරු වී ඇත. වන අලි කළමනාකරණය හා අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වර්තමානයේ භාවිත වන ප්‍රවේශයන් 1959 දී සකස් කරන ලද ඉතා පැරණි ඒවා වන අතර, අලි ඇතුන් සියලු දෙනා තෝරා ගත් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට එමඟින් නිර්දේශ විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉලක්කය සපුරා ගැනීමට දැඩි කැපවීමෙන් කටයුතු කළ ද වසර හැටකට වැඩි කාලසීමාවකට පසුවත්, අද වන විට වන අලින්ගේ වාසභූමිවලින් 70% ක්ම ව්‍යාප්තව පවතින්නේ මිනිස් ජනාවාස සහිත ප්‍රදේශවලය. එය ගැටුම්කාරී තනි අලින්ගේ ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය වීමට තුඩු දෙන බැවින් ගැටුම් උත්සන්න වීම අඛණ්ඩව සිදුවිය හැකි බව ද පර්යේෂක සුපුන් ළහිරු ප්‍රකාශ් සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ පත්කෙරුණු ජනාධිපති කමිටුවක් මඟින් සකස් කෙරුණු ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ 2020 වසරේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ද එය ක්‍රියාත්මක නොවූ බවයි. වත්මන් රජය විසින් එය ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා කමිටුවක් පිහිටුවා ඇතත් එම කමිටුවට නිසි බලතල හෝ ප්‍රතිපාදන ලබාදී නැති බවත් ඔහු හෙළි කළේය.

දිගුකලක සිට පවතින අලි මිනිස් ගැටුමට අතීතයේ සිටම හේතු වී ඇත්තේ අලිමංකඩ සහ අනෙකුත් පරිසර සංවේදී ප්‍රදේශ ආශ්‍රිතව මිනිසුන් නිවාස සහ අනෙකුත් සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුකිරීම බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසීය. එම තත්ත්වය යටතේ අලි මරණ වළක්වා ගැනීම සඳහා සිය දෙපාර්තමේන්තුව අදාළ සෙසු ආයතන සහ දෙපාර්තමේන්තු සමඟ එක්වී විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය. අලි- මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා 2021, 2022 දෙවසර තුළ විදුලි වැටවල් ඉදිකිරීම සහ නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 228ක මුදලක් වැය කර ඇත. මේ කාලය තුළ ඉදිකර ඇති විදුලි වැටෙහි දිග කිලෝමීටර් 4,758කි. දුම්රිය මාර්ගයේ අලි අනතුරුට ලක්වීම අවම කර ගැනීම සඳහා මාර්ගය දෙපස මීටර් 10ක වෙන් කිරීමක් සිදුකර ඇත. එම ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කරන අතර, දුම්රිය රියැදුරන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද පවත්වන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

අලි – මිනිස් ගැටුම අවම කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් තනිව සිදු කළ හැකි කටයුත්තක් නොවන අතර, ඒ සඳහා අන්තර් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සාමුහිකව ක්‍රියා කළ යුතු ආකාරය සහ කෙටි, මධ්‍ය හා දීර්ඝකාලීන පියවර ඔහු මුලින් සඳහන් කළ ක්‍රියාකාරී සැලැස්මෙහි දක්වා ඇති බව පරිසර සංරක්ෂණවේදී සහ පර්යේෂක සුපුන් ළහිරු ප්‍රකාශ් පැවසීය. එමෙන්ම වර්තමානයේ දිවයින පුරා සිදුවන මහා පරිමාණ වනාන්තර විනාශ කිරීම්, කැබලිකරණය සහ අක්‍රමවත් සංවර්ධන කටයුතු අලි- මිනිස් ගැටුම් උග්‍ර වීමට හේතුවී තිබෙන බව ද ඔහු පැවසුවේය. එමෙන්ම මවු සතුන් මරා වනාන්තරවලින් අලි පැටවුන් පැහැරගෙන ඒමේ ජාවාරම ගැන ද බලධාරීන්ගේ ඇස් ඇරවිය යුතු බව ද ඔහු සිහිපත් කළේය.

 

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division