Home » ජැක්සන් ගැන අහම්බ මතක

ජැක්සන් ගැන අහම්බ මතක

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

ගෙවී ගිය මාස දාහතරක් තරම් දීර්ඝ කාලයක් පුරා ජැක්සන් ඇන්තනි පිළිබඳ කතාබහ වූ, මතකයට නැඟුණු සියලු මතක, කතාබහ දැන් අවසාන වී ඇතැයි සිතමි. පසුගිය බ්‍රහස්පතින්දා සැඳෑ යාමයේ රාගම සාන්ත පීතර හා පාවුළු දෙව් මැඳුරු භූමියේ දී ජැකා වසර හැට පහක් පුරා ගෙවුණු ජීවිතයේ සියලු මතක අප වෙත ඉතිරි කොට දෙව් මව් තුරුලට ගොස් සුව නින්දක සීටිනු ඇතැයි හඟිමි. ආසන්න ම අහම්බය මා අත්වින්දේ පසුගිය අටවන ඉරිදා ය. සිනමාවට අදාළ කටයුත්තක නිරත ව සිටිය දී අප කිහිප දෙනෙක් දිවා ආහාරය ගනිමින් සිටිය දී ය ඒ අහම්බ සිදුවීම සිදු වූයේ. ‘ආ මේ බුද්ධි ඉන්නෙ, බුද්ධිට මතක ඇති නේ ඒ කාලෙ හොල්සිම් එකේ ඇඩ්වර්ටයිසින් ප්‍රෝග්‍රෑම්ස් ගැන’ එක් මිතුරෙක් සිහිපත් කළේ ය. හොල්සිම් සමාගමෙන් විශ්‍රාම ගොස් වසර පහළොවක් තරම් කාලයක් වූවත් එහි අමතක නොවන මතක මාවතට මා පිවිසුණේ ජැක්සන් පිළිබඳ මතකයක් ද අප කණ්ඩායම සමඟ බෙදා ගනිමිනි.

එවකට අප ප්‍රධාන කාර්යාලය තිබුණේ කොළඹ 2, බ්‍රේබෲක් පෙදෙසෙහි හේමාස් ගොඩනැඟිල්ලෙහි ය. සභාපති ව සිටියේ මනිලාල් ප්‍රනාන්දු ය. එක් දිනෙක මට ජැකාගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ‘මචං බුද්ධි, මට සිමෙන්ති ටිකක් ඕන වෙලා තියෙනව අපේ ගෙදර රෙපෙයාර් එකකට, බෑග් දෙසීයක් විතර, පුළුවන් වෙයි ද ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට ගන්න? ජැකාට මගේ පිළිතුර වූයේ, ‘ මං මනිලාල්ගෙන් අහල උඹට හෙට කියන්නම්’ යන්නයි. ඒ වන විට හොල්සිම් සිමෙන්තියේ සේවය කළ මා හරහා බොහෝ අවස්ථාවල ක්‍රිකට් ක්‍රීඩකයන්, ජනප්‍රිය වේදිකා හා සිනමා නළු නිළියන් ගායක ගායිකාවන් රැසක් විසින් සහන මිලකට සිමෙන්ති මිලට ගත් පුවත් ජැක්සන් ද දැන සිටින්නට ඇත. සභාපති මනිලාල් හමු වී ජැකාගේ ඉල්ලීම ඉදිරිපත් කළ පසු ඔහුගේ පිළිතුර වූයේ ‘හෙට උදේට උඹ ජැකා එක්ක වරෙන් ‘ කියා ය. මනිලාල්ගේ භාෂාව අපට හුරු පුරුදුය. රූපවාහිනියේ කඩුල්ල ටෙලියේ කුරුතේරිස්, පළිඟු මැණිකේ හි විජේපාල හා මධුර ජවනිකාහි හෝ තාරාවෝ ඉගිළෙති නාට්‍යයෙහි ජැක්සන්ගේ රංගන සභාපති මනිලාල්ගේ මතකයේ තිබුණාට සැකයක් නොවී යයි මා දන්නේ ඔහු සිනමා හා රූපවාහිනී, වේදිකා නාට්‍ය රසිකයකු බව හොඳින් දන්නා නිසා ය. පසුව දා ජැකාත් මමත් මනිලාල් මුණ ගැසී ඔහුගේ ඉල්ලීම ඉදිරිපත් කළෙමු. සුහද කතා බහකින් පසු ඔහුගේ සටහනක් සමඟ ජැකා ඉදිරිපත් කළ ලිපිය මා අතට දී ඔහු ජැකාට කීවේ ‘ බුද්ධි ඩොකියුමන්ට් එක හදල දෙයි’ කියා ය.

සභාපති මනිලාල්ගේ සටහන දුටු මම මවිතයට පත්වීමි. DGM (Works) Pls. issue 200 bags Free of Cost…” කිසිදු ගෙවීමකින් තොරව සිමෙන්ති බෑග් 200 ක්? එතෙක් මා ඉදිරිපත් කළ සියලු ඉල්ලීම් සඳහා සියයට විස්සක පමණ වට්ටමක් සහිත මිලක් වූවත් කිසිදු ගෙවීමකින් තොර සිමෙන්ති නිකුත් කිරීමක් සඳහා දුන් උපදෙසක් මා දුටු පළමු අවස්ථාව එය වීය. සඳුදා උදෑසන සිට බදාදා තෙක් ජැකාගේ වියෝව සම්බන්ධිත සිදුවීම් මාලාවක තතු ද ලියා තබන්නට සිතේ.

නවවන දා සඳුදා උදෑසන 6.30ට පමණ මෙල්බර්න්හි වෙසෙන මා පුතු වාගීෂ ඇමතූයේ නවසීලන්තයේ වෙසෙන මා මිතුරියකගේ ඉල්ලීමක් වෙනුවෙන් ඔහුගේ උපකාරයක් සොයමිනි. මා මවිතයට පත් නොවූ එහෙත් සැබැවින් ම හද කම්පා කළ පුවත ඔහුගෙනි. ‘ජැක්සන් අන්කලුත් ඉවරයි නේ ද? ‘ ඔහු පවසන තෙක් ලංකාවේ සිටි මා නොදුටු නොඇසූ පුවත සනාථ කරන ලද්දේ සිරසෙහි ප්‍රධානී අසෝක ඩයස් මිතුරාය. ජැක්සන්ගේ නිසල සිරුර, පෙරදා දුටු මුහුණ ම මා දුටුවේ දහවන අඟහරුවා දා දිවා කාලයේ දී ය. ඔහුගේ වියොවින් සොවට පත් ඔහුට ආදරය කළ විසාල පිරිසක් බුලර්ස් පාර දිගේ පෙළ ගැසී සිටිනු දිටිමි. ඔහුට අවසාන ගෞරව දැක්වීමෙන් අනතුරුව මිතුරු බන්දුල නානායක්කාර සමඟ සිටිය දී ජැක්සන් පිළිබඳ යමක් පවසන්නයි මාධ්‍ය මිතුරු මිතුරියන් කිහිප දෙනකුගේ ම ඉල්ලීම් හමුවේ මගේ පිළිතුර ඇරැඹුණේ ‘මොනවද මම ජැක්සන් ගැන කියන්නෙ? කවුරු කියලද මම ජැක්සන් ව අඳුන්වන්නෙ? තත්පර කීපයකින් විනාඩියක වොයිස් කට් එකකින් පුළුවන් ද ජැක්සන් ගැන කියන්න? ජැක්සන් ගැන මගේ මතක, මා ඔහු ගැන දන්නා දේ, ඔහු ගැන මගේ කියවීම කියන්න ලියන්න පැය ගාණක් ඕනෑ වෙයි, පොතක පරිච්ජේදයක් ම වෙන් කරන්න වෙයි.’

රාගම පොඩි වී කුඹුරේ උපන් ජැක්සන් ඇන්තනි ජීවිතයේ දශක හයකුත් අඩක් නිමාවට පත් වෙද්දී ජීවන කරළියෙන් සමුගන්නේ ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයෙහි සුවහසක් ජනයාගේ සිත් සතන් රැඟුමෙන්, ගැයුමෙන් දෙසුමෙන් රසාස්වාදයක් ලබා දුන් හා ඔවුන්ගේ ඥාන මණ්ඩල ප්‍රඥාවෙන් බුද්ධි සම්පන්න කළා වූ අතුල්‍ය (Unique) නිර්මාණ කෞශල්‍යයකින් පිරි විරල මිනිසකු ලෙසය. ඔහුගේ හපන්කම්වලට සම කළ හැකි අන් කවරකු හෝ අප අතර සිටීදැයි සිතීම අතිශය දුර්වල උත්සාහයක් වන්නේම ය. මහෞෂධ කුමරු සඳුන් ගැටය මිට මොළවාගෙන උපන්නා සේ ජැක්සන් ඇන්තනි ද නිර්මාණශීලි හා ප්‍රතිභාන්විත කෞශල්‍යය උපතින් ම ලද්දේ වන්නේ ය. ඔහු වේදිකාව සිනමාව හා රූපවාහිනිය ජයගත් නළුවා ය. චිත්‍රපට, රූපවාහිනී තිර රචනාකරුවා ය. චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා ය,නිෂ්පාදකවරයාය, ගායකයා ය, සංචාරකයා ය, ගේය කාව්‍ය රචකයා ය, නවකතාකරුවා ය, පූරකයා ය, ඉතිහාසඥයා ය, සමාජ ක්‍රියාකාරිකයා ය. මෙකී ක්ෂෙත්‍ර සියල්ලෙහි ම වාර්තාගත සම්මානලාභියා ය.

සිංහල වේදිකාවෙහි කුලුනු ත්‍රිත්වය ලෙස සැලකෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා හා දයනන්ද ගුණවර්ධන ආදී දැවැන්තයන්ගේ නාට්‍ය රංගනයෙන් වර්ණවත් කළ රංග පෞරුෂය වන්නේ ය. ලෝමහංස නාටකය, මරාසාද් හා මධුර ජවනිකා එකී නාට්‍ය ත්‍රිත්වය යි. නෙවිල් ඩයස් සුබසිංහ ගේ වාරුවෙන් යන මිනිස්සු සමඟ වේදිකාවට නඟින ජැක්සන් ඊ. එම්. ඩී. උපාලිගේ මෙතනින් මාරුවෙනු, ජයන්ත චන්ද්‍රසිරිගේ අත්, මෝරා, ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ, ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිළෙති, බන්ධුල ජයවර්ධනගේ බෙර හඬ හා මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ මහ සමයම ආදී නාට්‍ය ජැක්සන් ඇන්තනි රංගධරයාගේ නම ඉදිරියෙහි සටහන් වී ඇත්තේ වරින් වර රාජ්‍ය නාට්‍ය උලෙළෙහි හොඳම නළු භූමිකාවට හිමි සම්මානලාභියා ලෙස ද අභිෂේක ලබමිනි.

සුගතපාල ද සිල්වාගේ මරාසාද්හි මරා මෙන් ම සරච්චන්ද්‍රගේ ලෝමහංස – පදුම කුමාර චරිතය, දයානන්ද ගුණවර්ධන මධුර ජවනිකා හි ජැන්ඩි සිංඤ්ඤො ආදී භූමිකා ප්‍රේක්ෂක මතකයෙන් කිසිදින ඈත් නොවන ජැක්සන්ගේ රංග කාර්යයන් වේ. ජැක්සන් ඇන්තනිගේ රංග පරාසයෙහි ප්‍රතිභාව ප්‍රතීයමාන වන නිදසුන් වන්නේ ලෝමහංස වැනි ශෛලිගත සම්ප්‍රදායේ රංගනයකට ඉඳුරා වෙනස් වූ මධුර ජවනිකා රංගනය හෝ තාරාවෝ ඉගිළෙතිහි පිනා හා විජේ වැනි රූපණ ය.

මහ සමයම මහසෝනාගේ රූපණය ජැක්සන්ගේ අනෙකුත් බොහෝ රංගනවලින් වෙසෙසි වන්නකි. ධවල භීෂණ හා අත්, මෝරා වැනි රංගන ද පවසන්නේ ජැක්සන් යනු වේදිකා රංගනයෙහි විශිෂ්ටයකු ම බවය. ජැක්සන් ඇන්තනි වේදිකාවෙන් සිනමාවට ද රූපවාහිනියට ද ආගමනය වන්නේ එකී ක්ෂේත්‍ර ද්වයෙහිම තම රංගන අණසක සේම අධ්‍යක්ෂණයෙහි, තිර රචනයෙහි ඔහු සතු වූ ප්‍රතිභාව මොනවට ප්‍රදර්ශනය කරමිනි.

ධර්මසේන පතිරාජගේ ඇල්ල ළඟ වලව්ව, කඩුල්ල, ධම්ම ජාගොඩගේ පළිඟු මැණිකේ, ජයන්ත චන්ද්‍රසිරිගේ වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, රොහාන් වැලිවිටගේ සුසීමා හි රංගන හා ගායන මෙන් ම ඔහුගේ ම තිර රචනය හා අධ්‍යක්ෂණය වූ ඇසළ කළුවර ටෙලි නාට්‍යය තුළින් ද අපට හමුවන ජැක්සන් ඇන්තනිට සම කළ හැක්කෙක් පිළිබඳ මතකයට නඟා ගැනීමට අප අපොහොසත් ය.

අප්පච්චි,දස්කොන්, සී රජ වැනි ටෙලි නිර්මාණ ජැක්සන් ඇන්තනි නම ඉදිරියෙහි සටහන් වී ඇති නාට්‍ය කිහිපයකි. ටෙලි නාට්‍ය රංගනය තුළ විකුම් පෑ ජැක්සන් ටෙලි නාට්‍ය තිර රචනයෙහි මෙන් ම අධ්‍යක්ෂණයෙහි ද තම කුසලතා ප්‍රකට කරන්නේ එකී ෂානරය සඳහා වූ සම්මාන උලෙළ සියල්ලෙහි ම සම්මාන දිනා ගනිමිනි. විජය රූපවාහිනී සම්මාන උලෙළ, සිග්නීස්, සුමති හා රයිගම් ටෙලි සම්මාන උලෙළ ජැක්සන්ගේ ටෙලි රංගන, අධ්‍යක්ෂණය, තිර රචනය සම්මානයෙන් පුදනු ලැබූ සම්මාන උලෙළ වේ.

ගුරු ගෙදරින් 1993, ඇරැඹෙන ජැක්සන් ඇන්තනිගේ සිනමා මාධ්‍යයට පිවිසීමෙහි මහාර්ඝ ඵල වන්නේ රංගනයට අමතරව අධ්‍යක්ෂ භූමිකාවෙහි ද තම කුසලතා ප්‍රදර්ශනයට අවස්ථාව උදා කර ගැනීමයි. 1994 දී ජුලියට්ගේ භූමිකාව අධ්‍යක්ෂණය කරන ජැක්සන් 2008 දී අබා, 2015 ඇඩ්‍රස් නෑ, හා තිරගත නොවුණු එකගෙයි සොකරි ද අධ්‍යක්ෂණය කරන්නේ ය. ජැක්සන්ගේ චිත්‍රපට රංගන නාමාවලියෙහි කඩ ඉම් කෘති ලෙස අයෝමා, ලොකු දුව, බව දුක හා බව කර්ම, ගිනි අවි හා ගිනි කෙළි, අග්නි දාහය, සූරිය අරණ, මිල්ලෙ සොයා, වීසි දැල, ගරිල්ලා මාර්කටිං, කුස පබා, ඇඩ්‍රස් නෑ, ඝර සර්ප, ධර්ම යුද්ධය, මහරජ ගැමුණු, අස්වැසුම මතකයට නැගේ. ක්ෂීර සාගරය කැලඹිණි වැනි ඔහුගේ ආසන්නම මෑතකාලීන චිත්‍රපටයක රංගනය ද ප්‍රේක්ෂක මතකයෙහි නිදන්ගත ව ඇත්තේ ඔහු අප සිනමාවෙහි දකින්නට ලැබුණු නිසඟ රංගන ප්‍රාතිහාර්යය පෑ විශිෂ්ටයා ලෙසය.

වේදිකාව, සිනමාව, පුංචි තිරය තම රංගන ප්‍රතිභාවෙන්, අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන්, ගේය කාව්‍ය රචනයෙන් (දෑස පියා ගත් කල මට පෙනෙන්නෙ ඔබ රුව) පොහොණි කරන ජැක්සන් රූපවාහිනී මාධ්‍යය තුළ නිර්මාණ අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකයකු ලෙස පළ කොට ඇති සම්ප්‍රදානය විශිෂ්ට ය. හපන් පැදුර වැනි සංකල්පයක් හා මහා සිංහලයේ වංශ කතාව, කළු ගඟ දිගේ, අවාරේ සිරීපාදේ, වැනි නිර්මාණශීලී රූපවාහිනී වැඩ සටහන් රැසක හිමිකරු ලෙසින් ප්‍රේක්ෂක හා විචාරක සම්මාන දිනා ගන්නේ ජැක්සන් යනු අතුල්‍ය (Unique) නිර්මාණකරුවකු ය යන්න ලොවට හඬ ගා පවසමිනි. මෙකී සියලු නිර්මාණ ව්‍යායාමයන්ට අමතර ව ඔහු සාහිත්‍යධරයකු ලෙස ද පාඨකයන් හමුවට ආ බව අමතක නොවේ. 2020 දී කන්ද උඩ ගින්දර නවකතාව රචනා කොට ලේඛක වරම ද හිමි කර ගන්නේ ය.

ඔහුගේ නිර්මාණශීලී ප්‍රතිභාවට සම කළ හැක්කෙක් නොමැතිය යන ස්ථාවරයෙහි සිටිමින් ඔහු තුළ ජීවත් වූ මිනිසා පිළිබඳ ව ද නොලියා ම බැරිය. සිග්නීස් සම්මාන රාත්‍රියක මුඛ්‍ය දේශනයක දී මා විසින් කළ ප්‍රකාශයක් වටහා නොගමින් ඔහු නිතර පැවැසූයේ මා සිටින ජූරියක දී ඔහුගේ නිර්මාණ සඳහා මගේ විරෝධයක් ඇති බවය. සිග්නීස් දෙසුමේ දී මවිසින් අවධාරණය කරනු ලැබූයේ ඉතිහාස කථා, බෞද්ධ කතා සිනමාවට හෝ රූපවාහිනී නිර්මාණ සඳහා පාදක කර ගන්නේ නම් ඉන් නව අර්ථකථනයක් පළ විය යුතු බවයි. එසේ නොමැති නම් ජාතක කතා පොත හෝ මහාවංශය කියවීම සෑහෙන බවයි මා පැවසූවේ. රයිගම් ටෙලි සම්මාන උලෙළ පසු විපරම් අවස්ථාවට සහභාගි වූ ජැක්සන් විසින් ඔහු විසින් පුවත්පත් මඟින් මාහට නැඟූ චෝදනා පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැඟුවේ නොමැත.

තවත් අවස්ථාවක ඔහු සඳහන් කොට තිබුණේ ඔවුන් තාරාවෝ නව නිෂ්පාදනයට එක්වීම පිළිබඳ මගේ තීරු ලිපියක සඳහනක් හෝ නොමැති බවයි. ඒ පිළිබඳ තතු පමා වී හෝ මෙලෙස ලියන්නේ අපගේ ස්ථාවරය පැහැදිලි කරනු වස් ය. තාරාවෝ ඉගිළෙති මුල් නිෂ්පාදනයෙන් ඉවත් වූ කණ්ඩායම නව නිෂ්පාදන කණ්ඩායම සහභාගි වන කිසිදු නිර්මාණයකට සහභාගී නොවීමටයි එකඟත්වය වූයේ.

එහෙත් එක් අවස්ථාවක ජැක්සන් රඟ පෑ ලෝමහංස නාට්‍යයේ උලෙළක් වෙනුවෙන් ඡායාරූපයකට ජැක්සන් අංග රචනය කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද්දේ ප්‍රතිපත්තිය රකිනු සඳහා වූවත් අවසන ප්‍රතිපත්ති රකින්නට ඉතිරිව සිටියේ ලාල් කුලරත්න, ජයශ්‍රී ච්න්ද්‍රජිත්, නීල් අලස් හා මා පමණි. අපගේ ප්‍රතිපත්තිය අරුත් සුන් එකක් බව වටහා ගත් අපි සිවුදෙනා ලූෂන් සමඟ කතා බහ කොට මුල් තීන්දුවෙන් නිදහස් වීමු. එවැනි පසුබිමක වරක් මා ජැකාට මගේ පොත් ජනගත කිරීමක මුඛ්‍ය දේශනයක් සඳහා කළ ඇරැයුම නිහතමානීව පිළිගත් ජැකා පිළිබඳ මතකයෙන් ඈත් වන්නට අපොහොසත්මි.

ශ්‍රී ලංකා පදනමෙහි පැවැති උත්සවයේ දී එදවස සොඳුරුමය කෘතිය පිළිබඳ පවසමින් ඔහු විසින් මා සංස්කෘතික රස්තියාදුකාරයකු ලෙස හැඳින් වූ බව මතකය. එහෙත් කිසි දිනක අප අතර විරසකයක් නොවූ බව පවසමි. ඔහුගේ එකගෙයි සොකරි පූර්ව ප්‍රචාරක දර්ශනයෙන් පසු මවිසින් සරසවියට ලියූ ලිපිය පිළිබඳ පළමුවෙන්ම මට දුරකතනයක් ඇමතුමක් දී ස්තුති කරන්නට ඔහු අමතක කළේ නොමැත. ඒ ජැක්සන්ගේ ස්වභාවයයි. තාරාවෝ සිදුවීමෙන් පසු ප්‍රථම වරට මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ මහ සමයම ඔපෙරාවෙහි මහසෝනාගේ භූමිකාවට පණ පොවන ජැක්සන් වෙස් ගන්වන්නට ලැබීම ජීවිතයේ මා ලද වාසනාවක් ලෙස දකිමි. ඔහුගේ වියො­්වින් පසු, ෆාස්ට් ඇඩ්ස්හි සුදම් හර්ෂණ සිල්වා මිතුරා දුර්ලභ ඡායාරූපයක් මවෙත එවමින් ඉල්ලා සිටියේ එය මගේ ෆේස්බුක් වෝලයේ එල්ලන ලෙස ය. විප්‍රවාසයේ සිටිනා මහාචාර්ය ඇතුගල එය දුටු බවත් ඒ ඡායාරූපය ඉතා වටිනා දුර්ලභ ඡායාරූපයක් බවත් මට පැවසූයේ පසුගිය බ්‍රහස්පතින්දා උදෑසනය. අප අතර වූ මිත්‍ර සන්ථවය පෙර දා ලෙසම ඔහු වියෝවන තෙක් ම නොවෙනස් ව පැවති බව ලියමි.

ඔහු සුවඳ අප ළඟ ඉතිරි කොට ගිය මල් ගොමුවක පිපි සුවඳවත් ම මලකි. හදවත සියුම් දුකකින් රිදවන සෝ ගීයකි. මිත්‍රයා, ඔබට දෙව් මව් තුරුලේ සැනසීම ලබේවා. නුඹේ තනියට දේව දූතිකාවන් නිබඳව ම ගී ගයනු ඇති.

බුද්ධදාස ගලප්පත්ති

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division