ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙරට ජනතාවට සමීපව සිටි ආරම්භක ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලින් එකක් වන්නේය. කලකදී ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබූ ශ්‍රී ලංකා රූපවාහිනිය ඇතැම් අවස්ථාවලදී මූල්‍ය අර්බුදවලට පවා ලක්විය. ඒ සියල්ල මැද ජනතා අවශ්‍යතා තේරුම් ගෙන ජනතාවගේ සුබ සෙත සලසනු පිණිස වැඩසටහන් ඉදිරිපත් කරන නාළිකා අතර මුල් තැනක් ගැනීමට අදත් රූපවාහිනිය පෙරමුණ ගෙන සිටී.
එහි තවත් විශේෂිත අංගයක් ලෙස ජනතා හිතවාදී මෙන්ම රටේ ආර්ථිකයට සවියක් වන වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට රූපවාහිනී සංස්ථාව කටයුතු කරන ලදී. තවත් වැඩසටහන් කිහිපයක් ආරම්භ කරමින් තිබේ.
රූපවාහිනී සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රසාද් සමරසිංහ විසින් සංස්ථාවේ නව වැඩසටහන් සම්බන්ධ කරන ලද විස්තරයක් ඇසුරෙන් මේ ලිපිය සැකසී ඇත.
රූපවාහිනී සංස්ථාවේ ජාතික නාළිකාව තුළින් මේ වන විට විශේෂිත වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත. ඒ සියලු වැඩසටහන්වලින් බලාපොරොත්තු වන්නේ සමස්ත මහජනතාවටම විශේෂිත වැඩසටහන් රැසක් ලබාදීමය. සාම්ප්‍රදායික වැඩසටහන් මාලාව ඔස්සේම නොගොස් ඒ වැඩසටහන් විකාශය කරනා අතරේම නව වැඩසටහන් මාලාව විකාශය කිරීම මේ අනුව සිදු කෙරේ.
එහිදී තරුණ පරපුර ප්‍රධාන කොට සියලු ජනතාවට තොරතුරු තාක්ෂණික දැනුම ලබා දී රැකියා අවස්ථා උදාකර දීමට ‘සැමට IT‘ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කරන ලදී. සෑම සෙනසුරාදා දිනකම පස්වරු 4.30ත් 5.00ත් අතර විකාශය කෙරෙන මේ වැඩසටහන මොරටුව විශ්වවිද්‍යාලය හා සම්බන්ධිතව විකාශය කෙරේ. මොරටුව විශ්වවිද්‍යාලයෙන් මූලික සුදුසුකම් කිසිවක් නොමැතිව තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන ඕනෑම අයකුට නොමිලේ අධ්‍යාපනය ලබාගත හැකි පාඨමාලාවක් වෙනුවෙන් සම්බන්ධීකරණය කිරීම මෙහිදී සිදු කෙරේ. එහිදී අදාළ පාඨමාලාව අංශ 6ක් යටතේ සම්පූර්ණ කිරීමෙන් පරිගණක දැනුම පරිපූර්ණ ලෙසින් හා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන තොරතුරු තාක්ෂණ පාඨමාලා සහතිකයක් සහිතව ලබා ගත හැකිය.
මේ වැඩසටහන යටතේ මෙරට ගම්මානවල ඒ හා සම්බන්ධව සිදු කෙරෙන වැඩසටහන්ද විකාශය කෙරේ. ඒ අනුව මෙරට ග්‍රාම නිලධාරි වසම් 14,000 වෙත ඒ පණිවුඩය ලැබීමට සැලැස්වේ.
එමෙන්ම මේ වැඩසටහන හරහා තොරතුරු තාක්ෂණයට ලබා දෙන්නේ විශාල පිටිවහලකි. අද වන විට මෙරට තොරතුරු තාක්ෂණික රැකියා අවශ්‍යතාව 150,000ක් වන නමුත් මෙරට සිටින්නේ 90,000ක පමණ සුදුසුකම්ලාභීන් වන අතර වාර්ෂිකව එම ඉල්ලුම 20,000කි. නමුත් ඒ සඳහා සුදුසුකම්ලාභී හැකියාවන් ඇති අය වාර්ෂිකව බිහිවන්නේ 12,000ක් පමණි. රැකියා පුරප්පාඩුව 8,000ක් පමණ වේ. ඒ පුරප්පාඩුව එසේ තිබියදී රැකී රක්ෂා නොමැතිකමින් පීඩා විදින්නන් අපමණය.
කිසිදු මූලික සුදුසුකමක් නොමැතිව නොමිලේ හැදෑරිය හැකි මේ පාඨමාලාව ගැන මෙරට දැන සිටින්නේ ඉතාම අතළොස්සක් පමණි. එහෙත් දැන් එය ගම්මට්ටම දක්වාම ගෙන යාමට රූපවාහිනියට හැකිවී ඇත.
මේ වැඩසටහන් අතර දැනුම ඇති හැකියාවට රැකියාවක් ලබා ගත හැකි විශේෂ මඟ පෙන්වීමක් ලබා දෙන ෆ්‍රීලාන්සර් වැඩසටහන ඉරිදා පස්වරු 4.30 සිට 5.00 දක්වා විකාශය කෙරේ.
ඒ අනුව මෙරට සිටම තමන්ගේ දැනුමින් විදේශ සේවාවන් පවා ලබා දිය හැකිය. උදාහරණයක් ලෙස වෙබ්සයිඩ් සකස් කර දීම වැනි රැකියා අවස්ථා පෙන්වා දිය හැකිය. එවැනි මුදල් උත්පාදන අවස්ථා හරහා ආදායම් උපදවන 110,000ක පිරිසක් මෙරට තුළ සිටින බව හඳුනා ගෙන ඇත. ඒ අය හරහා 2022 වසරේ පමණක් විදේශ විනිමය ලෙසින් අමෙරිකන් ඩොලර් මිලියන 140ක් මෙරටට උපදවා ඇත. දැන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හරහා ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන අයට මඟ පෙන්වීමක් සිදු කෙරේ. ඒ ආදායම දෙගුණ කර ඊට සම්බන්ධ වන පිරිස දෙගුණ කිරීම රූපවාහිනී සංස්ථාවේ අරමුණ වී තිබේ.
එසේම එසේ උත්පාදනය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන අතර ඒ සම්බන්ධව ඉදිරියේදී බැංකු කළමනාකරුවන් දැනුම්වත් කිරීමටද කටයුතු කෙරෙනු ඇත.
අද වන විට මෙරට විදුලි කාර්මිකයන් 40,000ක් පමණ සේවය කරන අතර ඔවුන් බොහෝ දෙනකුට හැකියාව ඇති නමුත් පිළිගැනීමක් නැත. ආයතනයක රැකියා පිණිස යාම හෝ විදේශ රැකියා පිණිස ඔවුන්ට සහතිකයක් නැත. එම නිසා ඒ වෙනුවෙන් පෙරවරු ඉරිදා 10.30 සිට පෙරවරු 11.00 දක්වා ඒ අය වෙනුවෙන් අඩ හෝරාවක් වෙන් කර ඇත. එය නම් කර ඇත්තේ PRO + ලෙසිනි. එමෙන්ම ගම්මාන මට්ටමින් දෙදින වැඩමුළුවක් පවත්වා ඔවුන්ට NVQ සහතිකයක් ලබාදීමට කටයුතු කෙරේ. ඒ වෙනුවෙන් නයිටා ආයතනය මෙන්ම ඊට අදාළ ආයතන විසින් සහාය ලබා දෙන අතර මහජන උපයෝගිතා කොමිසමේ සහාය ද ඒ වෙනුවෙන් ලැබී ඇත.
ඒ හරහා කම්කරු වෘත්තීය මට්ටම හිමිව තිබූ එම විදුලි කාර්මිකයන්ට ඉහළ වැටුප් තලවලට දෙස් හා විදෙස් රැකියා ලබා ගැනීමට හැකියාව තිබේ. ඒ සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරන්නට රූපවාහිනී සංස්ථාව කටයුතු කර ඇත.
මීට අමතරව ඉදිරියේදී සූර්ය බල පද්ධති කාර්මිකයන් ජල නළ කාර්මිකයන් ඇතුළු පිරිස් වෙනුවෙන්ද විශේෂිත වැඩසටහන් පැවැත්වීමට කටයුතු කෙරේ.
ඒ ඔස්සේ ගුණාත්මක දැනුමක් ඇති කාර්මිකයන් බිහි කෙරේ.
මෙහි සිවුවැනි වැඩසටහන ‘මයි ලයිෆ්‘ යනුවෙන් නම් කර ඇත. සෑම අඟහරුවාදාම රාත්‍රී 9.30 සිට පැය දෙකක් විකාශය වන මේ වැඩසටහනට අනුව විශ්වවිද්‍යාලවලින් ලබාගත හැකි දැනුම මට්ටම් පිළිබඳව දැනුම්වත් කෙරේ. එහිදී තමන්ගේ දැනුම මට්ටම අනුව අදාළ අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම මෙන්ම මවුපියන් විසින් තම දූ දරුවන් හැකියාවක් ඇති අංශ කෙරෙහි යොමු කිරීම බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම අනුකරණය නොකර හැකියාවට අනුව කටයුතු කිරීම මේ මඟින් අදහස් කෙරේ.
එහිදී සියලු විශ්වවිද්‍යාල සම්බන්ධ ගුණාත්මක වැඩසටහන් විකාශය කෙරෙන අතර විචාරශීලි දැනුමැති අය හරහා මෙහි සාරාංශගත කරුණු විදහා දැක්වේ.
මේ ව්‍යාපෘතියේ 5 වෙනි වැඩසටහන නම් කර ඇත්තේ ඉන්ස්ට්‍රියල් ශ්‍රී ලංකා යනුවෙනි.
එහිදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධව අවධානය යොමු කර තිබේ. ඒ සඳහා කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකා ටෙලිකොම් හා සණස ඉන්ෂුවරන්ස් යන ආයතන මෙහිදී සේවා දායකත්වය සපයයි. ඒ ආයතන අතර ඇති නිෂ්පාදනයන් ගැන පවා සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ දැනුම වර්ධනය කළ හැකි නම් එයම රටට විශාල සේවා දායකත්වයක් සපයනු ඇත.
බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00 සිට රාත්‍රී 11.30 දක්වා විකාශය කෙරෙන මේ වැඩසටහන සඳහා විශේෂ සහායක් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දක්වනු ලැබේ. මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුත්තේ රටකට ඉදිරි ගමනක් යාමට සුළු හා මධ්‍ය පරිමාණ ප්‍රජාවගේ සේවාව අත්‍යවශ්‍ය බවය.
එමෙන්ම කනෙක්ට් ශ්‍රී ලංකා නමින් ආරම්භ කර ඇති වැඩසටහන යටතේ විදේශීය අවශ්‍යතා ඇති අය වෙනුවෙන් මෙරට සිටින සැපයුම්කරුවන් සම්බන්ධ කර දීමයි. ඒ යටතේ මෙරට සැපයුම්කරුවා හා ඉල්ලුම්කරුවා අතර සම්බන්ධීකරණය කිරීමට පාලමක් මෙන් කටයුතු කිරීම මෙහි අරමුණ වී ඇත. එහිදී ඍජු සම්බන්ධිකණය කර දීමක් මෙහි සිදු කෙරේ. අපනයන සංවර්ධන මණ්ඩලය මේ වෙනුවෙන් යම්කාර්යයක් සිදු කළත් කනෙක්ට් ශ්‍රී ලංකා හරහා වඩාත්ම ඉහළ සේවාවක් ලබා දීමට අදහස් කෙරේ.
‘ඩෙංගු ගෝ‘ නමින් නම් කර ඇති විශේෂිත සමාජ අවශ්‍යතාව වෙනුවෙන්ද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පියවර ගෙන ඇත. ඒ වෙනුවෙන් විශේෂ දැනුම්වත් කිරීම් සිදු කරන්නේ පසුගිය වසරේ ඩෙංගු නිසා 72ක් හා මේ වසරේ මේ දක්වා 38 දෙනකුගේ ජීවිත අහිමි වීම නිසාය. මේ වන විට මාසිකව 2,500කට අධික ඩෙංගු රෝගීන් වාර්තාවීමක්ද දක්නට ඇත.
පාසල් සිසුන් දැනුම්වත් කිරීම හා ප්‍රසිද්ධ ස්ථාන සුද්ධ පවිත්‍ර කිරීමට ද මේ යටතේ කටයුතු කෙරේ. දිවයින පුරාම ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශවල මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම මේ වන විට රූපවාහිනී නුගසෙවණ වැනි වැඩසටහන් වෙනුවෙන් ඕනෑම අයකුට සහභාගි වීමට හැකි වන පරිදි ලියාපදිංචි කිරීම සිදු කෙරේ. ඒ අනුව දැන හැඳුනුම්කම අනුව වැඩසටහන්වලට සහභාගි වීම වෙනුවට හැකියාව හා අවශ්‍යතාවය ඇති අයට මේ සඳහා ලියාපදිංචි විය හැකිය. ලියාපදිංචි කර ගන්නා සැමට අවස්ථාවන් නොලැබුණද හැකි උපරිම අවස්ථා ලබා දීම අරමුණ වී ඇත.
මේ යටතේ පාසල් දරුවන් වෙනුවෙන් ගුවන් සිහිනය වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති අතර එහිදී වයස අවුරුදු 13 -16 අතර දූ දරුවන් ගුවන් තොටුපොළ දක්වා ගෙන ගොස් ගුවන් යානයකට නංවා ඔවුන්ට එම සියලු අත්දැකීම් ලබා දීමට පියවර ගැනේ.
යූ ටියුබ් නාළිකා 16ක් ඔස්සේ මේ වන විට වැඩසටහන් විකාශය කෙරෙන අතර රූපවාහිනී සංස්ථාව මේ වන විට කටයුතු කරන්නේ සමාජ අවශ්‍යතාවන් වෙනුවෙනි. ඒ හරහා සිදු කරන ජාතික මෙහෙවර ආයතනයේ මෙන්ම එහි සේවක සේවිකාවන්ගේ යහපතට ද හේතු වන්නේ මේ නව වැඩසටහන් වෙනුවෙන් කිසිදු බාහිර පුද්ගලයකු අලුතෙන් සම්බන්ධ නොකර ගැනීම විශේෂිතය.
තාරක වික්‍රමසේකර සේයාරුව - මාලන් කරුණාරත්න