අතීතයේ මෙරට රාජධානි වරින් වර මාරුවීමේදී මහා විහාරය කේන්ද්‍රීය කරගෙන පැවැති අධ්‍යාපන මූලස්ථානය මහනුවර දක්වා මාරු වී ගියේය. ඒ අනුව මහා විහාර භික්ෂූ පරපුර අස්ගිරි හා මල්වතු වශයෙන් ද්වි පාර්ශ්වික මේ කටයුතු සිදු කරන ලදී.
මහා විහාරය කේන්ද්‍රීය කරගෙන විශේෂයෙන්ම විදර්ශනාව මූලික කරගත් අධ්‍යාපන ක්‍රමවේදය පිරිවෙන් අධ්‍යාපන ක්‍රමවේදයට ක්‍රමයෙන් පරිවර්තනය විය. ඒ අනුව වසර 700 කට අධික කාලයක් මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවති භික්ෂූ අධ්‍යාපනය වත්මන් පිරිවෙණ අධ්‍යාපනය ක්‍රමයට ගැළපෙනෙ පරිදි සකස් කෙරිණි. ඉන් පසු කන්ද උඩරට ආරාමික අධ්‍යාපන ක්‍රමය වෙනුවට පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයට පරිවර්තනය විය.
බ්‍රිතාන්‍ය යුගයේදීම ආරම්භ කර තිබූ පිරිවෙණ අධ්‍යාපන ක්‍රමය ඔස්සේම යමින් 1958 වසරේ මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙණ ආරම්භ කරන ලදී. ඒ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක හා බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති ධුරය හෙබ වූ හාලියායේ සුමණතිස්ස අනුහිමියන් විසිනි. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා වැඩි කල් නොගොස් පිරිවෙණ විශ්වවිද්‍යාලයක් තත්ත්වයට පත් විය.
පසුව 1980 වකවානුව වන විට පිරිවෙණ ක්‍රමයෙන් අභාවයට ගොස් තිබුණි. නමට පමණක් අස්ගිරි මහා පිරිවෙණ යන්න සඳහන් විණි. පසුව නාරම්පනාවේ ආනන්ද නාහිමියන් විසින් 1991 වසරේ සිසුන් 4 දෙනකුගෙන් අස්ගිරි මහා පිරිවෙණ යළිත් ආරම්භ කරන ලදී. ඉතා කෙටි කාලයක් තුළ පිරිවෙණ ජනප්‍රියත්වයට පත් විය. ආරම්භයේදී පංති 5කින් සමන්විත මූලික පිරිවෙණක් ලෙස පැවැති පිරිවෙණ 1998 වසර වන විට, එනම් නාරම්පනාවේ ආනන්ද හිමියන් විසින් පිරිවෙණ යළි පණ ගන්වා වසර 7ක් යාමටත් එය මහ පිරිවෙණක් බවට පත් කරන ලදී. ඒ අනුව ප්‍රාචීන, ප්‍රාරම්භ හා අවසාන විභාග පැවැත්විය හැකි පූර්ණ පිරිවෙණක් බවට අස්ගිරි මහ පිරිවෙණ පත් විය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ද උපදෙස් පරිදි පිරිවෙන් අවසාන සහ අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට සිසුන් ඉදිරිපත් කළ හැකි අධ්‍යාපන ආයතනයක් බවට එය පත් විය. ඒ අතරේ අන්තර්ජාතික වශයෙන් ධර්ම ප්‍රචාරය පිණිස ඉංග්‍රීසි මාධ්‍යය අවශ්‍ය බව තේරුම් ගෙන පිරිවෙණට ඉංග්‍රීසි මාධ්‍ය ද එක් කිරීමට පියවර ගැනුණි. එහෙත් පිරිවෙණේ අසමත් වන විෂයයන් අතර, ඉංග්‍රීසි විෂය පළමු තැනට පත් විය. ඒ අභියෝගය ජය ගැන්මටද පිරිවෙණ සමත් විය.
ඒ අනුව 2006 වසරේ මෙරට පළමු ද්විභාෂා පිරිවෙණ ලෙසින් අස්ගිරි මහා පිරිවෙණ පත් විය. එහෙත් එහිදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් පරීක්ෂණවලට පෙනී සිටීමට හැකියාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දීම නිසා පිරිවෙණෙහි සිසුන්ට ගැටලුවක් මතු විය. පිරිවෙන් පනත අනුව ද එසේ කළ නොහැකි තත්වයක් තිබුණි.
එහෙත් භික්ෂූ අධ්‍යාපනය හා එය අන්තර්ජාතික භාෂා මාධ්‍යයෙන් සිදුකළ යුතු අවශ්‍යතාව පෙන්නුම් කිරීමෙන් පසු එහි ප්‍රතිඵලයක් ලෙසින් පිරිවෙන් සිසුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටීමේ අවස්ථාව උදාවිය. අද වන විට 400 දෙනකුට අධික පැවිදි සිසුන් පිරිසක් පිරිවෙණේ අධ්‍යාපනය හදාරති. එමෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන හෙයින් විදෙස් රටවල සිසුන් ද මෙහි අධ්‍යාපනය හැදෑරීමට පැමිණෙති. දැනට අධ්‍යාපනය හැදැරීමට සිසුන් පැමිණෙන රටවල් අතර කාම්බෝජය, මියන්මාරය, වියට්නාමය, බංග්ලාදේශය ඇතුළු රටවල් ද වේ.
සෑම වසරකම විදෙස් රටවලින් වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් අස්ගිරි මහා පිරිවෙණට අධ්‍යාපනය පිණීස මෙහි පැමිණෙති. පිරිවෙණ විදෙස් රටවල එතරම් ජනප්‍රිය වී ඇත. අන්තර් පිරිවෙණ තරග ඇසුරින් වසර 15කට වැඩි කාලයක් ප්‍රථම ස්ථානයේ පසුවන්නට අස්ගිරි මහා පිරිවෙණට හැකිවීම කන්ද උඩරට ලද භාග්‍යයකි.
එසේම සෑම වර්ෂයකම විෂය බාහිර කටයුතුවලදී කැපී පෙනෙන විශේෂ දස්කම් දැක්වීමට අස්ගිරි පිරිවෙණ සමත්ව තිබේ. ඒ අතුරින් පසුගිය 12 හා 13 දෙදින සංජානනී නමින් විශේෂ සාහිත්‍ය කලා උත්සවයක් ද පවත්වන ලදී. එහිදී කවි ගීත ආදර්ශවත් නාට්‍ය ආදියෙන් සිසුහු දස්කම් දැක්වූහ. නේවාසික ශිෂ්‍ය ශික්ෂූන් 180කගෙන් පමණ සමන්විත අස්ගිරි මහා පිරිවෙණට අවශ්‍ය කරන භෞතික සම්පත්ද බොහෝය. කෙසේ හෝ ඒවා සපුරා ගෙන පිරිවෙණ අනාගත පරපුරට දායක කිරීමට නා හිමිවරු කැපවී කටයුතු කරති.
අධික ජල විදුලි බිල්පත් හමුවේ රජයෙන් ලබා දෙන දීමනාව ප්‍රමාණවත් නොවූවත් කෙසේ හෝ සංඝයා වහන්සේ වෙනුවෙන් මේ කාර්යය සිදු කිරීමට කටයුතු කර ඇත. පිරිවෙණේ අධ්‍යාපනය හැදෑරු බොහෝ භික්ෂූන් අද මෙරට මෙන්ම විදෙස් රටවලද බොහෝ ධර්ම ප්‍රචාරය කටයුතු මෙන්ම අධ්‍යාපනයේ ඉහළ තැන්වල කටයුතු කරති.
හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ එයින් මුල් කොට දැක්විය හැකිය. එමෙන්ම අදත් විදෙස් රටවල ධර්ම ප්‍රචාරය පිණිස විදෙස් භික්ෂූන් රැසක් කටයුතු කර ඇත.
තාරක වික්‍රමසේකර