බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ කැලණිය, සමන්කූටය, හා දිවාගුහාව යන ස්ථානයන්හි නැවතී පසුව දිගාවැවට (දීඝවාපිය) වැඩම කළ බව දීප වංශයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ එසේ වැඩම කළ ස්ථානයේ උන් වහන්සේගේ නීය ධාතුව (නඛා ධාතූන්) තැන්පත් කර රියන් 7ක කුඩා ස්තූපයක් මහාසේන දෙවියන් විසින් කළ බවත් ජනප්‍රවාදවල දැක්වේ.
සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137–119) දීඝවාපියේ සිට ගොවිතැනින් රට සංවර්ධනය කරමින් දීඝවාපි විහාරය කළ බවත් ස්තූපයට සත්රුවන් සැට්ටයක් කරවා රත්තරනින් කරත්ත රෝද හා සමාන මල් සාදා එහි සන්ධියක් පාසා එම මල් අමුණා පූජා කළ බවත් මහාවංශයේ සඳහන්ය.
සද්ධාතිස්ස රජුගේ පියාණන් වූ කාවන්තිස්ස රජු දීඝවාපිය පුද බිම ආරක්ෂා කිරීම සඳහා අශ්ව රථ සහිත සේනාවන්ද යොදවා ඇති බව දැක්වීමෙන් සද්ධාතිස්ස රජුට පෙර දීඝවාපියේ ඉතිහාසය ආරම්භ වී ඇති බවට සාක්ෂි තිබේ.
දීඝවාපිය ස්තූපය සහ මහා සංඝයා උදෙසා විහාරයක් සද්ධාතිස්ස රජතුමා විසින් ඉදි කරන ලදී. පසුව සද්ධාතිස්ස රජු විසින් දුටුගැමුණු රජුගේ සේවාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා දිගාමඩුල්ලට අයත් දීඝවාපිය ඇතුළු පුදබිම් කෙරෙහි අවධානය අඩුවන්නට ඇත.
මහාපරාක්‍රමබාහු රාජ්‍ය සමයේ (ක්‍රි. ව. 1153 – 1180) දීඝවාපී ප්‍රදේශය මානාභරණ රජු හා සුගලා බිසවගේ බල ප්‍රදේශයක් ලෙස පැවැති බව මහාවංශයේ සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජුගේ බල ඇණි මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ කළ බව ද වංශ කතාවල දැක් වේ. එම විනාශයන්ගෙන් පසුව දීඝවාපී ප්‍රදේශය ජනශූන්‍ය විය.
පසුකාලීනව කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි. ව. 1747 – 1780) “නඛ” චේතිය නම් ස්ථානයට පැමිණි බව මහාවංශය උපුටා දක්වයි. එය දීඝවාපිය ලෙස මේ වන විට තහවුරු වී ඇත. ඒ අවස්ථාවේ චෛත්‍යය රියන් 185 ක් උස්කර බඳවන ලද බවත් වාර්තා වේ. ඉතිහාස තොරතුරුවලින් වාර්තා වන අන්දමට ඒ ක්‍රිස්තු වර්ෂ 1756දී පමණය.
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය වූ කොකුන්නෑවේ සංඝකීර්ති මාහිමියන්ගේ ශිෂ්‍යයකු වූ බණ්ඩිගොඩේ නිග්‍රෝධ හිමියන් වෙත දීඝවාපිය එම කාලයේ පිරිනමා ඇත. බණ්ඩිගොඩේ නිග්‍රෝධ හිමියන්ගේ ශිෂ්‍ය පරපුර ඇසුරෙන් ව්‍යාප්ත වූ පොතුබද්දන විහාර පරපුරෙහි හිමිවරුන් දීඝවාපී රාජමහා විහාරය ආරක්ෂා කිරීමේ කටයුතු ඉටුකළ බවද ජනප්‍රවාදයේ දැක්වේ.
ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ රජු විසින් නිග්‍රෝධ හිමියන් වෙත අමුණු 1000 ක (අක්කර 2000-2500) භූමි ප්‍රමාණයක් සමඟ විහාරය පූජා කර ඇත. ඊට අමතරව දාගැබ හා විහාරය නඩත්තු කිරීම සඳහා ගව මහීෂාදීන් ද කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ලබා දී ඇත. ඒ බැව් සඳහන් සෙල්ලිපිය දාගැබට නැඟෙනහිරින් පිහිටා තිබුණි.
ක්‍රමයෙන් වනගත වූ දීඝවාපිය ජනතා වන්දනාවෙන් ඈත් විය. එසේ වුවත් පෙර සඳහන් කළ පරිදි පොතුබද්දන විහාර පරපුර විසින් වරින් වර දීඝවාපිය ගැන සොයා බලන ලදී. එහෙත් මහ වන මැද පිහිටීම නිසා බොහෝ අවස්ථාවල එහි ගමන් කිරීමේ ගැටලුව භික්ෂූන් වහන්සේට උදා වී ඇත. යටත් විජිත සමයේ වැඩි අවධානයක් යටත් විජිතයෙන් මිදෙන්නට යොමු කිරීම නිසා ද දීඝවාපිය වැනි මහ වන මැද පිහිටි පූජනීය ස්ථාන ගැන සෙවීමේ අවධානය අඩුවී ගොස් ඇත. ඒ කෙසේ වුවත් පොතුබද්දන රජමහා විහාරය ටැම්පිට රජමහා විහාරය හා දීඝවාපී රජමහා විහාරය ත්‍රිවිධ විහාරස්ථානවල අධිපති ධුරය හෙබවූ නාපේ රේවත හිමියන් දීඝවාපිය ආරක්ෂා කර ගැනීමේ කටයුතුවල නිරත වුවද උන්වහන්සේ 1818 වෙල්ලස්සේ කැරැල්ලට භික්ෂූන් වහන්සේ සමඟ දායකවීම නිසා ඉංග්‍රීසීන් විසින් 1823 වසරේ උන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලදී. පසුව උන්වහන්සේ යාපනය හිර ගෙදර සිර කර තබා වෙඩි තබා අපවත් කර දැමීමෙන් පසු දීඝවාපී රජමහා විහාරය සහ ප්‍රදේශයම යළිත් අරාජිකත්වයට පත්ව වනගත විය. වෙල්ලස්ස කැරැල්ලෙන් පසුව ඉංග්‍රීසින් විසින් මඩකළපුවේ සිට පොතුවිල් පානම දක්වා වූ සියලු බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර දමන ලදී. බිබිල වැනි වෙල්ලස්ස කැරැල්ලට පිරිස් සංවිධානය වූ ස්ථාන ද වනසා දමන ලද බව ඉතිහාසයේ දැක්වෙන්නේ යැයි වර්තමාන දීඝවාපි රජමහා විහාරාධිපති මහඔය සෝභිත නාහිමියෝ පවසති. එකල නිවාසවල සිටි සුනඛයන්, බළලුන් පවා ඉංග්‍රීසි හේවායන් විසින් ඝාතනය කළ බව දැක්වෙන්නේ යැයි ද උන්වහන්සේ පවසති. කෙසේ වෙතත් නැවත වර්ෂ 1902දී ටැම්ගොඩවත්තේ බුද්ධරක්ඛිත හිමියන් දෙවසරක් දීඝවාපි විහාරයේ වැඩ සිටියහ. උන් වහන්සේගේ අපවත්වීමෙන් පසු යළිත් ජනතාවගෙන් ඈත් වූ දීඝවාපි ස්තූපය ගැන සොයා බැලීමට 1916 වසරේදී කොහුකුඹුරේ රේවත හිමියෝ කටයුතු කළහ. ස්තූපය තිබූ අඩවිය පවා සොයා ගැනීම අසීරු වූ අතර, වනයට ගොස් කරත්තවල ගඩොල් රැගෙන යන මිනිසුන් පිරිසක් උන්වහන්සේට හමුවී ඇත. ඒ පිළිබඳව එම මිනිසුන්ගෙන් විමසූ විට ඝන කැලෑව තුළ ඇති විශාල ගඩොල් කන්දකින් ඒවා රැගෙන එන බව දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව එම ස්ථානය සොයා ගිය උන්වහන්සේට නටබුන් වී තිබූ දීඝවාපි ස්තූපය සොයාගැනීමට හැකිවී ඇත. එතැන් සිට වනගතව තිබූ ගරා වැටෙමින් තිබූ ස්තූපය ආරක්ෂා කර ගැනීමට කොහුකුඹුරේ රේවත හිමියන් කටයුතු කළද 1950 වසරේදී අන්‍ය ජාතිකයකු විසින් උන් වහන්සේ ඝාතනය කරන ලදී.
උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව එනම් 1950 වසරේ සිට නන්නපුරාවේ බුද්ධරක්ඛිත නාහිමියන් වහන්සේ පුරා වසර 66 ක් දීඝවාපි රාජමහා විහාරාධිපති ධුරය හෙබවූහ. ඒ 2016 වසර දක්වාය. ඒසා කාලයක් විහාරාධිපති ධුරය හොබ වන්නට උන්වහන්සේ එසේ වැඩ සිටියේ අවුරුදු 30ක් ත්‍රස්තවාදී තර්ජන පවා එල්ල වූ අවදියකය.
උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව වත්මන් විහාරාධිපති මහඔය සෝභිත නාහිමියෝ දීඝවාපි රාජමහා විහාරාධිපති පදවිය හොබවති.
1986 වසරේදී ස්තූපයේ බටහිර වාහල්කඩෙහි සිදුකළ කැණීමේදී රන් කරඬු 3 ක් සොයා ගැනීමට හැකි විය. එම කරඬුවලින් විශාලම කරඬුව ක්‍රි.ව. 164 -192 දක්වා කාලයට අයත් බව තහවුරු විය. එම කාල වකවානුවේදී රාජ්‍ය පාලනය සිදු කරනු ලැබූයේ කණිට්ඨතිස්ස රජුය. විශේෂිත ශෛලමය කරඬුවක් තුළ මෙම රන් කරඬු 3 තැන්පත් කර තිබී ඇති අතර, ස්තූපයක ස්වරූපයට හැඩගන්වා තුනී රන් තහඩු උපයෝගී කොටගෙන මෙම රන් කරඬු නිමවා තිබිණි. එම අවස්ථාවේදී ද රන්පත් ඉරුවක ලියන ලද බ්‍රාහ්මී අක්ෂර සහිත ලිපියක් හමුවිය. එය ක්‍රි.ව. 2 වන සියවසට අයත් යැයි සඳහන්ය.
මේ අනුව පැහැදිලි වන්නේ කණිට්ඨතිස්ස රජු විසින් මෙම මහා ස්තූපය යථාවත් කළ බවය. දකුණු වාහල්කඩ ආසන්නයේ තැන්පත් කර තිබූ ශෛලමය කරඬුව මෙම කාලවකවානුවට අයත් යැයි විශ්වාස කෙරේ.
දීඝවාපි දාගැබ නිර්මාණයෙන් අවුරුදු 200 කට පමණ පසු එහි වාහල්කඩ ඉදිකරන්නට ඇති බවට ද සාධක පවති. දකුණු වාහල්කඩ පිහිටි ස්ථානයේ සලපතළ මළුවේ ඇති සෙල්ලිපියක් අනුව තහවුරු වන්නේ එම සලපතළ මළුව ක්‍රි.ව.2 වන සියවසේදී නිර්මාණය කර ඇති බවයි.
ගොඩනැඟිලිවලට සම්බන්ධ වූ ගල් කණු හා පාදම් කොටස් ද පිළිම ගෙවල්වල නටබුන් ද අඩි හතරහමාරක් පමණ උසැති කවන්ධ හිටි පිළිමයක් සහ කුඩා ඔත් පිළිමයක් සොයා ගැනුණි. පසුව සිදු කළ කැණිම්වලදී ඉතා පැරණි බෝධිඝරයක, ආවාස ගෙයක මෙන්ම ආරෝග්‍ය ශාලාවක නටබුන් ද හමු වී ඇත.
එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද කැණීමේදී ප්‍රතිමා ගෘහ, වාහල්කඩ, මල් ආසන, කවන්ධ බුද්ධ ප්‍රතිමා, නටබුන් ගොඩනැඟිලි, සිරිපතුල් ගල්, සඳකඩ පහණ, කොරවක්ගල්, පාදෝවන, ඡත්‍රගල්, පියගැටපෙළ, පැරණි පොකුණු, රෝහල් සංකීර්ණය, දාගැබ් ගොඩැලි, ප්‍රාකාර බැමි, කටාරම් ලෙන් රාශියක් ද දැකගත හැකි වේ. දීඝවාපි චෛත්‍යයේ උපරිභාගය මෑත ඉතිහාසයේ දැකගන්නට නොවීය. එහි උස මීටර් 112 වන්නට අතැයි උපකල්පනය කර තිබේ.
චෛත්‍ය කැණීමේදී ප්‍රමාණ දෙකක ගඩොල් හමු වී ඇති අතර, ඇතැම් ගඩොලක බ්‍රාහ්මීය අක්ෂර වේ. ඒ අනුව මේ චෛත්‍යයේ ඉතිහාසය අනුරාධපුර මුල් යුගය දක්වා දිව යන බව තහවුරු වී තිබේ.
2020 වසරේ යළි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා වැඩි දිනක් යාමටත් පෙර දීඝවාපි දාගැබේ දකුණු පස වාහල්කඩ කැණීමේදී අගල් 18ක් පමණ උසකින් යුතු ශෛලමය මංජුසාවක් හමු විය.
එම මංජුසාව තුළ වටිනා පුරා විද්‍යා භාණ්ඩ හා බෞද්ධ වන්දනාවට අදාළ ධාතූන් වහන්සේ ආදිය ඇති බවට විශ්වාස කෙරිණි. ඒ අනුව එම මංජුසාව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලට ගෙන ගොස් විවෘත කිරීමට තීරණය කෙරිණි. එහි ඇති පුරාවිද්‍යා වටිනාකම් ඇති පුරා වස්තු එළියට ගැනීමට පැය 12කට අධික කාලයක් ගත විය. එහිදී මංජුසාව තුළ තිබී රන් කරඬු හතරක් සහ පළිගු කරඬුවක් සොයා ගන්නා ලදී. රන් කරඬු හතරක් එකම මංජුසාවක තිබී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව එවකට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය දැරූ සෙනරත් දිසානායක විසින් මෙහිදී පවසන ලදී.
‘යළි දකිමු දීඝවාපිය‘ නමින් හඳුන්වා ඇති මේ ව්‍යාපෘතියට අනුව දීඝවාපි චෛත්‍යය වසර 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ජනතාවගේ වන්දනාවට පාත්‍ර කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මෙරට චෛත්‍යය අතරින් උසින් පස්වන ස්ථානයට හිමිකම් කියන්නට දීඝවාපි චෛත්‍යයට හැකිවනු ඇත. එයට දෙවෙනි වන්නේ පිළිවෙළින් අභගිරිය, ජේතවනාරාමය, රුවන්වැලිසෑය හා සඳහිරුසෑය පමණි. ප්‍රතිසංස්කරණයෙන් පසු දීඝවාපි චෛත්‍යය උසින් අඩි 252ක් වනු ඇත.
මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ විශේෂත්වයක් ගන්නේ කිසිදු ආකාරයක රජයේ මුදල් වැය නොකර සියලු කටයුතු සිදුකිරීමය. චෛත්‍යය ප්‍රතිසංස්කරණයට පමණක් වැය වන මුදල රුපියල් මිලියන 800 ක් හෙවත් කෝටි 80 කි.
චෛත්‍යයට අමතරව වන්දනාකරුවන්ට පහසුවෙන් වන්දනාමාන කළ හැකි නවීන පහසුකම් ඇති ඉහළ ශ්‍රේණියේ විශ්‍රාම ශාලාවක් ද මෙහි ඉදි කරනු ඇත. එය කාමර 20 කින් සමන්විත වන අතර, වන්දනා නඩවලට නවාතැන් ගත හැකි වායු සමනය කළ විශාල ශාලා 4 කින් හා විශාල මුළුතැන්ගෙයක්, දානය හා ආහාර පිළියෙල සකස්කර පිළිගැන්විය හැකි භෝජනාගාරයක් ඇතුළු පහසුකම්වලින් සමන්විත වනු ඇත. ඊට අමතවර දාගැබ සලපතල මළුවද රජ දවස පැවැති ආකාරයටම පාෂාණ ඇසුරින් යළි සකස් කෙරෙන්නේ වසර 1000 කට අධික කාලයක් පැවතිය හැකි වන පරිදි ය.
දීඝවාපියට ගමන් මාර්ගය
·බස් රථයකින් යන්නේ නම් මාර්ග අංක 22 මහනුවර හරහා හෝ මාර්ග අංක 98 බස් රථයකින් මොනරාගල හරහා අම්පාර දක්වා ගොස් එතැනින් දීඝවාපිය දක්වා බස් රථයකින් යා හැකිය.
·පෞද්ගලික වාහනයකින් යන්නේ නම් මහනුවර හරහා මහඔය හරහා හෝ බිබිල හරහා අම්පාර දක්වා ගොස් එතැන් සිට අම්පාර අක්කරෙයිපත්තු මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ ගමන් කළ විට හමුවන වරිපතන්චේන හන්දියෙන් වමට හැරී කිලෝමීටර් 12 ක් ගමන් කිරීමෙන් ළඟා විය හැකිය.
·දුම්රියෙන් යන්නේ නම් කොළඹ සිට මඩකළපුව දක්වා ගොස් මඩකළපුවේ සිට කල්මුණේ හරහා අම්පාර දක්වා ගොස් එතැන් සිට දීඝවාපියට බස් රථයකින් යා හැකිය.
කොළඹ මඩකළපුව දුම්රිය කාලසටහන
පෙරවරු 6.05 (උදය දේවි ශීඝ්‍රගාමී)
පස්වරු 3.05 (පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී)
රාත්‍රී 7.00 (මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී)
පැමිණීමේ දුම්රියයන්
අලුයම 1.30 (පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී)
පෙරවරු 6.10 (උදය දේවි ශීඝ්‍රගාමී)
රාත්‍රී 8.00 (මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී)