අහසේ අඳුරු කළු පැහැය එසේමය. විටින් විට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හාත්පස තෙත්බරිත කර තිබේ. ඒ තෙත් සහිත අඳුර අතරින් විටෙක හිරු එළිය වෑහෙමින් ඇත. එය තාලයකින් ගලාගෙන යන සොබාදහමේ රිද්මයත් බිඳී ගිය සෙයකි. සිතට නුහුරු බරක් දැනේ. අතුරුදන් වීමක් ගැන අසන්නට යන ගමනකට හාත්පස පරිසරය විසින් ද තවත් බරක් එක් කර ඇති සෙයකි. රිය කවුළුවෙන් මෑත බලමි. කිරිබත්ගොඩ නගරයට මැදිව ඊරියවැටිය පාරේ බොහෝ දුරක් අප දැන් ගමන් කර ඇත. මගකින් හැරුණු පටු කොන්ක්‍රීට් පාර දිගේ සීරුවට ගමන් කළ වාහනය වගුර බිමක් ඉදිරිපස ඇති නිවෙසක් අසල නැවතිණි. ඇයගේ නිවෙස දකිමි.
ලෝකයේ මහා ඛේදවාචකයක ගොදුරක් වූ අපේ ගැහැනිය සොයා පැමිණ සිටිමු. ඇය අනුලා ජයතිලකය. මරණයේ අන්ධකාරයේම ගිලී ගිය ගාසා තීරයට යාව ඊශ්‍රායලයේ පිහිටි කී බූට්ස් වේරී හි සේවය කළ අනුලා ඒ යුද්ධයේ ගොදුරක් වී ඇති බව මේ මොහොත වනවිට ඇත්තකි. ඉකුත් 07 වැනිදා සෙනසුරාදා සන්නද්ධව එක්වරම ඊශ්‍රායල දේශ සීමා බාධක බිඳ දමා ඇතුළු වූ අති විශාල හමාස් සන්නද්ධ සටන්කාමීන් පිරිසක් ඊශ්‍රායලය මළ ගෙයක් කර තිබිණි. ඒ ප්‍රහාරයත් සමඟ ඊශ්‍රායල් පාර්ශ්වයේ අවම වශයෙන් පුද්ගලයන් 1300ක් මිය ගියේය. ඉලක්ක වූ අති බහුතරය සිවිල් වැසියන්ය. කී බුට්ස් වේරි හි සාත්තු සේවිකාවක ලෙස සේවය කරමින් සිටි අනුලා ඒ ව්‍යසනයේ ගොදුරක් වූ බව වාර්තා වී තිබිණි. එහෙත් ඇය ජීවතුන් අතර ද, ඊශ්‍රායලයට කඩා වැදී මහා ගින්නක් අලුතෙන් ඇවිළවූ පලස්තීනයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයට ලක්ව තවමත් වදයට ලක් වෙමින් සිටින්නේ ද? නැතිනම් ඇය අප හැර ගොස් ද? මරණයට වඩා අතුරුදන් වී ජීවතුන් අතර සිටී ද නැද්ද යන දෙගිඩියාවෙන් පසුවීම මහ වේදනාවකි.
ඒ වේදනාවේ අඳුර හාත්පස පැතිරී ඇති අයුරු දකිමි. අසල්වැසියන් නෑ හිතමිතුරෝ අනුලාගේ නිවෙසට යති; එති. තවමත් ඉදිකරමින් ඇති සුදු පැහැති නිවෙසේ ඇතුළු සාලයේ වම්පස කුඩා කවිච්චියක් මත නිහඬ සන්සුන් මනුස්සයෙක් හිඳගෙන සිටී. ඔහු හිස ඔසවා අප දෙස බැලුවේය. මහා ගැඹුරු වේදනාවක් අසීමිත උපේක්ෂාවකින් දරා ගෙන මැදහත් සිතින් පිළිතුරු දිය හැකි තරමේ උපශාන්ත මනෝභාවයක් ඒ මිනිසා තුළින් දකිමි. “මේ තමයි අනුලගෙ මහත්තයා…”
නිවෙසේ සිටි කාන්තාවක් අපට ඔහුව හඳුන්වා දුන්නේය. අනුලාගේ සැමියා කැළුම් වීරසිංහ අප සමඟ ආයාසයෙන් සිනාසුණේය.
“ටිකක් වෙහෙසයි…” ඔහු කීවේය. එකම කතාව කීවරක් නම් පුනරුච්ඡාරණය කරන්නට සිදුවී තිබේද… එයම අප්‍රමාණ බරක් බව දනිමි. එහෙත් ඔහු අපට කතා කළේය.
“එදා සෙනසුරාදා දවසනේ… අනුලා දවල් 1.30ට විතර කෝල් කළා. ඒ වගේ වෙලාවට ඇය කතා කරනවා අඩුයි. මට අමුත්තක් වගේ දැනුණා. ඇය කතා කරලා කිව්වා “අනේ වෙඩි සද්ද ඇහෙනවා. රොකට් ගහනවා. අපි යනවා පහළ බංකරේට“ කියලා. එතකොටම සිග්නල් නැතිව කෝල් එක කට් වුණා. ඊට විනාඩි කිහිපයකට පස්සේ ඇගෙන් කෙටි පණිවිඩයක් තිබුණා හොඳින් බවත් පසුව කතා කරන්නම් කියලත්. සාමාන්‍යයෙන් ඒ පළාතේ වෙඩි සද්ද රොකට් ප්‍රහාර අමුතු දේවල් නෙමෙයි. ඒ නිසා මට හිතුණේ තත්ත්වය සාමාන්‍ය වේවි කියලා. ඒත් පස්සේ තොරතුරු එන්න පටන් ගත්තා. සමාජ මාධ්‍යවල පැතිරෙන්න වුණා. අපි හිතුවට වඩා තත්ත්වය භයානක බව තේරුණා.
අනුලා ඊශ්‍රායලයට ගියේ සාත්තු සේවිකාවක් විදිහට. කලින් බලාගත්තු ආච්චි වයසත් එක්ක නැතිවුණාට පස්සේ අනුලා එන්න හදනකොට තමයි ඇගෙ කොන්ත්‍රාත් එක දික් කරලා ඒ පවුලේම ඥාති කෙනකුගේ වයසක අම්මා කෙනෙක් බලාගන්න තියා ගත්තේ. පහුගිය 09 වැනිදා අනුලා කලින් වැඩ කරපු තැන පිරිස ෆේස් බුක් පෝස්ට් එකක් දාලා කියලා තිබුණා අනුලා මිය ගියා. ඒක දරාගන්න බැරි දුකක් කියලා. හැබැයි ඇය වැඩ කරපු ගෙදර කට්ටිය තවම හරියටම දෙයක් කිව්වෙ නෑ. මගේ පුතා අනුලා වැඩ කරපු ගෙදර මුණුබුරාගේ නම්බර් එකක් හොයාගෙන කතා කළා. ඇයගේ මුණුබුරා ඉන්නේ යුද්ධයට මුහුණ දුන් පළාතෙන් ගොඩක් එපිට. ඔහු කියනවා අනුලා මැරුණා නමුත් ඔහුගේ ආත්තම්මා ජීවතුන් අතර කියලා. ඊට පස්සේ අපි අනුලා බලා ගත්තු ඒ ආච්චිට කතා කළා. ඇය වෙනදාට බොහොම සුහදව අපි එක්ක කතා කර තිබෙනවා. නමුත් එදා අපි අනුලා ගැන ඇහුවාම ඇය කිව්වේ
“i dont know“ කියලා. ඇයත් වික්ෂිප්ත වෙලා හිටපු වගක් මට දැනුණා. මේක හරිම පරස්පරයක්. “ෆේස්බුක් සටහනක් තබමින් අනුලා කලින් වැඩ කළ නිවෙසේ සිටි අය ඇය සතුව තිබූ මහා මානුෂීය ගුණ සහ ඇගේ පිරුණු හදවත ගැන ලියා තිබූ අයුරු මතකය.
“අද අපේ හිත් කැඩිලා. දින දෙකක කනස්සල්ලෙන් හා අවිනිශ්චිතතාවෙන් පසු අද උදෑසන අනුලා සොයා ගත් බව අපට දන්වා සිටියේය. ත්රස්තවාදීන් ඇය රැකබලා ගන්නා මහලු අන්ධ කාන්තාව “ඉතුරු” කළ නමුත් අනුලාට වෙඩි තබා මරා දමලා. ඇගේ අකල් වියෝවෙන් අපි තැළී සිටිමු. අනුලා මගේ නැසීගිය අලිසා නැන්දාගේ භාරකාරිය විය. මගේ නැන්දණියගේ ඇවෑමෙන් පසු ඇය කිබුට්ස් බීරි හි දිගටම ජීවත් වූවාය. භක්තිමත් සහ රන් හදවතක් ඇති අනුලා මිදුලේ සිටින බළලුන් ද බොහෝ විට කුරුල්ලන් සහ වෙනත් ජීවීන් ද රැකබලා ගත්තාය. අපි අනුලාගේ පවුලේ අය සහ මිතුරන් සමඟ ශෝක වන අතර ඔවුන්ට අපගේ ශෝකය ප්‍රකාශ කරමු. ඇයව අමතක නොවනු ඇත.”
තානාපති කාර්යාලය පවසන්නේ අනුලා මිය ගිය බවට තවම නිශ්චිත තොරතුරක් නොමැති බවය. ප්‍රහාරයෙන් පසු සිවිල් වැසියන් 150ක් පමණ පලස්තීන අත්අඩංගුවේය. ඔවුන් කියන්නේ සිවිල් වැසියන් විෂයයෙහි දැනුම් දීමක් නොකර සිදුකරන සෑම ප්රහාරයක දීම එක් ප්‍රාණ ඇපකරුවෙක් මරා දමන බවය. එසේ නම් ඇයත් මේ ප්‍රාණ ඇපකරුවන් සමඟ සිටින්නී ද? තවත් තොරතුරක ඇත්තේ ඇය විසින් රැක බලා ගත් වියපත් මාතාව ආරක්ෂා කිරීමට ගොස් අනුලාට හමාස් සන්නද්ධ හමුදා වෙඩි තබා ඝාතනය කළ බවය. ඇයගේ සිරුර හඳුනා නොගත් මළ සිරුරු අතරවන බව එම තොරතුරුවල දැක්වුණි.
“මට ඇය අප හැර ගියා කියලා හිතන්න බෑ. මම කොහොමද එහෙම හිතන්නේ. ඒත් මෙච්චර කාලයක් තොරතුරක් නැතිව ඉන්නකොට විටෙක යටි හිත කියනවා ඇය ජීවතුන් අතර නැතිව ඇති කියලා. තවම සන්නිවේදන සේවා හරි ගිහින් නෑ. ඇය පවු කළ කෙනෙක් නෙමෙයි. හැම පෝයටම එහෙ හිටියත් සිල් ගත්තා. ඇය බලාගන්න අම්මගේ වැඩ ඔක්කොම කළේ සිල් සමාදන් වෙලා උතුර සළුවත් දාගෙන.
ලංකාවට ආවත් ට්‍රිප් එකක් කියලා යන්නේ අනුරාධපුරේ. නැතිනම් කතරගම. පුදුමාකාර විදිහට ආදරණීය කෙනෙක්. දරුවන්ටත් එහෙමයි. මටත් එහෙමයි. සතා සිවුපාවුන්ටත් හරිම ආදරෙයි. ලෙඩ්ඩුන්ට උදව් කරන්න ඇයගේ ජීවිතේ පුදුම කැමැත්තක් තිබුණේ. ඒ නිසාම තමයි ඇය දරුවො ලොකු මහත් වෙලා උසස් පෙළ හදරාල ඉවර වෙනකොට ඔවුන්ව පිටරට විශ්වවිද්‍යාලයකට යවලා උගන්වන අදහසින් ඇය කැමති දේ රැකියාව විදිහට තෝර ගත්තේ. ඇය හිතපු විදිහට දුවයි පුතයි විදේශ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් වුණා. පුතා නවසීලන්තයට ගියා. ගේ හදා ගත්තා. හැමදාම ඇය රෑට ගොඩක් වෙලා වට්ස්ඇප් එකේ කතා කරනවා දුවයි මමයි එක්ක. සෙනසුරාද ඔය සිද්ධිය වෙන්න කලින් ඒ කියන්නෙ සිකුරාදා රෑ අම්මයි දුවයි වට්ස්ඇප් වලින් ලොකු කතාවක් ගියා පිරිත් ගැන. මද විරාමයක දී ඔහුව විමසුවෙමි. “දුව ගෙදර ඉන්නව ද?” ඔහු හිස වැනුවේය.
“ඔව්.. ඇය අම්මාට කරදරයක් කියලා දැනගත්තු වෙලාවෙ ඉඳන් කාමරයෙන් එන්නේ නෑ. අම්මට කරදරයක් වෙන්න විදිහක් නෑ කියලා තමයි දුව කියන්නේ.” ඔහු මඳක් නිහඬ විය. අනුලාගේ පුතා හේෂව වීරසිංහය. ඔහු උසස් අධ්‍යාපන කටයුතු හමාර කර දැන් ඉන්නේ නවසීලන්තයේය. දුව සොහානි වීරසිංහය. ඇය විදේශ සරසවියක අවසන් වසරේ සිසුවියකි. අනුලා ඊශ්‍රායලයට ගොස් දුක් විඳ දුටු සිහිනය ඒ දරුවන් ඉෂ්ට කර ඇත. සිය මෑණියන් ජීවතුන් අතර සිටින බව විශ්වාස කිරීම පිළිගත යුතුය. මවකටත් වැඩි දෙයක් කළ අම්මා කෙනෙක් සම්බන්ධව දරුවන්ගේ ප්‍රාර්ථනා එලෙසය. යමක් අසන්නට නොසිතේ. කැළුම් යළිත් කතා කරන තුරු ජනේලයෙන් එපිට අඳුරු අහස දෙස බලා සිටියෙමි. කොයි මොහොතේ හෝ අහස මහා වැස්සක් වී කඩා හැලෙන්නට නියමිතව ඇත.
අවසානයේ මම නිහඬතාව බින්දෙමි. “එම්බසියට කතා කළා ද? බියුරෝ එකෙන් මොනව ද කිව්වේ.” ඔහු හිස එසවූයේය. “අනේ ඒ අය කරන්න පුළුවන් හැම දේම ඒ අයගේ මට්ටමින් කරනවා. අනුලා හොයන්න පුළුවන් හැම විදිහටම එම්බසිය කටයුතු කරනවා. ඒ අය කිව්වා මේ ප්රශ්නය වෙලා තියෙන්නේ එම්බසියෙ ඉඳන් කිලෝ මීටර 280ක් ඈත. තවම ස්ථානයට යන්න බැරි වීම ගැන සමාවෙන්න කියලා. ඇත්ත. මේ මහා ගැටුම් මැද්දේ ඒ මිනිස්සුන්ට අනුලව හොයන්න යන්න කියන එක අසාධාරණයි. ඒ අයත් දරු පවුල් ඇති කට්ටිය.. ඒ අය ඉතාම දුෂ්කර තැනක ඉන්නේ. කරන්න පුළුවන් දේ කරයි.
බියුරෝ එකෙන් වහාම ක්‍රියාත්මක වුණා. ඒ අය පැහැදිලි කළේ ඒ අය මේ සිද්ධියෙදි තුන්වැනි පාර්ශ්වයක්. ඔවුනුත් විදේශ අමාත්‍යාංශය හරහා තමයි කටයුතු කරන්නේ කියලා. පුළුවන් උපරිම දේ කරනව කියලා. ඔවුන් අනුලා වෙනුවෙන් ෆයිල් එකක් ඕපන් කරලා වැඩ පටන් අරන් තිබුණා. ඔවුන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ ආපදාවක දි සම්බන්ධීකරණ කටයුත්ත සහ වන්දි ලබා දීම.”
ඉතින් මම ගියා විදේශ අමාත්‍යාංශයට. ඒ අය හොයනවා. ඇය ගැන තොරතුරු හැම තැනටම දන්වලා තියනවා. ඇය ගැන තවම නිල වශයෙන් තහවුරු කරගැනීමක් වෙලා නෑ.” කැළුම් කීවේය. මේ මිනිසා තුළ ක්‍රෝධයක් නැත. කිසිවෙක් කෙරෙහි වෛරයක් නැත. ඇය කළ යහපත ඇය නැති මොහොතේත් ඔහුව නිවා සැනසූ සේය.
“අනුලා කුරුණෑගල. ඉගෙන ගත්තේ ඉඟුරුවැල්ලේගම මහා විද්‍යාලයෙන්. මම ඒ වන විට කුරුණෑගල වත්තක වතු පාලකවරයෙක්. ඒ යන එනකොට තමයි මට අනුලව මුණ ගැහුණේ. ඊට පස්සේ අපි ආදරෙන් හිටියා. ඇය ගෘහිණියක් විදිහට ඉඳන් දරුවන්ගේ මගේ හැමදේම කිසිම අඩුවක් නැතිව පුදුම ආදරණීය විදිහට කළා. දරුවො ලොකු මහත් වෙලා උසස් අධ්‍යාපන කටයුතු කරන්න පටන් ගන්නකොට තමයි ඇය මගෙන් ඇහුවේ ඇය කැමතිම සාත්තු සේවිකාවක් විදිහට වැඩ කරන්න ඊශ්‍රායල් යන්න ද කියලා. ඒ අනුව අනුලා මීට අවුරුදු 10කට කලින් ඒ කිව්වේ 2013 නොවැම්බර් 16 වැනිදා ඊශ්රායලේට ගියා. අවුරුද්දකට දෙසැරයක් ආවා. හැමදාම කතා කළා. වීඩියෝ කෝල් ගත්තා. ඇය හොඳටම ආදරෙන් ඇයගේ සාත්තු සේවය කළා. ඒ නිසාම ඒ වැඩකරපු තැන්වල හැමෝම අනුලට සැලකුවේ ඒ ගෙදර කෙනෙක් විදිහට. අවුරුදු කීපයක් යනකොට ඇයට හොඳට භාෂාව කතා කරන්නත් පුළුවන් වුණා. මේ කන්ට්‍රැක්ට් එක ඉවර වුණාට පස්සේ ඇයගෙ අදහස තිබුණේ මාත් සමඟ පුතා ඉන්න රටට පදිංචියට ගිහින් පිනක් දහමක් කරගෙන ජීවිතේ ඉතිරි කාලේ නිදහසේ ගෙවන්න.“ ඔහු කියනු අසමි. දියණියත් පුතාත් මවගේ වියෝව පිළිගන්නේ නැත. දුව හඬා වැටෙමින් කියන්නේ එක දෙයකි. “අම්මා තවම ජීවතුන් අතර ඇති..”
ඊශ්‍රායලය මේ වන විට ඉතාම නිර්දය ලෙස ගාසා තීරයට ප්‍රතිප්‍රහාර අරඹා තිබේ. මේ වන විට ගසා තීරයට එන සියලු සැපයුම් ඊශ්‍රායලය හා ඊජිප්තුව විසින් කපා දමා ඇත. ප්‍රධාන ජල සැපයුම් දෙකම ප්‍රහාරවලින් පසු අක්‍රියය. වතුර නැත. ඉන්ධන නැත. විදුලිය නැත. බෙහෙත් නැත. හෙට වන විට ගාසා තීරයේ සිවිල් වැසියන් මිලියන තුනක ප්‍රමාණයම රුදුරු මරණය අබියසය. ඛේදවාචකය වන්නේ ඒ මිලියන තුනෙන් අඩක් දරුවන් වීමය. මේ මොහොතෙත් එක දිගට එල්ලවන රොකට් ප්‍රහාර අතර ගාසා තීරය වැටලීම සඳහා මහා මෙහෙයුමකට ඊශ්‍රායලය සැරසෙයි. එහි අවසානය කුමක් වේදැයි නොවැටහේ. 260,000කට වැඩි පිරිසක් මේ වන විට ගාසා තීරයේ අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. අනුලාගේ ඉරණම ලියැවී ඇත්තේ එවැනි මහා ව්‍යසනයක් වෙමින් ඇති භූමියකය. මරණය සිල්ලර වූ භූමියකය. ජීවිතයට වඩා මරණය සුලබ වූ භූමියකය.
මේ වන විට ඊශ්‍රායලයේ රැකියාවල නිරතවන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 8000කි. එයින් 90% සාත්තු සේවය සඳහා ඊශ්‍රායලය බලා ගිය කාන්තාවන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේය. මේ වන විටත් අනුලා අතුරුදන්වීම සනාථ කරන විදේශ සේවා නියුක්ති කාර්යංශය තානාපති කාර්යාලය පවසන්නේ මරණයක් සනාථ කරනු ලබන්නේ මෘත ශරීරයක් හඳුනා ගැනීමෙන් අනතුරුව බවය.
මේ සංවාදය ඔහු මෙන්ම මාත් බෙහෙවින්ම විඩාපත් කර ඇත. මම නැඟී සිටිමි. මිදුලේ සුදු වැලි තලාව අතරින් වැඩී නැඟුණු රූස්ස ගස් ගොන්නකි. ඒ තුරුපත් මත මහා අඳුරු කළු පැහැති හෙවණැල්ලක් සැඟවී ඇති බව දැනේ. කළුපාට අහසින් අකාලයේ රූරා එන එළිපොද ඒ අඳුරු තුරුපත් මත පතිත වෙමින් විකල් හැඟීම් උපදවයි.
අප සමඟ නැඟී සිට දොර අසලට එන කැළුම් අප දෙස බලා හිඳී…” දුක, වේදනාව, වියෝව කැලැත්තිලා එන මේ පීඩනය දරාගන්න හරිම අමාරුයි මිස්. මට අඬන්න ඕන. ඒත් අඬන්න බෑ. දරුවො වෙනුවෙන් ඉවසන් ඉන්න ඕන. පුළුවන් තරම් දරාගෙන ඉඳලා මේ හැමදේම විසඳුණාට පස්සේ මම කාටවත් පේන්නේ නැති තැනකට ගිහින් කෑ ගහලා අඬනවා…”
අඬන්නත් ඉඩක් ප්‍රාර්ථනා කරන ඒ මිනිසා දෙස තිගැස්සී බලාගෙන සිටියා මතකය. ඒත් පත්තරය මුද්‍රණයට යන මේ මොහොතේ සුබදායී බලාපොරොත්තු මාත්‍රයක් දැල්වෙමින් තිබේ. අනුලා ජීවතුන් අතර ඇති සේය.
ඒ මහමෙරක බලාපොරොත්තුව ඇති කරන්නේ ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව ප්රවෘත්ති වාර්තාවක් ඉදිරිපත් කරන 7th news වෙබ් අඩවියේ පළ කළ වීඩියෝවක් මඟිනි. එම වීඩියෝ අනුලා යැයි සැක කළ හැකි කාන්තාවක් හමාස් අත්අඩංගුවේය.
මේ පුවත සැලවූ වහාම යළි කැළුම්ව ඇමතුවෙමි. අනේ… ඔහුගේ හඬ මහා බලාපොරොත්තු සහිතව දුරකතනයේ අනෙක් පසින් ඇසෙමින් තිබිණි.
“වීඩියෝ දුවට ඇගෙ යාළුවෙක් එවලා තිබුණේ. තත්පර ගාණක වීඩියෝ එකක්. ඒක පේන්නේ ඒ අනුලා වගේ තමයි. ඒ වීඩියෝ එෙක් ඇය ඇඳන් ඉන්න බ්ලවුස් එක අනුලා ගිය අවුරුද්දේ ලංකාවට ආවම ඇයට තෑගි ලැබුණ එකක්. අනුලා කොණ්ඩේ බඳින්නෙත් තනි කරලට. ඒ වීඩියෝ එක දැක්කම ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා. “ කැලුම්ගේ ප්‍රාණවත් කට හඬ අසා සිටියෙමි.
මේ වන විට ඊශ්‍රායලයේ ලැබෙන ආරංචි මාර්ග අනුව හමාස් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 160 දෙනකුගේ වෙඩි තබා ඝාතනය කළ සිරුරු හමු වී තිබේ. අනුලාගේ සිරුර ඒ අතර නැත. එමෙන්ම ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇය ගැන තොරතුරක් සොයමින් හමාස් සටන්කාමීන් අතින් දූවිලි වුණ කීඹූට්ස් වෙත ගොස් තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා කැළුම්ට කතා කර මේ වග දන්වා ඒ දුෂ්කර ගමනේ ස්වරූපය විස්තර කර තිබේ. මරණයම ලියැවුණු ඒ භූමියේ බංකර් අතරින් ඔවුන්ට ගමන් කිරීමට හැකි වී ඇත්තේ ගමෙන් අඩක දුරක් පමණය. තානාපතිවරයා කැළුම්ට සහතික වී ඇත්තේ කෙසේ හෝ අනුලා ගැන සියලු දේ සොයාගන්නා බවය.
එමෙන්ම මේ වන විට මේ වීඩියෝවෙන් ලද තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්නවා තිබේ. “මේක හොඳ තොරතුරක්..මේ ඔස්සේ අපට දැන් හොයන්න පුළුවන්” . විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා තිබිණි.
එක් සුබ තොරතුරු මාත්‍රයක් බිඳ වැටී ඇති ජීවිත මහා ජවයකින් යළි උපදවනු දකිමි. ජීවිතය මහා පුදුමාකාරය. ජීවිතයේ චමත්කාරය වන්නේත් එයම බව විශ්වාස කරමි.
ටානියා මෝසස් ඡායාරූප - ගයාන් පුෂ්පික