Home » විපක්ෂය බොරු බිල්ලො මවද්දි අපේ ගමන අපි යනවා

විපක්ෂය බොරු බිල්ලො මවද්දි අපේ ගමන අපි යනවා

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

by Mahesh Lakehouse
October 14, 2023 12:44 am 0 comment

ර්තමාන රජයේ ගමන් මඟ හා ජනතාවට ලබා දිය හැකි සහන හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු ආදිය සම්බන්ධව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා සිළුමිණ කළ සංවාදයකි මේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දෙවෙනි වාරිකය ලැබෙනවා කිව්වට එය නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවයි විපක්ෂය කියන්නෙ‍.

විපක්ෂයේ ප්‍රාර්ථනාවනේ ණය වාරිකය නොලැබෙන එක. නමුත් අපි යන්නේ වැඩසටහනකට අනුව. ඒ වැඩසටහනේදී එකඟතා ප්‍රමාද වෙන්න පුළුවන්. ඉලක්කවලට යන්න අපහසු වෙන්න පුළුවන්. ඒවා තමයි මේ සාකච්ඡා කරන්නෙ. මේ බහුතරයක් අප කළ යුත්තේ වසර 75ක සාම්ප්‍රදායික රාමුවක් බිඳගෙනයි. වැදගත්ම දේ ඒ වගේම සාම්ප්‍රදායික විපක්ෂයක් එක්කයි වැඩ කරන්න වෙලා තියෙන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි ණය පහසුකම ලැබෙන එකක් නෑ කියල විපක්ෂය කියනවා. ඒ අතරේම විපක්ෂ නායක කියනවා ‘අපි බලයට ආවොත් කොන්දේසි වෙනස් කරනවා‘ කියලා. ඒ වගේම හැකිලිච්ච ආර්ථිකයක් එක්ක අප කටයුතු කරන්නෙ. උදාහරණයක් ලෙස කියනවානම් බදු ආදායම එකතු කරනවා කියන්නෙ උඩුගං බලා පීනනවා වගේ වැඩක්. ඒ සියලු කාරණාත් එක්ක යන ගමනක් මේ. අනික් එක මේක දින කැලැන්ඩරයක් නෙමේ. මේක සාකච්ඡා මාලාවක්, සාකච්ඡා වටයක්. ඉන් ඉහළට යන වැඩපිළිවෙළක්. එම නිසා මේ එකඟතාවල තියෙන යම් යම් පොඩි පරස්පරතාවන් ඉවත් කරගෙන අපට මේ ගමන සාර්ථකව යන්න පුළුවන් කියලා අපි හිතනවා.

ඒ වුණාට විපක්ෂය කියන්නෙ රජයේ වැඩපිළි‍වෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිඅරගෙන නැහැයි කියලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව කියලා තියෙනවා, රජය ඉතාම අසීරු ප්‍රතිසංස්කරණ කරල තියෙනවා කියලා. විශේෂයෙන්ම ආණ්ඩුවට තියෙන ලොකුම ගැටලුවක් තමයි සාම්ප්‍රදායික විපක්ෂයක් තිබීම, මේ අය කොයිතරම් භයානක බිල්ලෙක් ද මැව්වෙ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන. ජනතාව පාරට බස්සන්න හැදුවා. ඒ සියලු කඩුලු බිඳගෙන තමයි අපි මේ ගමන යන්නෙ.

රටේ ආරක්ෂාව ගැන ජනතාවගේ ප්‍රසාදයක් නැහැ නේද? පොලිස් නිලධාරීන් පවා ඝාතනය වන තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම දකුණේ පාතාලය හිස ඔසවා තිබෙනවා…

ඒ ගැන අනිවාර්යයෙන්ම දැඩි අවධානය යොමු විය යුතුයි. අපි මෙහිදී පැහැදිලිව තේරුම් ගත යුතු විශේෂම කාරණාව තමයි මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණු රටක් බව. දෙවන ලෝක යුද්ධය අවසන් වූවායින් පසුව මෙරටට ආපු කණ්ඩායම් එක්ක මේ වගේ තත්ත්වයක් ඇති වුණා. තිස් අවුරුදු යුද්ධයේ ආයුධ භාවිත කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම අවිආයුධ බාහිර පාර්ශ්වයන්ට පත් වෙලා. ඒ එක්කම විවිධ ගැටලු නිසා ඇතිවන සමාජ පීඩනය, ඒ වගේම අද තියෙන මත්ද්‍රව්‍ය වැනි විශාල මුදල් ගනුදෙනු කරන මාෆියා ව්‍යාපාර. මේ වගේ සිදුවීම් නිසා මෙවැනි පිරිස් බිහි වීම සාමාන්‍යයයි.

නමුත් මේ භීෂණකාරී තත්ත්වය අනිවාර්යෙන්ම මැඩ පැවැත්විය යුතුයි. ඒ සඳහා ආරක්ෂක අංශ මූලිකත්වයෙන් දැඩිව මර්දනය කිරීමේ ක්‍රමවේදයක් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් රේගුව විශේෂත්වයෙන් යුතුව කටයුතු කරනවා. රේගුව හරහා මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට දැන් හැකියාවක් නැහැ. වෙනදා කරන පිරික්සුම් අපි දෙගුණ කර තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය මැඬලීමට මහජන හා මාධ්‍ය සහාය අවශය යි. ඒ හරහා මේ ක්‍රියාවන් මැඩ පැවැත්වීමට පහසු වෙනවා.

නමුත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම කෙසේ වෙතත් ආණ්ඩුවට තවමත් පොලිස්පතිවරයෙක් පත් කරගන්න බැරිවෙලා නේද?

පොලිස්පතිවරයා පත් කිරීම හා පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු කිරීම දෙකක්. එය ප්‍රශ්නයක් ඇති නොවන හා සිත් නොරිදෙන ලෙස කටයුතු කිරීමටයි රාජ්‍ය නායකයා කටයුතු කරන්නෙ. ඒ පත් කිරීම සිදු කෙරෙයි. නමුත් පොලිස් දෙපාර්තමේන්තුවට එයින් බාධාවක් වන්නේ නැහැ. එදිනෙදා කටයුතුවලට බාධාවක් වීමට එයින් ඉඩක් නැහැ

අද වන විට ඖෂධ ගෙන්වීම විශාල මාෆියාවක් බවට පත්වෙලා තියෙන්නෙ.

ලංකාවේ මුදල් විශාල වශයෙන් හුවමාරු වන ක්ෂේත්‍රයක් තමයි ඖෂධ ආනයනය කිරීම. එහි ඇති දැඩි අවශ්‍යතාවය මත එයට හැමවිටම ප්‍රමුඛතාව දෙනවා. භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලීමේදී මෙන්ම ටෙන්ඩර් කැඳවීමේදීත් එයඉ ඉහළම ප්‍රමුඛතාවක් ලබා දෙනවා. විශේෂයෙන්ම හිඟයක් ඇති වූ විටදී ගෙන්වීමට පවා එයට මුල් තැනක් ලබා දෙනවා. එම නිසා අනෙක් ක්ෂේත්‍රවලට වඩා හැම කරුණක් කෙරෙහිම ගැටලු මතුවන්නට ඉඩක් තියෙනවා.

ඒත් විශාල චෝදනාවලට ලක් වූ අය තවමත් නිදැල්ලේ ඉන්නවා.

චෝදනාවට ලක්වීමයි ඒ චෝදනා ඔප්පුවීමයි අතර යම් කාලයක් අපේ රටේ තියෙනවා. අපේ රටේ තියෙන්නෙ රෝම ලන්දේසි නීතියනෙ. ඒක නිසා වරදක් ඔප්පු වෙනකල් නිවැරැදිකරු කියන න්‍යායයේ සිටයි අපට කටයුතු කරන්න වෙන්නේ. චෝදනාවට ලක් වන යම් පුද්ගලයෙක් නිවැරැදිකරුවෙක් නම් අපි පරිස්සමෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ ප්‍රවේශම නිසා යම් සැබෑ වැරැදිකරුවකුටත් සහනයක් වෙන්න පුළුවන්. නමුත් නීතිය ඊටත් එහා ගෙනියනවා කියන්නෙ ඊට එහා සමාජ ප්‍රශ්න ඇති වෙන සිද්ධාන්තයක් වෙන්න පුළුවන්. නිසි තහවුරු වන ආකාරයේ තොරතුරු සොයා ගැනීම අප කාගේත් වගකීමක්.

පරිසර ඇමැති නසීර්ගේ තීන්දුව දේශපාලන කරළියේ කැළඹීමක් ඇති කරලා තියෙනවා. නොපෙන්නුවාට බොහොමයක් මැති ඇමැතිවරුන් මේ තීන්දුවෙන් පස්සෙ යම් ආකාරයක පීඩනයකට ලක්වෙලා වගේ නේද?

මෙහි දෙපැත්තක් තියෙනවා. එකක් තමයි පක්ෂයක තියෙන අයිතිවාසිකම. නමුත් අපේ රටේ දේශපාලනය දැන් ගමන් කරන්නෙ පක්ෂය මතම ද කියන එකත් ගැටලුවක්. අද මේ රට ගැලවිලා තියෙන්නෙ තනියම පාර්ලිමේන්තුවට ආපු පුද්ගලයෙන් නිසා. එතුමා මූලිකත්වය ගත්තෙ නැත්නම් අද මොනව වෙලා තියෙයි ද දන්නෙ නෑ. ‘අපි කැපුවත් අර පාට, කැපුවත් මේ පාට‘ කියන සංකල්පයේ නෙමෙයි දැන් දේශපාලන ගමන් මඟ තියෙන්නෙ.

නමුත් අධිකරණ තීන්දුව ගැන කිසිදු ආකාරයක කතාවක් නැහැ. ඒ උත්තරීතර තීන්දුවට අපි ගරු කරනවා. නමුත් සමස්තයක් ලෙස ගත් විට ඉස්සර පක්ෂවලට තිබුණු බැඳීම දැන් තියනව ද කියන එකයි ගැටලුව.

බදු බර වැඩියි කියන කතාව අද සමාජයේ හැම ක්ෂේත්‍රයකින්ම ඇහෙනවා. වෛද්‍යවරුන් පවා බදු සම්බන්ධව විරෝධතා ව්‍යාපාර දියත් කළා බදු අඩුවීමක් නැත්නම් යම් සහනයක් ලැබෙන ක්‍රමවේදයක් නැද්ද?

තාම අපි ඉලක්කවලට ගිහින් නැහැ. බදු බර වැඩියි කියල පේන්නෙ එක්වර ගැඹුරු තැනකින් එහාට යන්න පටන් ගත්ත නිසා. ලෝකයේ අඩුම බදු ආදායම තියෙන රට තමයි අපි. අපි යම් තැනකට ඉලක්කයක් කරා යනවා. ඒක විය යුතුයි නේ. නමුත් ඒ යන්න වෙලා තියෙන්නෙ හැකිලිච්ච ආර්ථිකයක් එක්ක. ඒ එක්කම බැංකු පොලිය වැඩිවෙලා, ව්‍යාපාර අඩාල වෙලා, ආදායම අඩුවෙලා තියෙනවා. නමුත් මේවායින් වැඩිපුර දැනෙන්නෙ බදු පැත්තයි. රජයක් බදු අය කළ යුතුයි. අපිට පුළුවන් හැම අවස්ථාවකම බදුවලින් බලපෑම් ඇතිවන ක්ෂේත්‍ර හඳුනාගන එම අංශවලට සහන සලසන්න කටයුතු කරනවා. අපේ ඉලක්කය වන්නේ බදු පදනම වැඩිකිරීමයි. සැබෑවටම බදු ගෙවිය යුතු විශාල පිරිසක් බදු ගෙවන්නෙ නෑ. ඒ අය බදු ගෙවීමට යොමු කිරීම වගේම ක්‍රමානුකූලව වැඩි බදු බරක් දරන අයට සහනයක් ලබා දීමටත් ඉදිරියේදී කටයුතු කරනවා

නමුත් අසරණ වකුගඩු රෝගීන්, හදවත් රෝගීන්ගෙන් පවා බදු අය කරන ක්‍රමවේදයක් නේද බැංකුවල තියෙන්නෙ.

ඇත්තටම බැංකු අය කරන්නේ රඳවා තබා ගැනීමේ බද්දක්. ඒක රජයට අය කරන බද්දක් නෙමෙයි. ලක්ෂයකට අඩු ආදායමක් තියෛන අයට ඒ බද්ද වසර අවසානයේ නිදහස් කරගන්න පුළුවන්. නමුත් දැන් අපි ඒ සම්බන්ධව විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී තියෙනවා. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 1944 ක්ෂණික අංකයට අමතා නැත්නම් ප්‍රාදේශීය කාර්යාලයකට ගොස් හෝ වසරක් යාමටත් පෙර එය නිදහස් කර ගැනීමට හැකියාව තියෙනවා.

වාහන හැර සෙසු භාණ්ඩ ආනයනයට අවසර දීම තුළින් අපේක්ෂිත ඉලක්ක ඉටුවෙයිද? දත් හාරන්නට ගන්නා toothpick පවා ආනයනය කරන තත්ත්වයක් අපේ රටේ තිබුණා. එවන් තත්ත්වයක් යටතේ අපට අපනයන ආර්ථිකයක් සකස් කර ගත හැකිවෙයිද?

අපි අපනයන ආර්ථීකය මත යැපෙන රටක් එවන් රටකට ආනයන සම්පූර්ණයෙන්ම නවතා කටයුතු කරන්න බැහැ. සමහරු හිතාගෙන ඉන්නවා එළවළු පවා ආනයනයට අවසර දුන්නහම පිපිඤ්ඤ ගෙඩියත් ආනයනය කරයි කියල. අපේ තියෙනවා බලවත් රෙගුලාසිවලින් හැදුණු නිරෝධායන නීති මාලාවක්. ඒ වගේම ඒ වෙනුවෙන් ආනයන බද්දක් තියෙනවා. 400%ක දැවැන්ත බද්දක් අපි අය කරනවා. එවන් දැඩි පාලනයකට යටත්වයි අපි එවැනි ද්‍රව්‍ය ආනයනයට අනුමැතිය දෙන්නේ. දේශීය ආර්ථිකය රැකගන්න අපට ආනයන කිරීමට සිදුවෙනවා. එහෙම නොවුණොත් දේශීය අපනයන භාණ්ඩත් අපටමයි තියාගන්න වෙන්නෙ.

පාසල් යා යුතු දරුවන් රැසක් දරිද්‍රතාව නිසා පාසල් නොයන තත්ත්වයක් තියන බව අධ්‍යාපන සමීක්ෂණයකින්ම පසුගියදා වාර්තා වුණා. ඒ දරුවන් වෙනුවෙන් යම් සමාජ මෙහෙවරක් සිදු කළ නොහැකිද?

පාසල් උපකරණ මිල ඉහළ යාම ඇත්තෙන්ම විශාල ප්‍රශ්නයක් වුණා. ආර්ථික අර්බුදයත් එක්ක අඩු ආදායම්ලාභීන්ට විශාල ගැටලු මතුවුණා. ඒ වෙනුවෙන් අපේ සීමාවෙන් එහාට ගිහින් පවා අප සහන සලසන්න කටයුතු කළා.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division