ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ පළමු සමාලෝචනය අවසන් කරමින් ඇති කරගත් කාර්යමණ්ඩල එකඟතාව, බහුපාර්ශ්වික ණය හිමියන්ගේ හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීමට උපකාරී වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම කාර්ය මණ්ඩල එකඟතා ගිවිසුම අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 330 ක දෙවන වාරිකය ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඉකුත් 20වැනි සිකුරාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. ඊට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණ සති දෙකක් පුරා පුළුල් ලෙස සමාලෝචන කරමින් අප සමඟ සාකච්ඡා සිදු කළා. එහිදී විවිධ විෂයයන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු නිසා එක් වරම කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමට නොහැකි වුණා.
ඒ නිසා මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික හමුවේදී අපි මේ පිළිබඳව තවදුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
ඒ වන විටත් විවිධ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට සිදු වූ නිසා අප නැවත ලංකාවට පැමිණ ඔවුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡා කළා. ඒ අනුවයි මෙම එකඟතාවට ඒමට හැකියාව ලැබුණේ. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡා සිදු කෙරුණා.
දෙවැනි වාරිකය ලබාගැනීමට හෝ ඒ සඳහා විධායක කමිටුවේ අනුමැතිය ගැනීමට අප කිසිම බියක් ඇතිකර ගත යුතු නැති බව අප පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීත් දැඩිව අවධාරණය කළා.
රජයක් ලෙස අපට ඒ විශ්වාසය තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ පළමු සමාලෝචනය කිරීම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාව මගින්
බහුපාර්ශ්වික ණය හිමියන්ට හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීමට උපකාරී වන බව කිව යුතුයි.
ඒ වගේම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම (SLA) හරහා හරහා ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට සහ අනෙකුත් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල වෙත ඉතිරි වාරික ගෙවීමට හැකියාව ලැබෙනවා. එමගින් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වේගවත් කිරීමට උපකාරී වනවා.