Home » ක්‍රිකට් නාඩගමේ මුල මැද අග
කන්දක් විලි ලා මී පැටියකු වදපු 

ක්‍රිකට් නාඩගමේ මුල මැද අග

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

යිසීසී එක්දින ලෝක කුසලාන තරගාවලියේ බැලූ බැල්මට පෙනෙන්නේ ඇල්මැරුණු ස්වරූපයකි. බොහෝ තරග තරගකාරීත්වයෙන් තොරය. මේ ලිපිය ලියන සිකුරාදා දිනයේ රාත්‍රී පැවැත්වෙමින් තිබූ ඔස්ට්‍රේලියා – පාකිස්තාන තරගයත් සමඟ දැනට තරග 18ක් අවසන් ය. පසුගිය ලෝක ශූර එංගලන්තය සහ අනුශූර නවසීලන්තය අතර අහමදාබාද් නුවර පැවැති පළමු තරගය ඕවර 13කුත්, පන්දු 4ක් ඉතිරිව තිබියදී නවසීලන්තය ජයගත්තේ කඩුලු 9කිනි. 11 වැනිදා පැවැති ඉන්දීය – ඇෆ්ගනිස්තාන තරගය ඉන්දීය පිල කඩුලු 8කින් ජයගත්තේ ඕවර 15ක්ම ඉතිරිව තිබියදී ය. 13 වැනිදා පැවැති බංග්ලාදේශ- නවසීලන්ත තරගයෙන් නවසීලන්තය කඩුලු 8කින් ජයගන්නා විට තවත් ඕවර 7කුත්, පන්දුවක් ඉතිරිව තිබිණි. ඒ හැරුණු විට කඩුලු 7කින් ජයගත් අවස්ථාවන් ද, කඩුලු 6කින් ජයගත් අවස්ථාවන් ද, ලකුණු එකසිය ගණනකින් ජයගත් අවස්ථාවන් ද තිබිණි. ලෝක කුසලානය වැනි තීරණාත්මක තරගාවලියක ප්‍රේක්ෂකයත් බලාපොරොත්තු වූ සටන්කාමීත්වය හා තරගකාරීත්වය දක්නට ලැබුණේ එහෙමත් තරගයකය.

මෙතෙක් වාර්තා වූ සියුම් ජයග්‍රහණය අත්කර ගත්තේ නෙදර්ලන්ත කණ්ඩායමය. ඔවුන් 17 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 38ක ජයක් වාර්තා කළ අතර, එම තරගය අවසන් වූයේද ඕවර 42.5කදීය.

සිකුරාදා රාත්‍රී ඔස්ට්‍රේලියා- පාකිස්තාන තරගයට පෙර ප්‍රසාද ලකුණු සටහනේ තරග 4ම ජයගැනීමට නවසීලන්තය සහ සත්කාරක ඉන්දියාව සමත් වී සිටි අතර, දෙපිලම ප්‍රසාද ලකුණු අට බැගින් ලබා සිටියේය. එහෙත් ලකුණු ලැබීමේ දළ වේගයට අනුව පළමු ස්ථානය නවසීලන්තයට හිමි විය. ඊළඟ සතිය වන විට සියල්ල උඩුයටිකුරු වීමට ද පුළුවන. ප්‍රසාද ලකණු සටහනේ තුන්වැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාව සහ සිවුවැනි ස්ථානයේ සිටින පාකිස්තානය සිකුරාදා තරගයට පෙර ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටියේ තරග 3කින් දෙක බැගින් ජය ගෙන ය. පස්වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා පිළිවෙළින් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ලකුණු 2 බැගින් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා කරන්නට දෙයක් තවම වාර්තා වී නැත. කවුරුත් දන්නා පරිදි ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත්වී ශ්‍රී ලංකා පිල පසුවන්නේ අවසන් ස්ථානයේය. එය මිලියන 22ක ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දැඩි කනගාටුවට පත් කළ සිදු වීමකි. එසේ වුවත් මෙරට ක්‍රීඩාලෝලීන් තවම බලාපොරොත්තු අත් හැර නැත. ශ්‍රී ලංකා පිලට සෙනසුරාදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයත් සමඟ තරග 6ක් එහෙම පිටින්ම ඉතිරිව ඇත. හිස ඔසවනවා නම් ඊට කාලය ද ඉතිරිව තිබේ. අවශ්‍ය වන්නේ දස්කම් පෑම පමණි. ගැටලුව ඇත්තේ

එතැනය.

පෙනෙන හැටියට ක්‍රීඩාලෝලීන් කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් තවම හිස එසවීමට සූදානම් නැත. කණ්ඩායමේ ආබාධ සහිත ක්‍රීඩකයෝ ද වෙති; ආබාධ සහිත බව කියන ක්‍රීඩකයෝ ද සිටිති. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙරට තබා තරුණ කණ්ඩායමක් ඉන්දියාවට යැවූ ජාතික තේරීම් කමිටුව ඊයේ පෙරේදා ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක සහ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දියාවට යැවුවේය. ඔවුන් ඉන්දියාවට යවා ඇත්තේ ඉදිරියේදී ආබාධවලට ලක්වන ක්‍රීඩකයන් වෙනුවට ආදේශ කිරීමටය. ඒ සඳහා අයිසීසී තාක්ෂණික කමිටුවේ අවසරය ද ලැබිය යුතුව තිබේ. නිසැක වශයෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකා පිලේ තවත් ක්‍රීඩකයන් කිහිපදෙනකු ආබාධවලට ලක්වනු ඇත. ඔවුන් වෙනුවට මැතිව්ස් සහ චමීර කණ්ඩායමට ඇතුළත් කිරීමට අයිසීසී තාක්ෂණික කමිටුවේ අවසරය ද ලැබෙනු ඇත. දැනට පෙනෙන තත්ත්වය එයයි.

නොපෙනෙන තත්ත්වයක් ද පෙනෙන්නට තිබේ. එය ආබාධයක් හේතුවෙන් නායකත්වයෙන් පමණක් නොව කණ්ඩායමෙන් ද ඉවත් කළ නායක දසුන් ශානක හදිසියේම යළි පුහුණු කටයුතු ආරම්භ කර තිබීමය. දකුණු පාදයේ මාංශ පේශීන්වල ආබාධයක් ඇතිවී ඇතැයි කී දසුන්ට එය සුව වීමට සති තුනක කාලයක් ගත වනු ඇතැයි අයිසීසීය පසුගියදා නිවේදනය කරනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනුම්දීමකට අනුවය. දසුන් වෙනුවට වේගපන්දු යවන චාමික කරුණාරත්න කණ්ඩායමට ඇතුළත් කරගැනීමට අයිසීසී තාක්ෂණික කමිටුවේ අවසරය ද ලැබී තිබිණි.

නොපෙනෙන අනිත් කාරණාව වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන දින කිහිපයකට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමය. වාර්තා වන ආකාරයට ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ලබන 26 වැනිදා පැවැත්වෙන එංගලන්ත – ශ්‍රී ලංකා තරගයට පෙර යළි කණ්ඩායම සමඟ එක්වීමේ බලාපොරොත්තුවෙනි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පෞද්ගලික කාරණාවකට බවත් වාර්තා විය. ඒ සඳහා ඔහුට අයිතියක් ඇති බැවින් එම සිදුවීම සම්බන්ධව කතා කිරීම වැඩකට නැත.

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩා රටාවට වඩා ඉන්දියාවේ වීදි ක්‍රිකට් ඉහළ මට්ටමක තිබෙන බව ඉන්දියාවේ හිටපු පිතිකරු සුනිල් ගවස්කර් ප්‍රකාශ කිරීමත් එවැනි කට කතාවකි. මහේල ශ්‍රී ලංකාවට පැමිණීම කතාබහට ලක්වී ඇත්තේ පිට පිට තරග 3ම පරාජයට පත් වී ප්‍රසාද ලකුණු සටහනේ අන්තිම අඩියේ සිටින ශ්‍රී ලංකා පිල සෙනසුරාදා නෙදර්ලන්තයට එරෙහිව මුහුණ දෙන තීරණාත්මක තරගය ආසන්නයේදී වීම නිසාය. ඊට කරන්නට දෙයක් නැත. පෞද්ගලික හේතුවකට පැමිණීම නිසා මහේල ඒ සම්බන්ධයෙන් විවේචනයට ලක් කිරීම නොවටී. එහෙත් පැරදුණු තරග 3ම පරාජය වූ ආකාරය ගැන බලද්දී ශ්‍රී ලංකා පිලේ දුර්වලතා අකා මකා දැමීමට ඔහු දුන් උපදෙස් ගැනත් වෙනම කතා කළ යුතුව තිබේ.

ශ්‍රී ලංකා පිලේ පසුබැස්ම ගැන විචාරකයන්ගේ සැලකිල්ලට ලක් වූ කාරණා ගණනාවකි. එකක් ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියට සූදානම් වූ ආකාරය ගැනය. අනික ලෝක කුසලානය වැනි ප්‍රධාන මට්ටමේ ජාත්‍යන්තර තරගාවලියකදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කෙරෙහි අවධානය යොමු නොකිරීමය. අනික් බරපතළම කාරණාව වන්නේ එක්දින ලෝක කුසලානයක් අත ළඟ තිබියදී විස්සයි20 මුහුණුවර යටතේ එල්පීඑල් තරගාවලිය පැවැත්වීමය. එය නිමාවට පත්වූයේ අගෝස්තු මස 20 වැනිදාය. අයිපීඑල් තරගාවලිය නිමා වූයේ මැයි මාසයේ 28 වැනිදාය.

පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට ලෝක කුසලාන සංචිතයට ඇතැම් ක්‍රීඩකයන් ඇතුළත් නොකළ බවටත් කිසිවකුට තර්කයක් ඉදිරිපත් කළ හැකිය. ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩකයන් ඇතුළත් කිරිමේදී මුදලින් දොළ පිදේනි දිය යුතුව ඇති බවටත්, එසේ නොකරන ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් නොකරනු ඇති බවටත් පළ වන අදහස් විශ්වාස කළ හැකි ඒවා නොවේ. එහෙත් එවැනි අකටයුතුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ තිබේදැයි යන්න පිළිබඳ නම් සොයා බැලිය යුතුය.

කවුරු කෙසේ කීවද සියලු පාර්ශ්වවල අරමුණ විය යුතු වන්නේ රටේ ගෞරවය ආරක්ෂා කරගැනීමය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේ දක්වා ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ හා පෙන්වා ඇති දස්කම් විස්කම් ගැන බලද්දී මෙවර ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකා පිලේ පසුබැස්මට සියලු පාර්ශ්ව වගකිව යුතුය. පරාජය අවජාතක යැයි කියා අත පිස දමා ගැනීමට කිසිවකුට ඉඩක් නොදිය යුතුය. ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් ගැන සැලකිලිමත් වීමේදී අදක්ෂ යැයි කියා කිසිදු ක්‍රීඩකයකු ගිණිය නොහැකිය. අවශ්‍ය වන්නේ ඉතිරි තරග 6දී ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාව ඉහළ දැමීමට උපක්‍රමශීලීව කටයුතු කිරීමය. ඩොලර් දහස් ගණනක වැටුපක් දී ක්‍රිකට් ආයතනය උපදේශකවරයකු පත් කර ඇත්තේ ඒ සඳහා ය. තවත් ඩොලර් දහස් ගණනක් වැය කරමින් පුහුණු කාර්ය මණ්ඩලයක් පත් කර ඇත්තේ ඒ සඳහාය.

අනිත් අතට සිහියේ තබා ගත යුතු කාරණාව වන්නේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වී සිටින්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් බවය. සෙනසුරාදා තරගය පැවත්වෙන්නේ එම කණ්ඩායම් අතරය. වැඩිපුර දෙයක් කතා කරන්නේ නම් එය කතා කළ යුතු වන්නේ ද එම තරගයෙන් පසුවය.

ඕනෑම තරගයකදී ඕනෑම කණ්ඩායමක ඉනිම ශක්තිමත් කිරීමේ ප්‍රධානතම සාධකය වන පළමු කඩුල්ලේ සබඳතාව අතින් ගත් විට ශ්‍රී ලංකා පිල අසාර්ථක වී සිටින අතර, මැදපෙළ පිතිකරුවන් අතර සිටින අත්දැකීම් බහුල පිතිකරු ධනංජය ද සිල්වාගේ දුර්වල පිති හරඹය නිසාම ඉනිමේ අවසන් භාගය එහෙම පිටින්ම අසාර්ථක වී තිබේ. ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේදී මිචෙල් ස්ටාක්ගේ පන්දුවකට ධනංජය දැවී ගිය අයුරු විමතිය දනවනසුලුය. එවැනි වගකීම් විරහිත පහරක් ඔහු වැනි අත්දැකීම් ඇති පිතිකරුවකුගෙන් බලාපොරොත්තු විය හැකි දැයි සිතේ. මේ තත්ත්වය නිසාම ලකුණු අතරේ සිටින කුසල් මෙන්ඩිස්ට සහ සදීර සමරවික්‍රමට වැඩි පීඩනයක් පැටවී ඇති බව ද පෙනේ. මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණුලාභීන් 25 දෙනා අතර ශ්‍රී ලංකා පිතිකරුවන් ලෙස සිටින්නේ ද ඔවුන් දෙදෙනා පමණි. ඩිල්ෂාන් මධුසංඛ හැරුණු විට වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ වෙනත් ශ්‍රී ලාංකික පන්දු යවන්නකු අහලකවත් නැත.

දැන් තිබෙන තත්ත්වය අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් අප සෙනසුරාදා නෙදර්ලන්තය සමඟ පැවැත්වෙන තරගය ද ඇතුළුව ඉතිරි තරග සියල්ල ජයගත යුතුව ඇත. නොඑසේ නම් තරග 5ක් දිනා සෙසු කණ්ඩායම්වල ජය පරාජය දෙස බලා සිටිය යුතුව තිබේ. ඒ අතින් බැලූ විට ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික වාසනාව කැරකෙන තුරු කල් මැරීමේ අවාසනාවන්ත ගති පැවැතුම් ක්‍රිකට් ක්‍රීඩාවේ කියා වෙනසක් නැති ගාණය. තේරීම් කමිටුව ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තේරීමේදී කටයුතු කළ ආකාරය ඉස්මතු වන්නේ මෙවැනි පසුබැස්මකදීය. ක්‍රීඩකයන් දස්කම් අතරට පැමිණෙන්නේ නම් තේරීම් කමිටුව හෝ ක්‍රිකට් උපදේශක ගැන විවේචන හෝ චෝදනා එල්ල නොවේ. ඒ අතින් බැලූ විට ක්‍රීඩකයන්ගේ දුර්වලතාවට තේරීම් කමිටුව හෝ ක්‍රිකට් උපදේශක වගකිව යුතුව නැතැයි කෙනකුට තර්ක කළ හැකිය. එසේ නම් පරාජයේ වගකීම බාර ගත යුතු වන්නේ පුහුණු කාර්ය මණ්ඩලය විය යුතුය. එහෙත් මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා පිලට හිස් අතින් ගෙදර ඒමට සිදු වුවහොත් නිසැකවම පුහුණු කාර්ය මණ්ඩලය එම වගකීම බාර ගැනීමට සුදානම් නැති බවටත්, ඔවුන් මුළුමනින්ම පිළිපදින්නේ ක්‍රිකට් උපදේශකගේ උපදෙස් බවටත් තොරතුරු වාර්තා වනු සහතිකය. එසේ වූ විට පරාජය අවජාතක බව අමුතුවෙන් කිව යුතු ද නැත.

තර්ක විතර්ක කෙසේ ගොඩනැඟුව ද අවසන් රාජකාරිය පැවරී ඇත්තේ පිටියට බසින ක්‍රීඩකයන් මතය. පිටියෙන් පිටතදී කොතරම් සැලසුම් කළ ද, කොතරම් පුහුණු සැසි පැවැත්වූව ද, අවසන් ප්‍රතිඵලයට මුහුණු දෙන්නේ ක්‍රීඩකයන් මිස ක්‍රිකට් උපදේශක හෝ පුහුණු කාර්ය මණ්ඩලය නොවන බව කවුරුත් දනිති. දහසක් බලාපොරොත්තු ඇතිව මෙවර ලෝක කුසලානයට කණ්ඩායම තේරූ බව කියන තේරීම් කමිටුව අවසානයේදී සිදු කර ඇත්තේ කන්දක් විලි ලා මී පැටියකු වැදීම දැයි ඇසීමට තවමත් වේලාසන වැඩිදැයි සිතුණ ද, එසේ විමසීමේ අසාධාරණයක් නැතිදැයි විටෙක සිතේ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division