– මගේ පෞද්ගලික ජිවිතේ අයිති මට ඒ නිසා පෞද්ගලික ජිවිතේ ගැන මම කතා කරන්නේ අඩුවෙන්
– සිනමාවට ආරාධනා ආවේ අතරින් පතර ඒකත් එක්ක ඒ විදියට ගනුදෙනු සිද්ධ වුණා
– හැම දෙයින්ම ඉවත් වෙලා ගජනායක කියන චරිතය එක්ක ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය ගොඩනඟන්නයි වෙහෙසෙන්නේ
– ආදර අන්තය චිත්‍රපටයෙන් පසු මට ඇරයුම් පුංචි තිරයේ දැකපු නිර්මාණවලින් යම් ඈත් වීමක් වෙලා තියෙනවා. මොකක් නිසා ද මේ ඈත් වීම සිදු කළේ
මේ කාලය සම්පූර්ණයෙන්ම යොදවලා තියෙන්නේ අශෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කරන ආදර අන්තය කියන චිත්‍රපටය වෙනුවෙන්. එහි රූපගත කිරීම් මේ නොවැම්බර් මස 7 පටන් ගන්නවා. ඒ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත දවසේ ඉඳන්ම චිත්‍රපටය තුළ අපේ රංගනය පැත්තෙන් කරන්න අවශ්‍ය කරන බොහෝ දේවල් එකතු කර ගන්න තිබුණා. ඒ වෙනුවෙන් විශාල ශෙඩුල් එකක් දීලා තිබුණා. ඒකත් එක්ක කාලය ගත කළා. ඒකත් එක්ක ඉන්නකොට වෙන කිසිම දෙයක් කරන්න වෙලාවක් තිබුණෙත් නැහැ. ඒ නිසා ටෙලිනාට්‍යය වල ෂූටින්වලින් පසුගිය මාස දෙකේම ඉවත් වෙලා හිටියේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ වගේ කාලයක චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට ඉදිරිපත් වුණු ප්‍රශාන්ත දිසානයක, එච්. ඩී. පී. හඳපාන්ගොඩ, අභයපාල පෙරේරා, ඩී. තෙන්නකෝන් සහ ඉසුරු යාපා කියන නිෂ්පාදකවරු පස් දෙනාව. ඔවුන්ව අපි රැක ගත්තොත් ඒක අපි සිනමා කර්මාන්තයට කරන හොඳ ආයෝජනයක් වෙයි.
තහංචි කිහිපයකුත් පැනවිලා තියෙනවා නේද?
ඔව්. ඔව්. තහංචි කිහිපයක් පනවලා තියෙනවා. ඒ තහංචි එක්ක මට කොහොමටවත් වැඩ කරන්න පුළුවන්කමක් නැහැ. ඒක අපි අත්සන් කරපු ඇග්රිමන්ට් එකේම තිබ්බා. ඒ නිසාම මගේ යූ-ටියුබ් වැඩ කටුතුත් නතර කළා. මෙතෙක් කරපු සියලු දේවල්වලින් ඉවත් වෙලා පූර්ණ කාලීනව ගජනායක කියන චරිතය එක්ක ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය ගොඩනගන්න තමයි වෙහෙසුණේ.
සිනමාව තුළ ජනක කුඹුකගේට ලැබුණු ඉඩ කඩ කොහොමද?
මුලින්ම මම ප්‍රධාන චරිතයක් කළේ සෝමරත්න දිසානායක මහතාගේ සරෝජා චිත්‍රපටයේ. ඒ වෙනුවෙන් ඒ අවුරුද්දේ ජනාධිපති සම්මාන උලෙළේ හොඳම නළුවා සම්මානය ලැබුණා. ඊට පස්සේ චිත්‍රපට කිහිපයකම රඟපෑවා. මෑතකම මම කළේ තුසිත ද සිල්වාගේ ‘Midnight Train’කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ඊට කලින් කළා උදාර පල්ලියගුරුගේ ජිගලෝ කියන චිත්‍රපටය. සිනමාවට මට ආරාධනා ආවේ අතරින් පතර. ඒකත් එක්ක ඒ විදියට ගනුදෙනු සිද්ධ වුණා.
ඔබ තවමත් වේදිකාවට ආදරය කරනවා නේද?
වේදිකා නාට්‍යයවලට මම දිගටම සම්බන්ධ වුණා. පුංචි තිරයේ නිර්මාණ කොයිතරම් ප්‍රමාණයක් කළත් මම වේදිකාව අතහැරියේ නැහැ. අදටත් එහෙමයි. අන්තිමටම කළේ සරත් කොතලාවලගේ වේදිකා නාට්‍යය “සුදු වලහා හිරෙන් පනී” නාට්‍යය. ඊට කලින් ඔහුගේම “ජයසිරිට පිස්සු” කියන වේදිකා නාට්‍යයේ රඟපෑවා. පසුකාලීනව කොරෝනා කාලය සහ ඉන්පසු ඇතිවුණු ආර්ථික කඩා වැටීම එක්ක වේදිකා නාට්‍යවලට දැඩි බලපෑමක් ආවා. මේ වෙද්දී නම් වෙන පැත්තකින් ගොඩනැඟිලා තියෙනවා. ආදර අන්තය චිත්‍රපටයෙන් පසු මට ඇරයුම් ලැබිලා තියෙනවා අලුත් වේදිකා නාට්‍යයකට. ඒ තරංග බණ්ඩාරගේ අලුත්ම වේදිකා නාට්‍යයකට.
ඔබේ කලා ජීවිතයේ මේ ගත වෙන්නේ කීවෙනි අවුරුද්දද?
මේ කතා කරන මොහොත වෙද්දී මගේ කලා ජීවිතේ ගත වෙන්නේ 35 වෙනි අවුරුද්ද.
තිස්පස් වසරක කලා ජීවිතය තුළ කළ කී දේවල් සහ ලැබුණු දේවල් ගැන තෘප්තිමත් ද?
තෘප්තිමත් කියන්නේ මෙහෙමයි. ඇත්තටම බැලුවොත් කවුරුත් තෘප්තිමත් වෙන්නේ නැහැ. එක දෙයක් ලැබුණම තවත් දෙයක් හොයාගෙන යනවා. ඒක තමයි මිනිස් ස්වභාවය. හැබැයි මම සතුටුයි. මගේ ගැන හරි ආඩම්බරයි. විශාල ප්‍රේක්ෂකාගාරයක් මා වටා ඉන්නවා. මඟ තොටේ මුණගැහුනම ප්‍රේක්ෂකයින් කරන කතා බහ එක්ක ලොකු සතුටක් ඇති වෙනවා.
රටේ කලාව ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් ඉහළ මට්ටමේ දියුණු කලාවක් පවතින්නේ දියුණු රටවල්වල. අපි පුංචි කාලේ ඉඳන්ම අහන්නේ අපි දියුණු වෙමින් පවතින රටක් කියලනේ. මගේ නම් තර්කය මේක සම්පූර්ණයෙන්ම නොදියුණු රටක්. එහෙම නොදියුණු රටක අපි බලාපොරොත්තු වෙන කලාව නිර්මාණය වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආකල්ප සහ පුරුදු තියෙන්නෙත් යම් යම් ප්‍රාථමික තැන් වල. ඒ වගේම විශාල ආයෝජනයන් සිද්ධ වෙන්නේ නැහැ කඩා වැටුණු රටවල්වල. ඒ ගැන නම් ලොකු කලකිරීමක්. පේන තෙක් මානයක විසඳුම් කියලා දෙයක් දකින්නත් නැහැ.
මේක ඇතුළේ කුසලතා සහිත විශාල පිරිසක් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අයට වැඩ කර ගන්න ආර්ථික වාතාවරණයන් තියෙන්නේ ඉතා අවම මට්ටමේ. මම මේ ක්ෂේත්රයට ආව දවස්වල ඉන්ටව් බලද්දී මට තේරෙනවා අදටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි කියලා. එහෙම වෙන්න බැහැනේ රටක් දියුණු වුණා නම්. එදා ඒ කියලා තියෙන දේවල් අදටත් සහ හෙටටත් වලංගුයි. ඒක ලොකු ඛේදවාචයක්. ඒක ඇතුළේ තමයි අපේ සමස්ත කලා ධාරාවම තල්ලු වෙමින් තියෙන්නේ. හැබැයි ඒක ඇතුළෙත් පුද්ගලයින් උත්සාහ කරනවා ඇඟේ තියෙන උණට අතේ තියෙන තුට්ටුවත් වියදම් කරලා ඉතා හොඳ නිර්මාණ කරන්න. අන්න ඒ සතුට තියෙනවා. එහෙම නැතුව අපේ කලාව හොඳ තැනක තියෙනවා, අපි මාර පොරවල් කියලා සතුටු වෙන්න පුළුවන්කමක් මේක ඇතුළේ කාටවත් නැහැ.
ජනක මුලින්ම කලා ලෝකයට එන්නේ වීදි නාට්‍යය තුළින්?
ඔව්. මම මුලින්ම ක්ෂේත්රගත වුණේ 1984 දී ගාමිණී හත්තෙට්ටුවගමගේ නාට්‍ය වැඩමුළුවට එකතු වෙමින් ඔහුගේ වීදි නාට්‍ය කණ්ඩායමත් එක්ක. ඊට පස්සේ මම වේදිකාවට සම්බන්ධ වුණා. එතැනදී ධර්මසිරි බණ්ඩාරනායක, සෝමලතා සුබසිංහ, අශෝක හඳගම, සුනිල් චන්ද්‍රසිරි, කේ. බි. හේරත්, ජයලත් මනෝරත්න, බන්දුල විතානගේ වැනි ප්‍රවීණ ශිල්පීන්ගේ සහ ජර්මානු ජාතික නාට්‍ය රචක කූසන්බර්ග්ගේ නිර්මාණවලින් ලද පුහුණුව ජනක කුඹුකගේව පෝෂණය කළා.
මේ කාලය තුළ හැරවුම් ලක්ෂය වුණු සංධිස්ථාන වුණේ මොනවද?
මගේ රංගන ජීවිතේ මුල්ම හැරවුම් ලක්ෂ්‍යය වුණේ විමලරත්න අධිකාරි අධ්‍යක්ෂණය කළ රූපවාහිනී නාට්‍යය නිර්මාණයක් වන ඉසිවර අසපුව නාට්‍යය. ඒ වගේම හොඳම නළුවා ජනාධිපති සම්මානය ගෙන දුන් සෝමරත්න දිසානායකගේ සරෝජා චිත්‍රපටය. වේදිකාව පැත්තෙන් ගත්තම සුනිල් චන්ද්‍රසිරිගේ “භීම භූමි” සහ “ආදරණීය සංවාදයක්” යන වේදිකා නාට්‍ය දෙක. ඒ වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවා සම්මාන ලැබුණා. අනිත් අතට සෝමලතා සුබසිංහ අධ්‍යක්ෂණය කළ ඇන්ටිගනි නාට්‍යයේ ක්රියෝන් රජගේ, අතුල පීරිස් කරපු ඊඩිපස්ට් නාට්‍යයේ ඊඩිපස්ට් භූමිකාව. අසෝක හඳගමගෙගේ හෙණ නාට්‍යය සහ ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ නාට්‍යය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය විදියට මම දකිනවා. මෙවැනි හොඳ නිර්මාණ ඇතුළේ ගනුදෙනු කළා කියන සතුට තියෙනවා.
විදි නාට්‍යය කණ්ඩායමේ මතක අවදි කළොත්?
ලංකාවේ වීදි නාට්‍යය කණ්ඩායමේ පුරෝගාමී මෙහෙවර කළේ ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවගම. ඔහුගේ නාට්‍යය වැඩමුළුවක් ඇතුළේදී තමයි මම මේ ක්ෂේත්රය හඳුනා ගන්නේ. ඔහු ඒ වෙද්දී විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්යවරයෙක්. ඔහු ලෝකයක් එක්ක ගනුදෙනු කරපු ශේක්ෂ්පියර් පිළිබඳ විශාල දැනුම් සම්බාරයක් ඇති පුද්ගලයෙක්. වීදි නාට්‍යය කියන්නේ වේදිකා නාට්‍යය වලින් පරිබාහිර වෙනත් මාධ්‍යයක්. මේ වෙලාවේ ඒ ගැන දීර්ඝව කතා කරන්න ඉඩක් අපිට නැහැ. ඇත්තටම වීදි නාට්‍යය කණ්ඩායමක් කියන්නේ ගරිල්ලා ටීම් එකක්. දේශපාලනික දේවල් වලට සෘජුව ප්‍රහාර එල්ල කරන රටේ පවතින දේශපාලන තත්වයන්ට අතිශය ප්‍රබල ලෙස ප්‍රහාර එල්ල කරන, මිනිසුන්ව දැනුවත් කරන මාධ්‍යයක් වීදි නාට්‍යය කලාවක්. ලෝකය ගත්තත් එහෙමයි. ලෝකයේ වීදි නාට්‍යයකරුවන් සමහර වෙලාවට ඒ පවතින රජයන්වලින් ඔවුන්ව විනාශ කරලත් තියෙනවා. අපි වැඩ කරපු කාලය තුළත් තර්ජන ගර්ජන ලැබුණු අවස්ථා අනන්ත අප්‍රමාණ තිබුණා. වීදි නාට්‍යය කලාව තුළ තියෙන්නේ පවතින්නේ මොන රජයද මිනිස්සු පිඩාවට පත් කිරීමට එරෙහිව කරන ගරිල්ලා ප්‍රහාරයක් විදියට. අද ගාමිණී හත්තෙට්ටුවගම ජීවතුන් අතර නැහැ. ඒ නිසා යම් ආකාරයකට පෙර තිබුණ බරසාරකම අනෙකුත් තැන් වලින් දකින්න ලැබෙන්නේ නැහැ. පාරට බැහැල මොකක් හරි කරන එකක් නෙවෙයි විදි නාට්‍යය කලාව කියන්නේ.
අද වෙද්දී සමාජ මාධ්‍යය හරි ප්‍රබලයි. ඔබත් අප්ඩේට් වෙලා තියෙනවා සමාජයීය මෙවලම් එක්ක, කොහොමද ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර?
විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් මේ වෙද්දී ඉන්නවා මගේ Lines and Beyond කියන යූ ටියුබ් නාළිකාව එක්ක. අපි උත්සහ කරනවා මේ යූ ටියුබ් මාධ්‍යය ඇතුළේ මිනිසුන්ට හොඳ මිනිස් මනස අවදි කරන දෙයක් ඉදිරිපත් කරන්න. නමුත් අපි දකිනවා ලංකාවේ බහුතරයක් යූ ටියුබ් තියෙන්නේ ගොසිප් පැත්තට වැඩිපුර බර වෙලා. අපි එතනින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා වෙනත් ගමනක් යන්න දරන උත්සහයක් Lines and Beyond කියන්නේ. ඒ වටා මේ වෙද්දී විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ ගැන සතුටක් තියෙනවා. මාසෙකට ප්‍රෝග්‍රෑම් එකක් හෝ දෙකක් වගේ කරන්නේ. කාලය අරන් කරුණු කාරණා හොයලා කරන වැඩක්. බලපු අය ඒ ගැන සාක්ෂි දරනවා කියලා මම හිතනවා. අපි ජීවිතේ අප්ඩේට් වෙන්න ඕනේ. ලෝකය තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා. රිද්මයන් වෙනස් වෙනවා, ආර්ථික දේශපාලන කරුණු කාරණා වේගයෙන් වෙනස් වීමත් එක්ක අපි නිරන්තරව ගනුදෙනු නොකළොත් විශාල අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. එහෙම නොවුණොත් ඔහු හෝ ඇය ඉන්න ක්ෂේත්රයෙන් හැලිලා යනවා. එහෙම නොවී කොහොමද අප්ඩේට් වෙන්නේ කියල තමන් තමයි තීරණය කරන්න ඕනේ.
ඔබේ පෞද්ගලික ජීවිතේ ගැන අපි වැඩියෙන් අහන්න දකින්න නැහැ?
පෞද්ගලික ජීවිතේ හැමදාම ගලාගෙන ගිය විදියට මේ කාලෙත් ගලාගෙන යනවා. මගේ පෞද්ගලික ජීවිතේ අයිති මට. ඒ නිසා ඒ ගැන කාටවත් අදාළ නැහැනේ. ඒ නිසා මගේ පෞද්ගලික ජිවිතේ ගැන මම කතා කරන්නේ අඩුවෙන්. මට ඉන්නේ එක පුතයි. එයා දැන් පදිංචිය ඕස්ට්‍රේලියාවේ. එයාගේ අධ්‍යාපන කටයුතු එක්ක එයා එහෙට ගියා. දැනට ලංකාවේ ඉන්නේ මමයි බිරිඳයි විතරයි. මම කැමති මගේ වෘත්තීය ජීවිතේ ගැන පමණක් කතා කරන්න.
පුතා කලාවට සම්බන්ධ වෙයිද?
එයාට කලා හැකියාවන් ගොඩක් තිබුණා. හැබැයි එයා මුල්තැන දුන්නේ අධ්‍යාපනයට. මම කිව්වෙත් මොන දේ කළත් අධ්‍යාපනය අංක එක නිසා. අධ්‍යාපනය පැත්තෙන් දේවල් සම්පූර්ණ කරලා තීරණය කරන්න මොන පැත්තෙන් ද ඉදිරියට යන්නේ කියන එක කියලා. එයා වතාවක් ලංකාවේ Toastmasters තරගයෙන් Best toastmasters වුණා. අනාගතයේදී කොහොම වෙයිද කියන්න බැහැ. ජීවිතේ කියන්නේම අහම්බයක්නේ.
නාට්‍යයක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?
මමම ලියපු චිත්‍රපට තිරපිටපතක් තියෙනවා. නමුත් නිෂ්පාදකවරු සොයා ගැනීමේ බරපතළ ගැටලුවක් තියෙනවා. ඒවත් එක්ක ඒවා දවසින් දවස කල් යනවා. මිනිසුන්ට බොරු කියලා අමාරුවේ දාන්න බැහැ. ඇත්ත සීයට සීයක් කිව්වම අපේ වගේ රටවල්වල අය බය වෙනවා. බහුතරයක් බොරුකාරයින් ඉන්න රටක ඇත්ත කියන මිනිහා නිතරම පස්සට යනවා. කොන් වෙනවා. ඒක හැබැයි පවතිනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තට හුඟක් අය බයයි.