– කොළඹ ඉඳන් හාළිඇලට හොරෙන් ගෙනිහින්
– සැකකාරියට වසර 05කට අත්හිටවූ මාස 06ක සිර දඬුවමක්
– ලක්ෂයක වන්දියක් ගෙවන්නත් නියම වෙයි
නීතියේ පිහිට තියෙන්නේ මිනිසුන්ට පමණක්ද? සිය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන්නට නොහැකි සතුන්ට නීතියෙන් පිහිටක් නැද්ද? ඉකුත් ඔක්තෝබර් 30 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වූයේ සුනඛයකුට නීතියෙන් සාධාරණය ඉටු වූ අපූරු කතා පුවතකි.
එය නීතියේ සාධාරණත්වය ගැන කියැවෙන අපූරු කතා පුවතක් වූවාට එම සුනඛ සුරතලාට අත් වූ ඉරණම නම් කිසිසේත් අපූරු නැත. ඊට හේතුව ‘ශිට්සු’ වර්ගයට අයත් අවුරුද්දක් වයසැති සුරතල් සුනඛ පැටවකු වූ ‘හනී’ගේ ජීවිතය අහිමි කර ඇත්තේ හනී ජීවත් වූ නිවෙසේ සේවය කළ මෙහෙකාර කාන්තාව වීම නිසාය. ඒ අවාසනාවන්ත පුවත හෙළි වූයේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් ඉකුත් දා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් දුන් තීන්දුවක් මඟිනි.
තමා සේවය කළ නිවෙසේ සුරතලයට ඇති කළ රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් වටිනා සුනඛයා සොරකම් කිරීම, පැහැර ගෙන ගොස් හාලි ඇළ ප්‍රදේශයට බැහැර කිරීම සහ මරණයට පත් වීමට සලස්වා අනර්ථයක් සිදු කිරීම මඟින් විත්තිකාරිය විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට චෝදනා තුනක් ඉදිරිපත් කොට තිබිණ. නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර හමුවේ කැඳවනු ලැබූ නඩුවේදී තමාට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් විත්තිකාර කාන්තාව විසින් වරද පිළිගනු ලැබූ අතර, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඇය මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය. පසුව විත්තිකාරියට මාස 6ක සිර දඬුවම් නියම කළ අතර, එම දඬුවම වසර 5කට අත්හිටවන ලදී. එමෙන්ම පැමිණිලිකාරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස ද අධිකරණය විත්තිකාරියට නියෝග කළාය. එම වන්දි මුදල සිය සුනඛ සුරතලා වෙනුවෙන් සුනඛ සුබසාධන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකට බැර කරන ලෙස පැමිණිලිකාරිය විසින් ඉල්ලීමක් කළ බැවින් අධිකරණය ලබන දෙසැම්බර් 4 වැනිදාට පෙර එම මුදල අදාළ ආයතනයට ගෙවා රිසිට් පත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විත්තිකාරියට නියෝග කළේය.
“මට මගේ හනී වෙනුවෙන් කිසිම මුදලක් අවශ්‍ය නැහැ. ඒ තරම් ආදරෙන් දරුවෙක් වගේ හදාගත් අහිංසක සතාට එහෙම අපරාධයක් කළ පුද්ගලයාට නීතියෙන් දඬුවම් ලබාදීමටයි මම නඩු මඟට අවතීර්ණ වුණේ. මේ සිද්ධිය ගැන මම කතා කරන්නෙ කරුණු දෙකක් මතයි. එකක් අපි බොහෝ වෙලාවට නීතිය ගැන විශේෂයෙන් පොලිසිය ගැන විශ්වාස කරන්නෙ නැහැ. පොලිසියෙන් වෙන අකටයුතුකම් ගැන පමණයි කතා කරන්නේ. නමුත් මගේ හනීට සිදු වූ අවාසනාවන්ත සිදුවීමට වැරදිකාරිය හොයා ගන්න ලැබුණෙත්, නීතියෙන් සාධාරණයක් ඉටු කරගන්න ලැබුණෙත් පොලිසියේ මැදිහත්වීම සහ ඒ වෙනුවෙන් ඔවුන් දැක්වූ විශාල සහයෝගය නිසයි. ඒ වෙනුවෙන් මිරිහාන පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර, අපරාධ අංශයේ ස්ථානාධිපති අමිල ගෝවින්න, සහකාර පොලිස් අධිකාරි චරිත් ජයසුන්දර ඇතුළු අපරාධ අංශයේ සියලුම පොලිස් නිලධාරින්ට මගේත් පවුලේ අයගේත් ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ සිදුවීම තුළින් මම වගේම සතුන්ට ආදරය කරන අයට කියන්න කැමතියි, සතකුට මේ වගේ කරදරයක් වුණොත් ඒ වෙනුවෙන් වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන්න නීතිය ඉදිරියට යන්න පැකිළෙන්න එපා. සතුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන්න බැරි බව ඇත්ත. ඒත් අපිට වගේම සත්තුන්ටත් අයිතිවාසිකම් තියෙනවා. අපි ඔවුන්ගේ භාරකාරයෝ විදිහට මේ වගේ අසාධාරණකම්වලදී සාධාරණය ඉල්ලලා නීතිය හමුවට යන්න පසුබට විය යුතු නැහැ.”
ඒ වදන් අවාසනාවන්ත අයුරින් ජීවිතයෙන් සමුගත් සුනඛ සුරතලාගේ භාරකරුගේය. මේ නඩුවේ පැමිණිලිකාරිය ඇයයි. හනීට සිදු වූයේ කුමක්ද? අපි ඇයගෙන් ඒ පිළිබඳ විමසුවෙමු.
“හනී කියන්නේ හරිම හුරතල් සතෙක්. හනීව මම ගෙනාවේ එයාට සති හයේදි. මම දන්න කාලේ ඉඳලා අපේ ගෙදර සුරතලයට බලු පැටවුන් ඇති කළා. සමහර කාලවල දෙතුන් දෙනෙක්ම ඉන්නවා. ඉතින් හනීවත් අපි හරිම ආදරෙන් බලා ගත්තා. හුඟක් වෙලාවට හනීව නෑව්වේ, කන්න දුන්නේ ගෙදර වැඩට හිටිය අය. සුභාගේ අක්කා සෙල්වි මගේ ගෙදර වැඩ කළා. සුභා වැඩ කළේ මගෙ නංගිගෙ ගෙදර. සුභා හැමදාම උදේට එහෙ ගිහින් වැඩ කරලා හවසට අපේ ගෙදර එනවා. ඒ විදිහට ඒ දෙන්නම නැවතිලා හිටියෙ අපේ ගෙදර. ඒ නිසා ගෙදර අයට වගේ තමයි අපි එයාලටත් සැලකුවේ. ඒ විශ්වාසය නිසා මෙහෙම දෙයක් මම කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ.”
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇළ, උණගොල්ලවත්ත මොරගොල්ල කොටසේ පදිංචි ඥානසේකරම් සුභාෂිණී හෙවත් සුභා (30) සහ ඇයගේ වැඩිමහල් සහෝදරිය වන සෙල්වි(33) පැමිණිලිකාරියගේ නිවෙසේ මෙහෙකාර සේවයට පැමිණ ඉකුත් අප්‍රේල් මාසය වන විට වසර තුනකට ආසන්න වී තිබිණ. අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් සෙල්වි අප්‍රේල් 10 වැනිදා හාලි ඇළ සිය නිවෙස බලා පිටත් වුව ද සුභා ගමට යෑමට පිටත්ව ඇත්තේ අප්‍රේල් 12 වැනිදාය.
“එදා හවස මම මගේ සහෝදරිය සහ පුතා සමඟ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් ගෙදරින් පිටතට ගියා. මම නැවත ගෙදර එන විට රෑ 8.30 විතර වුණා. වෙනදට ගේට්ටුව අරිද්දිම හනී දුවගෙන එනවා. ඒත් එදා ගේට්ටුව ඇරගෙන ගේ ඇතුළට ගියත් හනී පේන්න හිටියෙ නැහැ. මම හනී හනී කියලා කතා කරමින් එයාව ගේ හැමතැනම හෙව්වා. එළියෙත් බැලුවා. මට හිතුනා හනී ගෙදර නැහැ කියලා. මම ගෙදරින් එළියට ඇවිත් පාර දිගේ ඉස්සරහට ගියා. ඒ වෙලාවේ පුතත් කාරෙකෙන් පාරට ආවා. ඒත් අපිට හනී හමු වුණේ නැහැ. ”
සුනඛ සුරතලා සොයා වෙහෙස වී නිවෙසට පැමිණි ඔවුන් ඉන්පසුව කරන්නේ නිවෙසේ ඇති සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමයි. එහිදී රාත්‍රී 7.30ට පමණ හනී නිවෙස තුළ සිටිනු පෙනුණත් ඉන්පසුව කොතැනකවත් හනී දකින්නට නොවීය. රාත්‍රී 8ට පමණ සුභා නම් මෙහෙකාරිය විශාල බෑගයක් රැගෙන නිවෙසෙන් පිටව යන අයුරුත් ඇය සමඟ දිනපතා සේවයට පැමිණෙන තවත් කාන්තාවකුත් පිටත්ව යන අයුරුත් කැමරාවල සටහන්ව තිබී ඇත.
“ඒ නිසා අපිට සැකයක් ඇති වුණා සුභා තමයි හනීව ගෙනියන්න ඇත්තේ කියලා. අපි ඉක්මනටම පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකට ගිහින් තොරතුරක් දැනගන්න උත්සාහ කළත් සුභා ගැනවත් හනී ගැනවත් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. මම ගෙදර ඇවිත් සුභාට කෝල් කරලා කිව්වා හනීව ගෙනිච්චා නම් ගෙනත් දෙන්න, කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ සුභා කිව්වා, බොරු චෝදනා කරන්න එපා, එයා හනීව ගෙනාවේ නැහැ කියලා. පහුවදා උදේම මම කෙනෙක්ව පිටත් කළා සුභාලගෙ ගෙදරට ගිහින් හනී ඉන්නවද කියලා බලන්න. නමුත් කිසිම තොරතුරක් දැන ගන්න ලැබුණේ නැහැ. ඒ නිසා මම තීරණය කළා මේ ගැන පොලිසියට පැමිණිලි කරනවා කියලා. හනීගේ නැතිවීමත් එක්ක අපේ ගෙදර අලුත් අවුරුද්ද වෙනුවෙන් තිබුණු සූදානම එහෙමම නැතිවුණා. කැවිලි හදන වැඩත් නතර කළා. අපි හැමෝම හනීට මොකද වුණේ කියලා දුකෙන් හිටියෙ. පහුවදාම මම මිරිහාන පොලිසියට පැමිණිලි කළා. අවුරුදු නිවාඩු නිසා පොලිසියෙත් නිලධාරින් අඩුයි. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිතුමා අපරාධ දෙකක් සම්බන්ධයෙන් විභාග කරමින් හිටියෙ. නමුත් ඔහු අපේ පැමිණිල්ල ගැන අවධානය යොමු කරලා නිලධාරින් දෙන්නෙක් දුන්නා පිටකොටුව බස් නැවතුමට ගිහින් මේ ගැන විමර්ශනය කරන්න කියලා.
14 වැනිදා උදේ හතේ ඉඳලා රෑ 12 වෙනකම් බස් ස්ටෑන්ඩ් එකේ සීසීටීවි බැලුවත් මොකුත් තොරතුරක් හොයා ගන්න ලැබුණේ නැහැ. අපි එතැන ඉන්න අතරේ පිරිමි ළමයෙක් ඇවිත් ඇහුවා නෝනා මොනවද හොයන්නේ කියලා. මම කිව්වා මගේ බලු පැටියා නැති වෙලා, කවුරුහරි එයාව අරගෙන ගිහින් කියලා. ඒ වෙලාවේ එයා හරියටම සුභා එදා ඇඳගෙන ගිය ඇඳුම් සහ එයාගෙ හැඩරුව කියලා කිව්වා, එහෙම ගෑනු කෙනෙක් බලු පැටියෙක් අරගෙන එයාගෙ බස් එකේ ගියා කියලා. ඒ වෙලාවෙ මම එයාගෙන් ඇහුවා ඔයාට සාක්ෂි දෙන්න පුළුවන්ද කියලා. එයා ඒකට කැමති වුණා. ඇසින් දුටු සාක්ෂිකාරයෙක් ලැබුණු නිසා පොලිසියෙන් සුභාට කෝල් කරලා දැනුම් දීලා තිබුණා 17 වැනිදා පොලිසියට එන්න කියලා. එයා ඒ වෙලාවෙත් කියලා තිබුණේ මම එයාට බොරු චෝදනා කරනවා කියලයි. ”
පොලිසියේ දැනුම් දීම අනුව 17 වැනිදා පොලිස් ස්ථානයට පැමිණි සුභාට තවදුරටත් බොරු කියමින් පොලිසිය නොමඟ යවන්නට නොහැකි විය. ඇය කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කළ බස්රථයේ රියැදුරු තරුණයාගේ සාක්ෂිය නිසා ඇයට සිය වරද පිළිගන්නට සිදු විය.
“සුභා වරද පිළිගත්ත නිසා මට හනී ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. ඒත් සුභා කිව්වා හනී මැරුණා කියලා. කොහොමද මැරුණේ ඇහුවම කිව්වා, ගෙනිච්ච දවසෙම කිරි එකක් බිව්වට පස්සේ මැරුණා කියලා, ගේ පිටිපස්සේ වැළලුවා කියලත් කිව්වා. ඊට පස්සේ අපි පොලිස් නිලධාරින් දෙන්නෙකුයි සුභයි සෙල්වියි දෙන්නයි වෑන් එකකින් හාලි ඇළ සුභාගේ ගෙදර ගියා. ගේ පිටිපස්සේ තියෙන කැලයක කන්දක් උඩ තැනක මගෙ හනීව වළලා තිබුණා. වළ උඩින් ගල් වගයකුත් තියලා තිබුණා. හනීව මරලා ඔතලා තිබුණෙත් අපේ ගෙදරින් අරගෙන ගිය බෙඩ්ෂීට් එකකින්මයි. හනීව දැක්කම හොඳටම පේන්න තිබුණා එයා මැරිලා තියෙන්නෙ ඊට කලින් දවසෙ මිසක් අරගෙන ගිය දවසෙ නෙවෙයි කියලා. එයාගේ මළ සිරුරෙ කිසිම දෙයක් නරක් වෙලා තිබුණෙ නැහැ. මම එදා තමයි දැනගත්තේ සතකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්න නම් පේරාදෙණියට යවන්න ඕනේ. එතැනට අපි සතාගෙ සිරුර ගිහින් දෙන්න ඕනේ, ඒ වගේම ඒ පරීක්ෂණයේ වාර්තාව ලැබෙන්න දවස් 7-10 අතර කාලයක් ගතවෙනවා. පෞද්ගලික ආයතනයකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්න රුපියල් 25,000ක් අය කළත් එහි වාර්තාව ලිඛිතව ලබා දෙන්නේ නැහැ. වාචික ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි නිසා අපි හනීගේ සිරුර නිවෙසට ගෙනැවිත් ගෙවත්තේ වළ දැමුවා. ”
හනීගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත් සුභා දින 14ක රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු අතර, සාක්ෂිකරු ලෙස පෙනී සිටි රියැදුරු අසනීපවීම හේතුවෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්වීම සඳහා නියමිත දින අධිකරණයට නොපැමිණි නිසා සුභාට තවත් දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාරගත වන්නට සිදු වූයේ අහිංසක හනීට කළ වරදට දඬුවම් විඳිමිනි. නඩු වාර කිහිපයක් පැවති නඩුව නිමාවට පත්වූයේ පොලිසිය විසින් ගොනුකර තිබූ සියලු චෝදනාවලට සුභා හෙවත් ඥානසේකරම් සුභාෂිණී වැරැදිකාරිය බව සනාථ වෙමිනි. සුභා විසින් තමා විසින් රැක බලාගත් සුරතල් හනීට එවැනි ව්‍යසනයක් සිදු කළේ ඇයිද යන්න ගැටලුවකි. ඒ පිළිබඳ ඇය නිශ්චිතව යමක් ප්‍රකාශ කර නැත.
” ඒ ගැන හරියටම කියන්න අමාරුයි. සුභා එදා අපේ ගෙදරින් ගිහින් තියෙන්නෙ ආයෙ එන බලාපොරොත්තුවෙන් නෙවෙයි. දරුවො දෙන්නවත් එයාගෙ අක්කට බාර දීලා එයා මැදපෙරදිග ගෘහ සේවයට යන්නයි ඉඳලා තියෙන්නෙ. ඒ වගේම එයා හනී වගේ බලු පැටව්ගෙ වටිනාකම ගැනත් අපේ ගෙදර වැඩ කළ අනිත් කාන්තාවගෙන් අහලා තියෙනවා. සමහරවිට හනීව විකුණන අදහසින් ගෙනියන්න ඇති. හනීට වුණ දේ ගැන මගෙ හිතේ ලොකු වේදනාවක් තියෙනවා. හනී නැතිවෙලා මාස තුනක් විතර යනකම් මට නින්ද ගියේ නැහැ. මම අසනීප වුණා. විශාදයට පවා බෙහෙත් ගන්න සිදු වුණා. දරුවෙක් වගේ ආදරෙන් බලා ගත්ත අහිංසක සතාට වෙච්ච දේ ලොකු කම්පනයක් වුණා. මම වගේම අපේ ගෙදර හැමෝටම හනීට වුණ දේ ලොකු වේදනාවක් වුණා. හනීට සාධාරණය ඉටු කර දෙන්න වෙහෙස වුණු මිරිහාන පොලිසියේ නිලධාරින්ට වගේම නීතිඥ යොහාන් ගමගේටත් ස්තුතිවන්ත වෙනවා. නීතිඥ යොහාන් නඩුව වෙනුවෙන් ලොකු වෙහෙසක් දැරුවා. ඔහුගේ වෘත්තිය ජීවිතයේ සුනඛයෙක් වෙනුවෙන් පෙනී සිටි සහ ජයග්‍රහණය කළ මුල්ම නඩුව මෙය බව පැවසුවා. “ඇය පැවසුවේ කෘතවේදීවය. නැති වූ හනී වෙනුවෙන් දැන් තවත් සුනඛ සුරතලකු ඇයගේත් පවුලේ අයගේත් සෙනෙහස විඳින බව ද ඇය කීවාය.
“එයාව ගෙනාවේ හනී නැතිවෙලා ටික දවසකින්. හනීව මතක් වෙන්න එයාට නම තිබ්බෙත් හනී කියලයි. ඒ හනීට වැඩිය මේ හනී ගොඩක් දඟයි, හුරතල්. ඒත් නැතිවුණ හනී හැමදාම අපේ මතකයේ ඉන්නවා.”
ඡායාරූප- නිශ්ශංක විජේරත්න
සුරේකා නිල්මිණි ඉලංකෝන්