Home » සමාජයට වැඩදායක කුම්භ ලග්න හිමියෝ

සමාජයට වැඩදායක කුම්භ ලග්න හිමියෝ

by thanushika
November 11, 2023 12:30 am 0 comment

ප්‍රධාන තාරකා දහයකින් සමන්විතව විශ්ව ශක්තිය සහමුලින්ම විසුරුවා හැරීමේ බලය සහිතව රාශි චක්‍රයේ එකොළොස් වැන්න වන කුම්භ ලග්නයෙන් ඔබ උපත ලබා ඇත්නම් නිහතමානී බව, යුක්තිගරුක බව, ඉවසීම, සමාජයට ඇති ළැදියාව, සමානාත්මතාවය, අවශ්‍ය තැනදී කඩිසරභාවය මෙන්ම අන්‍යයන්ගේ සිත් ඇද ගන්නා සුළු සුමට පැවැත්මක් ක්‍රියාකාරී බුද්ධියක් ඇති යහපතුන් වන ඔවුන් උපක්‍රමික ශක්තිය, ගැඹුරු දාර්ශනික න්‍යායයන් ගැනද ගුප්ත දේ සැඟවුණු දේ ආදිය ගැන ගැඹුරින් විමසිලිමත් වීම මොවුන් සතු විශේෂ ලක්ෂණ වශයෙන් දැක්විය හැකිය.

රාශින් අතර බෙදී යාමේදී වායු රාශියක් වන කුම්භය එහි ඇති තිර රාශි ගුණය නිසා ස්ථාවර ගතියක්, වැනෙනසුළු ගතියක් යන දෙකම දක්නට ඇත. ඒ නිසා එක්වරම අලුත් දේ පිළිගැනීමට මැළිකමක් දක්වන එහෙත් යුක්ති සහගත ලෙස විග්‍රහ වන්නේ නම් පිළිගැනීමට මැළි නොවන තමාට වගේම අන් අයටත් සලකා ඔවුන්ගේද අයිතිවාසිකම් ලබා දීමටද ඉදිරිපත් වන අයෙකුද වනවා ඇත.

මේ සෑම දෙයක්ම ආත්ම දමනයෙන් යුක්තව නිහඬව කටයුතු කර සියලුම දේ ගැඹුරින් අධ්‍යයනයට ආශා ඇති පුද්ගලයන් වන අතරම මෙම ගති ලක්ෂණ මොවුන් තුළ ආත්මාර්ථකාමී ගතිය බොහෝ සෙයින් අඩුය. මොවුන් දෙයක් ඉගෙන ගැනීමට යන්නේ නම් එය අනිවාර්යයෙන් ගැඹුරින් හැදෑරීම මොවුන්ගේ බලාපොරොත්තුව වනවා ඇත. නොපෙනෙන දේ සැඟවී ඇති ලෝකය අධ්‍යයනය කර එය අන් අයටද වටහා දීමට ලොවට එළිදැක්වීමට මොවුන් ඉතාමත් කැමැත්තක් දක්වන අය වනවා ඇත.

ආගම දර්ශනය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමට දැඩි කැමැත්තක් දක්වන, ඒ පිළිබඳව සොයා බැලීමට විවේකීව පැත්තකට වී ජීවිතය නිස්කලංකව ගත කිරීමට ප්‍රිය කරයි. ඒ නිසා නිතරම හුදකලාව ප්‍රිය කරනවා ඇත.

කුම්භ ලග්න ජන්මියාගේ තවත් හැකියාවක් වන්නේ දේසේ හැටියට වාසේ මෙන්ම තැනේ හැටියට ඇණේ ගැසීම වැනි උපමාවන්ට අනුකූලව කාලයෙන් කාලයට, දේශයෙන් දේශයට ඒ ඒ සමාජයන්ගේ තත්ත්වයට අනුකූලව ඔවුන්ගේ අදහස් සහ ක්‍රියාකාරකම් අනුව තමාගේ වැඩ කටයුතුද වෙනස් කර ගැනීමට මොවුන් ඉතා දක්ෂය. මේ නිසාම උසස් සමාජ මට්ටමක අය සමග ගැටෙමින් ඔවුන්ව ඇසුරු කරමින් තමාගේ සමාජ තත්ත්වයද උසස් කර ගැනීමට ද උසස් මට්ටමක ජීවිතය ගෙන යෑමට මොවුන්ට සහජ හැකියාවක් පිහිටා ඇත.

මෙම ලග්නයෙන් ජනිත වූවන්ගේ දක්නට ඇති අනෙකුත් ක්‍රියා පිළිවෙත් අතර සමාජ ධර්මතාවයන් කෙරෙහි නැඹුරු වී ගිය අදහස්, සත්ව සංහතිය කෙරෙහි ඔවුන්ගේ ධර්මතාවයන් අදහස් ආදිය ගැනද ගැඹුරින් අධ්‍යයනය කර තමාගේ අවබෝධ ඥානය උසස් අයුරින් දියුණුවට පත්කරගෙන පොදුජන අදහස් උදහස් ගැන පතළ අවබෝධයක් ලබා සමාජයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වීමටත් ඒ නිසාම පොදුජන ව්‍යාපාරයන්හි අදහස් පළ කිරීමේ හැකියාවක්ද බොහෝ මිත්‍ර සමාගම්ද ඇතිකර ගත හැකි වනවා ඇත.

එසේ වුවද පවතින සමාජ ක්‍රමයන්ට පටහැණිව කටයුතු කිරීම සඳහා කැමැත්තක් නොමැති වුවද තමන් අදහස් කරන දෙය නිවැරැදිය යි යන මතය තුළ එල්බ ගැනීම තමාගේ හැකියාව, උගත්කම, දක්ෂතාවය, සමාජ අවබෝධය අන් කිසිම අයෙකුට වඩා උසස් ඔවුනට සමාන නොවන යන හැඟීම නිසාම සිදු වන්නක් වන අතර, එය මොවුන් තුළ පවත්නා එක්තරා ආකාරයක දුර්වලකමක්ද වනවා ඇත. ඒ හේතුන් නිසා තමාගේ දියුණුවටද බාධා අවහිර මෙන්ම සමාජ සම්බන්ධතාවයන්ද බිඳවැටී පාඩු සිදු විය හැකි වන බැවින් ඒ ගැනද කල්පනාකාරීව ජීවිතය ගෙන යෑමට සිතට ගත යුතුය.

මේ කටයුතු කාරණාවලට හේතු සාධක වනුයේ කුම්භ රාශිය කෙරෙහි අනෙකුත් ග්‍රහයන්ගේ බලපෑමය. සෙනසුරු හෙවත් ශනි මෙම රාශියේ ගමන් කරන කාලය රාශිය අනුව වායෝ ගුණයක් දක්වන බැවින් අධික ලෙස ලෞකික ජීවිතය කෙරෙහි අනිෂ්ට බලයක්ද ඒ මගින් ලෝකයේ පරිවර්තන බලයක්ද ගොඩනැඟෙනවා ඇත. එයට හේතු සාධක ලෙස දක්වා ඇත්තේ රාශියේ ප්‍රකෘති ගුණය සෙනසුරුට විශේෂයෙන්ම ගැළපෙන බැවිනි.

ඒ ආකාරයටම බ්‍රහස්පති හෙවත් ගුරුගේ බලපෑමද මෙම රාශියේදී ප්‍රකෘතිමත්ව ඉතාම ශ්‍රේෂ්ඨ තත්ත්වයකට පත්වන නිසා සත්ත්වයා අතර හුදු කරුණා ගුණය, ළැදිකම මහත්සේ දියුණුවන කාල සීමාවක් ලෙසද කිව හැකිය. අඟහරු හෙවත් කුජද මෙම රාශියට අතිධාවන පදනමක් ඇති කරන නිසා ඒ කාලසීමාවේදී මොවුන් තුළ තියුණු විකාශනයක මූලික ලක්ෂණ පිළිබිඹු වීමද සිදු වනවා ඇත.

මෙම කරුණ කෙසේ වුවද මොවුන්ගේ ස්වාභාවික ගති ලක්ෂණයන්ගෙන් ආඪ‍ වූ බොහෝ දෙනා සමාජයට වැඩදායක ක්‍රියාවන්ට සම්බන්ධ වන අතර, කිසිවෙකු අමනාප කර ගැනීමෙන් තොරව තමාගේ වැඩ කොටස නිසි පරිදි කරවා ගැනීමට දක්ෂතා ඇත. මොවුන් පොතපතට, ශාස්ත්‍රීය කටයුතුවලට මෙන්ම සොයා බැලීමේ කුතුහලය නිසාම අධ්‍යාපනයෙන් ඉහළටම ගමන් කරන අතර දක්ෂ, උපක්‍රමශීලි සටකපට බැවින් අන්‍යයන් තමාගේ බසට අවනත කර ගැනීමේ හැකියාවක් ඇත්ද තමා සියල්ල දත් අයෙක් ලෙසට සිතට ගැනීම දුර්වල තත්ත්වයකි. එයද ඇතැම් විට තමාගේ දියුණුවට මඟපාදා ගැනීමටද අවස්ථාවක් ලැබීමටද පුළුවන. ඒ නිසාම ඕනෑම අමාරු දෙයකට වුවද බිය නොමැතිව නොනැමෙනා වුවද තමා හොඳින් දන්නා බව සිතමින් අතගැසීමටද පසුබට වන්නේ නැත.

මොවුන් බොහෝ විට උත්සාහ කරනුයේ මහා පරිමාණ වැඩකටයුතුවලට අතගැසීමටය. එනම් ක්‍රමානුකූලව සුළු වැඩවලින් ආරම්භ කර එයින් ලැබෙන දෙයින් එක් රැස් කරමින් දියුණුවක් ලබාගැනීමට වඩා එකවර විශාල දෙයකට අත ගැසීමෙන් වැඩි වාසියක් දියුණුවක් ලබා ගැනීම නිතරම මොවුන්ගේ අදහස වනු ඇත. එයට තවත් හේතුවක් වනුයේ මනා ප්‍රවීණත්වයෙන් යුක්ත නිර්ලෝභී අදහස් සිත්හී තබාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට මොවුන් තුළ ඇති කැමැත්ත වනවා ඇත. ඒ සඳහා මොවුන්ට උපතින්ම ලැබෙන දායාදයක් වන සියුම් ඥාණ ශක්තිය ඉවහල් වන අතර, ඒ නිසාම දක්ෂ නීතිඥයන්, අතිදක්ෂ වෛද්‍යවරුන් මෙන්ම ගුප්ත ශාස්ත්‍රය පිළිබඳවද මනා දැනීමක් ලබා ගැනීමටද ඒ අයුරින්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දක්ෂ ගුරු භවතුන් විලස කථනයෙහි දක්ෂ, ක්‍රමානුකූලව දේශනා කර අවබෝධයක් ලබා දීමටද හැකියාවක් පෙන්නුම් කරනවා ඇත.

මොවුන් කාර්මික කටයුතුවලට අතහිත යෙදවුවහොත් අතිදක්ෂ කාර්මික ඥානයක් මතුකර ගනිමින් සියුම් දේ යන්ත්‍ර සූත්‍ර වැනි දේ ගැන හසළ දක්ෂතාවයක්ද පෙන්නුම් කරනවා ඇත.

මේ ලග්නයෙන් උපත ලද ස්ත්‍රීන් බොහෝ සෙයින් කාර්යශීලි, ගේ දොර වැඩවලට වඩා සමාජයේ කටයුතු කාරණාවලට මුල් තැන දී කටයුතු කාරණා කරන අධ්‍යාපනයේදී ද දක්ෂතා පෙන්වන හසළ බුද්ධිමත් භාවයක්ද ප්‍රකට කර කොයි කවුරුත් සමඟින් සාමයෙන් සමාදානයෙන් කටයුතු කාරණා සිදු කර තමාගේ තත්ත්වය රැක ගැනීමටත් හැකියාවක් දැක්වුවද තනිව ජීවත් වීමට අපහසු නිසා සෑම අවස්ථාවකදීම තවත් අයෙකුද තමාගේ හවුල්කරුවෙකු වශයෙන් තබා ගැනීමටද උත්සුක වන චරිතයක් වනු ඇත.

මෙම ලග්න හිමියන් ගැන සඳහන් කරන විට මොවුන්ගේ කේන්ද්‍ර වර්ගෝත්තම වන්නේ නම්, එනම් ලග්නය සහ නවාංශකය එකම වන අවස්ථාවේදී එනම් ලග්නයද නවාංශකයද කුම්භ වන අවස්ථාවේදී නිසැකවම තමාගේ උත්සාහයෙන්, ධෛර්යය නිසාම උසස් තත්වයක් ඇති කර ගන්නවා ඇත.

අප සියලු දෙනාටම රෝගාබාධාවන්ට ගොදුරු වීම ස්වභාවධර්මයෙන්ම උරුම නිසා මෙම ලග්න හිමියන්ටද පෙණහලුවල ආබාධ, හන්දිපත් රුදාව, වාත රෝග, උණසන්නිපාතය, පිත්තාශ දෝෂවලට මුහුණ පෑමට සිදු වනු ඇත. ඒ නිසා කාලානුරූපව ග්‍රහ සංයෝග අනුව මෙයට අමතරව රුධිර රෝගයත්, ශාරීරික දුර්වලතාවයන් ඇතිවිය හැකි නිසා පෙර සඳහන් කළ ආකාරයටම තමාගේ කේන්ද්‍ර පිටපත නිසි ආකාරයෙන් පරීක්ෂා කරවාගෙන කළ යුතු වත්පිළිවෙත් සිදු කර යහපත් ජීවිතයක් ගත කිරීමට සිතට ගන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අගස්ති ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division