Home » ඔබේ ලග්නය හෙළි කරන ජීවන තොරතුරු

ඔබේ ලග්නය හෙළි කරන ජීවන තොරතුරු

ඔබේ චරිතය ගැනත් නියම තොරතුරු ලග්නයෙන් හෙළිවෙයි

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

ජෙොතිෂයට අනුව මෙලොව ජනිත වන සෑම පුද්ගලයෙකුටම උපන් වේලාව අනුව තීරණය වන ජන්ම ලග්නයක් ඇත. උපත ලබන ස්ථානයට අදාළ දේශාංශ භාවිතයෙන් වේලාව තීරණය වන අතර එම වේලාවට උදාවන ලග්න රාශිය නිර්ණය කරයි. එම අවස්ථාවේ උදාව ඇති ලග්න ‘රාශි තරු පොකුරෙන්’ විහිදෙන කිරණ උපත ලැබූ අයගේ සිරුරට පතිත වීම නිසා සිරුරේ සිදුවන ජීව රසායනික ප්‍රතික්‍රියාවන් ජීවිතය ඇති තුරු ලග්නයට ආවේණික ගති සිරිත් ජනිත වූ අයට උරුම වෙයි.

ජ්‍යොතිෂයේදී ලග්න 12කි. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, එම ලග්නයන්ය.

මෙම රාශි පුරුෂ සහ ස්ත්‍රී රාශි ලෙස බෙදෙයි. පුරුෂ රාශි හිමියා වෙත පුරුෂ ගති ගුණ වැඩි වශයෙන් දක්නට ලැබේ. ස්ත්‍රී රාශි හිමියා වෙත හිමිව ඇත්තේ ස්ත්‍රීන් සතු ගති ගුණය. මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ, පුරුෂ රාශි වන අතර ඉතිරි ලග්න ස්ත්‍රී රාශි වේ.

රාශි දොළස විවිධ අයුරින් කොටස්වලට බෙදා ඇත. ඉන් කිහිපයක් නම් තේජෝ, පඨවි, වායෝ, ආපෝ රාශි සපල රාශි, වද රාශි, මධ්‍යස්ථ රාශි , උත්තර රාශි, දක්ෂිණ රාශි ආදි අයුරිනි. 1, 5, 9 රාශි තේජෝ රාශි ලෙසත් 2, 6, 10 රාශි පඨවි රාශි ලෙසත් 3, 7, 11 රාශි වායෝ රාශි ලෙසත්, ඉතිරි රාශිත් ආපෝ රාශි ලෙසත් දැක්වේ.

මුල් ලග්න හය උත්තරාර්ථ ලෙසත්, ඉතිරි ලග්න හය දක්ෂිණාර්ථ ලෙසත් හැඳින්වෙයි. 4, 8, 12 රාශි සපල රාශි ලෙසත් 3, 5, 6 රාශි වද රාශි ලෙසත් ඉතිරි රාශි මධ්‍යස්ථ රාශි ලෙසත් දැක්වේ.

එකම අරමුණක් වෙනුවට වෙනස් අරමුණුවලට සිත යොමු කරන ආත්මාර්ථකාමි ගතිගුණ හෙබි අයට චර රාශි හිමිය. මේෂ, කටක, තුලා, මකර චර රාශිවලට අයත්ය. අචල ප්‍රතිපත්ති රකින සහ දරන පුද්ගලයන්ට තිර රාශි හිමිය. වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ තිර රාශින්ය. සිතුම් පැතුම් වෙනස් ආකාරවලින් ක්‍රියාත්මක කරන පලදායක අරමුණකට සිත යොමු කරන අයට මිථුන, කන්‍යා, ධනු, මීන යන උභය රාශි හිමි වන බව ජ්‍යොතිෂය පැහැදිලි කරයි. ලග්නය අනුව වෙන් වෙන්ව ලග්න හිමියා පිළිබඳ තොරතුරු, ජීවිතය පිළිබඳ උදාවෙන තත්ත්වයන් පැහැදිලි කිරීම, දෛනිකව මෙන්ම, සතිපතාද ජ්‍යොතිෂ පුවත් පිටුවලින් අපි දකිමු. ජන්ම පත්‍රයේ රාශි ප්‍රභේද අනුව වැඩි ග්‍රහයින් සංඛ්‍යාවක් තැන්පත්ව සිටින ඉහත චර, තිර උභය යන රාශි ප්‍රභේද අනුව ලග්න කාණ්ඩවලට පොදුවේ සිතුම් පැතුම් හා චරිත තොරතුරු දැන ගැනීමට හැකිවේ. චර රාශි හිමියන් දෙවැනි වීමට කැමති නැත. අවිවේකීව කටයුතු කරන, දිරිමත් ජයග්‍රාහී ලෙස කටයුතු කිරීමට කැමති ගුණගරුක අය වෙයි.

නිවහල් ලෙස ජීවත් වීමට කැමති, ආඩම්බරයෙන් පිරි, මාන්නාධිකයන් වන, සංවිධාන හැකියාව හිමි, ආත්මාභිමානය ගරු කරන, පහසුවෙන්ම අන්‍යයන්ගේ අප්‍රසාදයට ලක්වෙන තිර රාශි අනුව ලග්න කණ්ඩයට අයත් ලග්න හිමියන්ගේ අදහස් බොහෝ විට අන්‍යයන්ට තේරුම් ගැනීමටද අපහසුය.

උභය රාශි හිමියන් කාරුණික, නැණවත්, පුද්ගලයන් වෙති. සෑම දෙයක්ම සරල අයුරින් සිතයි. ඕනෑම අයෙකුට අවනත වන උපායශීලි මෙම පුද්ගලයන් බොහෝ විට කිසිම දෙයකින් සෑහීමට පත් නොවන පිරිසකි.

තේජෝ, වායෝ, පඨවි රාශිවල වැඩි වශයෙන් ග්‍රහයින් තැන්පත් වූ ජන්ම පත්‍ර හිමියන් යහපත්, උද්‍යෝගිමත්, නැණවත් පුද්ගලයන්ය. මොවුන් නිවැරැදිව කටයුතුවල යෙදෙති.

සෑම ලග්නයකටම ලග්න අධිපති ග්‍රහයන් සිටියි. ලග්නාධිපති ලග්නයේ ස්වක්ෂේත්‍රව හෝ ලග්නයක උච්ඡම සිටින විට අසුබ පල බොහෝ දුරට දුරුවී යයි. ග්‍රහයින් තැන්පත් වීම මත මෙය සිදු වේ. එමෙන්ම සුබ අසුබ ග්‍රහයින් ලග්නවලට සම්බන්ධ වන අතර ලග්න හිමියන්ට බාධක, මාරක, යෝග කාරක හා සුබ ප්‍රතිඵල ගෙන ඒමට එහිදී ග්‍රහ සම්බන්ධතාවය අනුව කටයුතු සැලසෙයි. උපන් කේන්ද්‍රයෙහි ග්‍රහ තැන්පත් වීම අනුව යහපත් හෝ අයහපත් ලෙස උදාවන යෝග රැසකි.

පංච මහා පුරුෂ යෝග, ගජකේෂරී යෝගය, ධර්ම කර්මාධිපති, හර්ෂා, නීච භංග, සුනථා, මොසී, අමලා, බුධ, ආදිත්‍ය, අත්පෙත්, පරිජාත, කාන්ති, නෘප, විපරිත, දීප්ති, චතුර්මුඛ, දෛන්‍ය, ධීමන්ත, චන්ද්‍රායි, දාමිනි හෙවත් වරදාම, අනපා, පරිජාත, සර්ප යන යෝගයන් එයින් කිහිපයක් පමණකි.

ජ්‍යොතිෂවේදී ගාමිණි ජයතිලක බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division