– බදු අඩු කළොත් රජයක් දුවන්න අමාරුයි
– යුද කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු පියවර ගනිමින් ඉන්නවා
– ක්‍රිකට් ගැටලුවට පූර්ණකාලීන විසඳුමක් දීමයි, ජනාධිපතිවරයාගේ අපේක්ෂාව
ක්‍රිකට් ක්‍රීඩාවට අත් වී ඇති තත්ත්වය සොයා බැලීම සඳහා පත් කළ කැබිනට් කමිටුවේ සභාපතිත්වය ඔබට පැවැරුණා. මේ හරහා ඉදිරි කටයුතු සිදු වන්නේ කොයි ආකාරයෙන්ද?
ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය බලාපොරොත්තු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දැනට පත්ව ඇති කඩා වැටීමට හේතු වූ කරුණු මොනාවද යන්න සොයා බැලීමත් ඒ සඳහා දිගුකාලීන පියවරකට යාමත්. මෙහිදී ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ හා වෙනත් ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ අදහස් ලබා ගෙන ඒ කටයුතු ඉදිරියේදී වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වා ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව ඉදිරියේදි විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට වාර්තාවක් ඉදිරිපත් කිරීමට සූදානම්. පාර්ලිමේන්තුව තුළත් පසුගිය දා මේ පිළිබඳ සාකච්ඡාවකට බඳුන් කළා. ජනාධිපතිතුමාට අවශ්‍ය වන්නේ ක්‍රිකට් ගැටලුවට කෙටිකාලීන විසඳුමක් නෙමෙයි. දිගුකාලීනව පැවැත ගෙන ආ මේ ගැටලුවට පූර්ණකාලීනව සුදුසු පියවරක් යෙදීමට අවශ්‍යයයි. මීට අඩිතාලම යෙදීම හා ඊට නිසි පියවර ගැනීමයි, ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන්නේ.
වත්මන් ලංකාවේ අභියෝග ජය ගැන්මට ජාත්‍යන්තරයෙන් පුළුල් සහයෝගයක් ලැබෙමින් පවතිනවා. මේ වන විට රටට අත් වී හා අත් වෙමින් පවතින ප්‍රතිලාභ ගැන සඳහන් කළොත්?
මුල් අවස්ථාවේ අපිට වැදගත් වුණේ ජාත්‍යන්තරය තුළ අපේ රට පිළිබඳ නිසි ප්‍රතිරුපය ගොඩනැඟීමයි. ඉතාමත්ම බරපතළ ලෙස රට කඩා වැටී තිබූ අවධියකින් පසු යළි නැඟී සිටීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්නට රජයට හැකි වුණා. ජාත්‍යන්තරය අපත් සමඟ එකතු වන්නේ ඒ සමඟයි. ඒ පණිවිඩය යා යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහායි. ඒ හේතුව නිසයි, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ඇති කරගත් ගිවිසුම අපිට වැදගත් වන්නේ. මුල් වාරිකය ලබාගැනීමත් සමඟ රට පත්ව ඇති අගාධයෙන් ගොඩගැනීම සඳහා අප ගත් ක්‍රියාමාර්ගයට සාර්ථක අවතීර්ණ වීමක් සිදුවූ බව සනාථ වුණා. ඒ සමඟම අපිට ලෝක බැංකුව ආධාර කරන්න පටන් ගත්තා. ආසියානු සංවර්ධන බැංකුව ආධාර කරන්න ගත්තා. සියල්ල මේ අවස්ථාවේ ඉතා වැදගත් වුණා, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට. එයත් සමඟ ඉදිරියේදී ආයෝජන ලංකාවට ගලා ඒමට පටන් ගනියි. මේ වන විටත් ඉන්දියාවේ අදානි, චාටා වැනි සමාගම් ලංකාවේ ආයෝජන කරන්න සූදානම් වෙලා තියෙනවා. චීනයේ පෝර්ට් සිටි සමාගම, සයිනොපැක් සමාගම විශාල ආයෝජන කරන්න පටන් ගත්තා. පසුගියදා අෙමරිකාවේ ඩී.එෆ්. සී නම් සමාගම විවිධ ක්ෂේත්‍රවල අමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ ආයෝජනය කරන්න කැමැති වෙලා තියෙනවා. කොළඹ වරායේ බටහිර පර්යන්තයට පමණක් අෙමරිකානු ඩොලර් මිලියන 533 ක් ආයෝජනය කරන්න කැමැති වෙලා තියෙනවා. මෙයින් අපිට පෙනෙන්නේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙළ පිළිබඳ විස්වාසයක් ගොඩනැඟී ඇති බවයි.
ඉදිරියේදි අපිට ජය ගැන්මට අභියෝග රැසක් පවතිනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමේ කටයුතු සඳහා රජයේ සූදානම ගැන සඳහන් කළොත්?
දෙවැනි ණය වාරිකය ලබා ගැනීමේදි ඉතාමත්ම වැදගත් කරුණ වන්නේ මේ වන විට කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමයි. ඊළඟ පියවර වන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය. එහිදී වැදගත් පියවර වන්නේ ද්විපාර්ශ්වීය ණයයි. දැන් චීනය සමඟ එකඟතාවකට පැමිණ සිටිනවා. මේ හරහා බලාපොරොත්තු වන්නේ චීනය සමඟ අපි ඇති කරගත් එකඟතාව IMF හා පැරිස් ක්ලබ් සමඟ බෙදා හදාගෙන, පොදුවේ එක හා සමාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නට හැකි වූවහොත් දෙවැනි ණය වාරිකය ඉක්මනින් ලබා ගැනීමට හැකි වෙනවා. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වන්නේ මේ වසර තුළ මේ එකඟතාව ඇතිකර ගැනීමටයි.
රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විශාල වශයෙන් විවිධ චෝදනා නැඟෙමින් පවතිනවා. ඇයි තවමත් බදු අය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජයට නොහැකි වී ඇත්තේ?
එය කළ යුතු වූ දෙයක්. ලොව රටවල් අතරින් ලංකාව අවම බදු එකතු කරන රටක්. නමුත් සිදු වී ඇත්තේ බදු එකතු කළ යුතු වූ අයගෙන් නිසි පරිදි බදු එකතු කර නොගැනීමයි. බදු දැලෙන් බොහෝ පිරිසක් රිංගා යනවා. ගෙවන පිරිස් පමණයි බදු ගෙවන්නේ. මේ නිසා බදු දැල පුළුල් කළ යුතුයි. එය අමාත්‍ය මණ්ඩලයට කළ හැකි දෙයක් නෙමෙයි. දේශීය ආදායම් කොමසාරිස් හා ඔහුගේ නිලධාරින් යුහුසුලුව, කාර්යක්ෂමව හා අවංකව තමන්ගේ වැඩ කටයුතු කරනවා නම් මීට වඩා පුළුල් බදු ජාලයක් ඇති කරගත හැකි වෙනවා. බදු ගෙවිය යුතු පිරිස් එය ගෙවිය යුතු වෙනවා. බදු ගෙවන අයගෙන්ම හූරාකන ක්‍රමයකට මේ රට ගිහින් තියෙන්නේ. බදු ගෙවීමට විශාල යුතුකමක් පවතින බව ජනතාව තේරුම් නොගැනීම කනගාටුවට කරුණක්. රැමිස් පද්ධතිය බදු දැල පුළුල් කර බදු ගෙවිය යුතු අයගෙන් බදු ලබාගෙන ලෝකයේ සම්මත තැනකට ගෙන යාම තමයි රජයේ බලාපොරොත්තුව.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් යටතේ වැටුණු තැනින් රට ගොඩගැනීමේ කාර්යභාරයේ සාර්ථකත්වය ඔබ දකින්නේ කුමන ආකාරයෙන්ද?
මේ අවස්ථාවේ ජනාධිපතිතුමා ජනප්‍රිය නොවන තීන්දු තීරණ බය නැතිව ගන්නවා. විපක්ෂය විවිධ දේ පවසමින් විවේචනය කරන්නට පුළුවන්. විවේචනය කළාට ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. රට කඩා වැටුණු විට විවිධ අයට මේ රට බාර ගැනීමට අවස්ථාව ලබා දුන්නා. නමුත් ඔවුන් කැමැති වුණේ නැහැ. එමනිසා එතුමා මේ අභියෝගය භාර ගෙන රටට සේවයක් කිරීමට කැප වුණා. ඔහු මේ අවස්ථාවේ විශාල කාර්යභාරයක් ඉටු කරනවා. අනාගත පරම්පරාව තේරුම් ගනියි, අවස්ථානෝචිතව ජනාධිපතිවරයා ගන්නා තීන්දු තීරණ කවදා හෝ හොඳ අඩිතාලමකට පදනම සපයන බව.
වැට් බදු වැඩි කිරීම්, විදුලි බිල වැඩි කිරීම් IMF කොන්දේසි යැයි රජය පැවැසුවත් විපක්ෂය පවසන්නේ ඒවා IMF කොන්දේසි නොවන බවයි?
IMF අරක කරන්න මේක කරන්න කියලා කොන්දේසි දාන්නේ නැහැ. ඔවුන් කියන්නේ පඩි නඩි ගෙවන්න, පොලී ගෙවන්න, රජය පවත්වා ගෙන යාමට අපේ බදු මුදල් මෙපමණ ප්‍රමාණයක් විය යුතුයි කියා පමණයි. ඒ ප්‍රමාණය වෙන ආකාරයකින් අය කර ගැනීමට නොහැකි වූ විට ඔවුන් යෝජනා කරනවා එය අය කරගන්නා ආකාරය. ඒ අනුවයි මෙය සිදු වුණේ. විදුලි බිල වැනි දේ යන පිරිවැයට සරිලන ලෙස පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට සිදු වෙනවා. එසේ නොවුණොත් භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට සිදු වෙනවා. භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම කියන්නේ නැවත වතාවක් ජනතාවගෙන් ලබා ගැනීමට සිදුවීම හෝ මුදල් අච්චු ගැසීමට සිදු වීමයි. මුදල් අච්චු ගැසුවා කියන්නේ උද්ධමනය යළිත් ඉහළ යාමයි. මේ නිසා අපිට අසීරු තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා. එසේ නොවුණොත් රට මීට වඩා බරපතළ තැනකට වැටීමට ඉඩ තියෙනවා.
වැට් බදු වැඩි කිරීම් හරහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම අසාධාරණ ලෙස ජනතාව පීඩාවට පත් කිරීමක් වශයෙනුයි හඳුන්වන්නේ?
ඇත්තෙන්ම බදු වැඩි කිරීමේදී ජනතාවගේ බඩට වැදීම සාධාරණයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බදු කැපීමේදී එහි වාසියත් ජනතාව ලබා ගත්තා. බදු අඩු කළහොත් රජයක් දුවන්න අමාරුයි. එවිට මුදල් අච්චු ගහන්න සිදු වෙනවා. එවිට 2022 අමිහිරි සිදුවීම නැවතත් විඳින්නට සිදු වෙනවා. උද්ධමනය ඉහළට ගිය විට අද වැටුපෙන් ලබා ගත හැකි බඩු මල්ල භාගයක් බවට පත් වෙනවා. එසේනම් ඒ තත්ත්වය ඇති විය යුතු ද? නැතිනම් යම් ප්‍රමාණයක කැපවීමක් කළ යුතු ද? මේ නිසා අසීරු තීරණ ගත යුතු වෙනවා. එම තීරණය අද නොගත්තේ නම් 2022 සිදු වූ දේට වඩා විශාල කඩා වැටීමක් සිදු වීමට ඉඩ තියෙනවා. ජනතාව ඒ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුයි. ඒ කඩා වැටීම සිදු වුවහොත් නැවත නැඟිටීම ලෙහෙසි නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ , ජාත්‍යන්තරයේ විශ්වාසය බිඳ වැටෙනවා කියන්නේ නැවතත් 2022 ලැබුණු සහයෝගය අහිමි වී යාමයි.
පොහොට්ටුව හා රජය අතර මත ගැටුම් උග්‍ර වෙමින් පවතිනවා. ඉදිරි මැතිවරණවලදී මේ තත්ත්වය රජයට අවාසිදායක වෙයිද?
මැතිවරණ කාලය වන විට සාකච්ඡා කොට යම් එකඟතාවකට පැමිණෙතැයි බලාපොරොත්තු වෙනවා.
ලබන සතියේ 2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. ජනතාව යම් සහන අපේක්ෂා කරනවා. මෙවර අයවැය ජනතාවට අස්වැසිල්ලක් වේද?
ඉතාමත්ම අසීරු තත්ත්වය තුළ ජනතාවට යම් සහනයක් ලබා දෙන බව ජනාධිපතිතුමා කැබිනට් හමුවේදි අපිට පැවසුවා. මම හිතනවා ජනාධිපතිතුමා ඒ පිළිබඳව විශාල සැලකිල්ලක් දක්වයි කියලා. ඒ නිසා 13 වැනි සඳුදා අයවැය ඉදිරිපත් කරනකම් අපි ඉවසා ගෙන සිටිමු.
මේ වන විට ගාසා තීරයේ ඇති වී ඇති වත්මන් අර්බුද හමුවේ ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති වෙයි ද?
මැද පෙරදිග සාමයට බලපෑමක් ඇති වුණා කියන්නේ ලෝක සාමයට බලපෑමක් ඇති වූ බවයි. පොදුවේ ව්‍යාපාරික ආයෝජන, සංචාරක කර්මාන්තය කෙරෙහි මෙයින් අයහපත් ප්‍රතිවිපාක ඇති වෙන්න පුළුවන්. තෙල් මිල ඉහළ යාමට ඉඩ පවතිනවා. එසේම දිගින් දිගටම අපි මැද පෙරදිග සමඟ පවත්වන සම්බන්ධතා හරහා යම් තෝරා ගැනීමට සිදු කරන්නට සිදු වෙනවා. කිසිසේත් මේ යුද්ධය පැවතිය යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා ඉක්මනින්ම සාමය ඇති කරගෙන පිළිගත හැකි විසඳුමකට යා යුතුයි. 1967 එක්සත් ජාතීන්ගේ සංවිධානයේදි යෝජනාවක් සම්මත වුණා, පලස්තීන ජාතින්ට ඔවුන්ගේ දේශයකුත්, යුදෙවු ජාතීන්ට ඔවුන්ගේ දේශයකුත් නිර්මාණය කළ යුතු වූ බව. ඒ විසඳුම එනතෙක් මේ ප්‍රශ්නය විසදීමට නොහැකි බව කාටත් තේරෙන සත්‍යයක්. එය වහා විය යුතුයි.
විදේශ කටයුතු ඇමැති ලෙස ඊශ්‍රායල්, පලස්තීන සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබට සහතිකයක් ලබා දිය හැකිද?
ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි සියලු පියවර ගනිමින් පවතිනවා. දිගින් දිගටම ඔවුන් ගැන සොයනවා. ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙක් සමඟ සම්බන්ධ කර ගත්තා. එයින් 11 දෙනෙක් ආපසු ඒමට කැමැත්ත පළ කළ නිසා කටාර් රාජ්‍යයයේ මැදිහත් වීම හරහා ඔවුන් එළියට ගෙන ඊජිප්තුව හරහා ලංකාවට ගෙන්වා ගත්තා. ඉතිරි 4 දෙනෙක් පලස්තීන ජාතිකයන් සමඟ විවාහ වී සිටින නිසා ඒමට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඊශ්‍රායලයේ මියගිය දෙදෙනාගෙන් අවසන් කෙනාගේ සිරුරත් ලංකාවට ගෙන ආවා. ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය රැකියා අවස්ථා ගැන සාකච්ඡා වීමක් සිදු කරමින් යනවා. විදේශ අමාත්‍යාංශයේ මැදිහත් වීමත් ඒ සඳහා නැහැ. විදේශ රැකියා අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත් විය යුතුයි.