- මහේලට ලක්ෂ 65යි
- නවාස්ට ලක්ෂ 46යි
- ලක්ෂෙට වැඩි තවත් රොත්තක්
නවසීලන්තය හමුවේ ලැබූ පරාජයත් සමඟ ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන සංචාරය නිමාවට පත්වූයේ වසර 2025දී පාකිස්තානයේ පැවැත්වීමට නියමිත අයිසීසී චැම්පියන්ස් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමත් නැති කරමිනි. චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලබන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය අවසන් වෙද්දී ඉදිරියෙන් සිටින කණ්ඩායම් අට බව අයිසීසීය නිවේදනය කළේ පසුගිය මාසයේදීය. නවසීලන්තය හමුවේ ලැබූ පරාජයෙන් පසු සිකුරාදා උදෑසන නැවත ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙද්දී ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි තැනට වැටී සිටියේය. කණ්ඩායම් 6ක් දැනටමත් චැම්පියන්ස් කුසලාන සුදුසුකම් ලබා අවසන්ය. තරග 9කින් ශ්‍රී ලංකා පිල ජයගත්තේ එංගලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහි තරග පමණි. චැම්පියන්ස් කුසලානයේ වාසනාව උරගා බැලීමට එංගලන්තය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය තවත් තරගයකට බැගින් සහභාගි විය යුතුව තිබුණ ද, ශ්‍රී ලංකා පිල යළි මෙරටට පැමිණියේ ඔවුන්ගේ වාසනාව එම කණ්ඩායම් මත රඳවා තබමිනි.
මෙය 1999 වසරෙන් පසු ශ්‍රී ලංකා පිල සහභාගි වූ වඩාත්ම අසාර්ථක ලෝක කුසලාන තරගාවලිය බව අවිවාදිතය. ජාත්‍යන්තර ක්‍රිකට් විශ්ලේෂකයන්ට සහ විචාරකයන්ට අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ පසුබෑමට බලපෑ ප්‍රධානතම සාධකය පන්දු රැකීමය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිල නවසීලන්තයට එරෙහි තරගයට පෙර සහභාගි වූ තරග 8දී උඩපන්දු 16ක් අත් හැරියේ ‘Catches win Matches‘ තියරිය එහෙම පිටින්ම අමතක කර දමමිනි.
අමෙරිකානු ඩොලර් අටදහසක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් විසිහත් ලක්ෂයකට ආසන්න මුදලක්) මාසික වැටුපකට ඇන්ටන් රූක්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස බඳවා ගත්තේ පසුගිය මාර්තුවේදීය. ආරංචි මාර්ගවලට අනුව ඔහු නිර්දේශ කර ඇත්තේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධනය. මහේල වැනි පළපුරුදු ජාත්‍යන්තර උපාය මාර්ගික පුහුණුකරුවකු විසින් ආවාට ගියාට එවැනි නිර්දේශ සිදු නොකරන බැවින් රූක්ස් ගැන ක්‍රීඩකයන් ඕනෑවට වඩා බලාපොරොත්තු තබා ගන්නට ඇත. එහි ප්‍රතිඵල දැන් පැහැදිලිව පෙනේ. නෙදර්ලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන මේ 42 හැවිරිදි දකුණු අප්‍රිකානුවා ශ්‍රී ලංකා පිලේ පන්දු රකින්නන් ලැබූ පුහුණුව ගැන දැන් ඇත්තේ ගැටලුවකි. රූක්ස්ට වඩා පන්දු රැකීම පුහුණු කළ හැකි ශ්‍රී ලාංකික පුහුණුකරුවන් එමට සිටියදී එවැනි විශාල මාසික වැටුපකට ඔහු ආනයනය කරනු ලැබීමත් ගැටලු සහගතය. රූක්ස් හැරුණු විට පන්දු රැකීමේ සහාය පුහුණුකරුවකු ලෙස මනෝජ් අබේවික්‍රම ද සංචාරයට එක් වී සිටි බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ අසාර්ථකත්වයට බලපෑ එකම කරුණ පන්දු රැකීම පමණක් නොවීය. ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ අංශය දැඩි පසුබෑමකට ලක් විය. පළමු තරගයේදීම දකුණු අප්‍රිකාව ඕවර 50ට ලකුණු 428ක් රැස් කළේ පන්දු යවන්නන් විහිළුවකට ගත්තා සේය. ඊළඟ තරගයේදී පාකිස්තානය ලකුණු 344ක් හඹා ගොස් ජයගත්තේ කඩුලු 6කිනි. සත්කාරක ඉන්දියාව ලකුණු 357ක් රැස් කිරීමත්, ඕවර 41.1කදී බංග්ලාදේශය ලකුණු 279ක් හඹා ගොස් ජයගැනීමත්, නවසීලන්තය ලකුණු 171ක ඉලක්කය හඹා යෑමට ඕවර 23.2ක් පමණක් වැය කිරීමත් ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ අංශය ගැන පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට කදිම නිදසුන් ය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ පුහුණු කාර්ය මණ්ඩලයේ වේගපන්දු පුහුණුකරුවකු ඇතුළත් වූයේ නැත. ඒ කටයුත්ත බාරව සිටියේ හිටපු වේගපන්දු යවන්නකු වන ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ය. ඔහුගේ සහායට වේගපන්දු යවන පුහුණුකරු වන මනෝජ් අබේවික්‍රම ද සිටි බව වාර්තා වේ. 48 හැවිරිදි එංගලන්ත ජාතික සිල්වර්වුඩ් වසර 2010දී එසෙක්ස් ප්‍රාන්ත පිලේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කර තිබූ අතර, ට්‍රෙවර් බේලිස්ගෙන් පසු එංගලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරුවා බවට පත්විය. වසර 2021-2022 අළුබඳුන ටෙස්ට් තරගාවලිය අතරතුර ඔහු දුර්වල තීරණ හේතුවෙන් දැඩි විවේචනයට ලක් වූ පුහුණුකරුවෙකි. හෙතෙම පසුගිය වසරේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකකට පත් වූ අතර, අමෙරිකානු ඩොලර් තිස්දහසක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක්) මාසික වැටුපක් ලබමින් ඔහු කරන සේවාව ගැන මෙරට පුහුණුකරුවෝ ද විමතිය පළ කරති.
පැතුම් නිශ්ශංක, සදීර සමරවික්‍රම සහ චරිත් අසලංක හැරුණු විට ශ්‍රී ලංකා පිලේ සෙසු පිතිකරුවන්ට සිදු වූයේ කුමක්දැයි පිතිහරඹ පුහුණුකරු මෙන්ම සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන නවීඩ් නවාස් අධ්‍යයනය කළ කරුණු මොනවාදැයි දන්නේ ඔහුම පමණි. මුල් තරගවලදී දස්කම් පෑ කුසල් මෙන්ඩිස් නායකත්වයේ වගකීම පැවැරිමෙන් පසු ලකුණු අතරට පැමිණීමට අසමත් වූ අතර, ධනංජය ද සිල්වාගේ අසාර්ථකත්වය මුළු තරගාවලියටම බලපෑවේය. අමෙරිකානු ඩොලර් දහහතර දහසක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් හතළිස් හයලක්ෂයකට අධික මුදලක්) මාසික වැටුපක් ලබන නවීඩ් නවාස්ට අමතරව ඩොලර් විසිදහසක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් හැටපන් ලක්ෂයකට අධික මුදලක්) මාසික වැටුපක් ලබන ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ද උපාය මාර්ගික උපදෙස් සැපයීමට අමතරව ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් අධීක්ෂණය කිරීම බාරව සිටි බව වාර්තා විය.
ශ්‍රී ලංකා පිලේ ආබාධිතයන්ගේ ලැයිස්තුව ආරම්භ වූයේ තරගාවලියේ මුල සිටමය. එය තරගයෙන් තරගය ඉහළ යද්දී ආබාධ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් කළමනාකරණය කිරීම අන්තිම පහළට වැටී තිබූ බව පෙනේ. ශ්‍රී ලංකා පිලට ආනයනය කරනු ලැබූ භෞත චිකිස්තකයෝ දෙදෙනකු වෙති. බංග්ලාදේශ ක්‍රිකට් පිලේ භෞත චිකිත්සක ලෙස කාලයක් කටයුතු කළ ටිහාන් චන්ද්‍රමෝහන් සහ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස් ක්ලාක් පිළිවෙළින් අමෙරිකානු ඩොලර් නවදහසක් සහ අටදහසක් මාසික වැටුප් වශයෙන් ලබති. චන්ද්‍රමෝහන්ගේ මාසික වැටුප ශ්‍රී ලංකා මුදලින් පිළිවෙළින් රුපියල් තිස් ලක්ෂයකට ආසන්න මුදලකි. ක්ලාක්ගේ මාසික වැටුප ශ්‍රී ලංකා මුදලින් රුපියල් විසිහය ලක්ෂයකට අධිකය. ආබාධ කළමනාකරණය සම්බන්ධව පමණක් නොව ක්‍රීඩකයන්ගේ ශාරිරීක යෝග්‍යතාව පිළිබඳවත් මේ දෙදෙනාට පැවැරී ඇත්තේ විශාල වගකීමකි. පරාජය ගැන කතා කිරීමෙන් ලැබෙන වාසියක් කණ්ඩායමට නැති වුව ද, සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයට රුපියල් කෝටි හතරකට ආසන්න මාසික වැටුපක් ගෙවීමෙන් අවශ්‍ය සේවාව ලැබුණේදැයි යන්න ගැටලු සහගතය.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා එක් ක්‍රීඩකයාට දෙන්නා බැගින් ක්‍රීඩකයන් සිටින බව තරගාවලියට පෙර උදම් ඇනූ ජාතික ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ දැන් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටින බවය. ඔවුන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ හේතුවෙන් මේ ඛේදනීය ඉරණමට ශ්‍රී ලංකා පිල පත් වූ බවය. පරාජය අවජාතක බව යළි යළිත් සිහිපත් කරන ප්‍රමෝද්‍යගේ ප්‍රකාශය ගැන කවර කතාදැයි සිතේ.
ශ්‍රී ලංකා පිලට මේ ඉරණමට මුහුණ දීමට සිදු වූයේ ලෝක පූජිත මහේල ජයවර්ධනගේ උපාය මාර්ගික උපදෙස් තිබියදීය. එක් අතකින් කෙතරම් උපදෙස් සැපයූව ද තණ තීරුවේදී ඒවා ක්‍රියාත්මක කරන්නේ ක්‍රීඩකයන්ය. එබැවින් ලද උපදෙස් අනුගමනය කිරීමේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් දැක්වූ අසාර්ථකත්වය ගැනත් විපරම් කළ යුතුව ඇතැයි හිටපු ක්‍රීඩකයන්ගේ අදහස වී තිබේ.
සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයම මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයකට ඇද වැටී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පිහිටුවා ඇති ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ඉහළ දීමනා යටතේ විශාල පිරිසක් සේවයේ නිරතව සිටියදීය.
ක්‍රිකට් ආයතනයේ වැටුප් සහ දීමනා ලබන කාර්ය මණ්ඩලය මේ වසරේ ජනවාරි මාසයට අනුව 186ක් බවත්, ඔවුන්ගේ දළ වැටුප ලක්ෂය ඉක්ම වන බවත් ආදායම් බදු තොරතුරු මඟින් අනාවරණය වී තිබේ. එම වාර්තාවට අනුව එක්ලක්ෂ දහතුන්දහස් හයසිය විස්සක වැටුප් ලබන රියැදුරු මහත්වරුන් ද, එක්ලක්ෂ විසිඑක්දහස් දෙසියපනස් තුනක මාසික වැටුප් ලබන කාර්යාල සහායකයන් ද, එක්ලක්ෂ හත්දහස් පන්සියයක වැටුප් ලබන අත්උදව්කරුවන් ද සිටිති. සාමාන්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප් තලය සලකා බැලීමේදී ඉන් ඉහළ මට්ටමේ තනතුරුවල සේවය කරන සේවක සේවිකාවන්ගේ මාසික වැටුප පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගොඩ නඟා ගැනීමේ හැකියාව ද තිබේ. රුපියල් ලක්ෂ 14 ඉක්ම වන වැටුප් පරාසයක කාර්ය මණ්ඩලයක් සිටින බව එම වැටුප් ලැයිස්තුව සලකා බැලීමේදී පෙනී යයි.
කාර්ය මණ්ඩලයේ වැටුප් තලය එසේ හෙයින් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා පත් කර ඇති විශේෂඥ කාර්ය මණ්ඩලයේ වැටුප් සම්බන්ධව ද පැහැදිලි චිත්‍රයක් ගොඩනඟා ගැනීමේ හැකියාව ලැබේ. ඒ අනුව ආර්.ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේවය කරන ක්‍රිකට් පුහුණුකරුවන්ට දීමනා හෝ වැටුප් වශයෙන් අතිවිශාල මුදලක් ලැබෙන බව පැහැදිලිය.
දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග, , පුහුණුකරුවන් වන අවිශ්ක ගුණවර්ධන, රුවන් කල්පගේ, ජෙහාන් මුබාරක් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ලෙස එහි සේවය කරති. භෞතචිකිත්සකවේදීන් වන ප්‍රියන්ත වික්‍රමසිංහ, රංජිත් නානායක්කාරවසම් සහ අජන්ත වත්තේගම, පන්දු රැකීමේ පුහුණුකරුවන් වන මනෝජ් අබේවික්‍රම, උපුල් චන්දන සහ ගයාන් විජේකෝන්, trainer දර්ශන වීරසිංහ සහ ඩිල්ෂාන් ෆොන්සේකා, පුහුණුකරුවන්ගේ අධ්‍යාපනවේදීන්ගේ ප්‍රධානියා ලෙස හේෂාන් ද මැල්, වේගපන්දු පුහුණුකරු චමිල ගමගේ, දස්කම් සොයා බැලීමට සුමිත්‍ර වර්ණකුලසූරිය, ඉමල් බොතේජු, උෂාන්ත ගුණරත්න සහ ආර්. අයි. ජෙයකුමාරන්, කාන්තා ක්‍රිකට් පුහුණුකරු ලෙස ලංකා ද සිල්වා, දඟපන්දු පුහුණුකරුවන් ලෙස සජීව විජේකෝන් සහ සචිත් ශානක පතිරණ, පිතිහරඹ පුහුණුකරුවන් වන ධම්මික සුදර්ශන සහ රුවින් ප්රසාන්ත පීරිස්, කාන්තා ක්‍රිකට් සංවර්ධන පුහුණුකරු මහේෂ් වීරසිංහ, පන්දු යැවීමේ පුහුණුකරු දර්ශන නානායක්කාර, සහාය පුහුණුකරුවන් ලෙස සම්පත් පෙරේරා සහ තිළිණ කණ්ඩම්බි, පළාත් දස්කම් පුහුණුකරුවන් ලෙස කාමන් මාපටුන, උමල් ඉරන්දික ලියනගේ, හර්ෂ ගමාධිකාරි, වසන්ත විජේසූරිය, සුරංග ගමගේ, නිලන්ත විමලවීර, ඩේවිඩ් කන්ගදරන්, චමින්ද කොඩිකාර, අමිල සුරංග, දුමින්ද පෙරේරා, ඔමේෂ් විජේසිරිවර්ධන, පුහුණුකරුවන්ගේ අධ්‍යාපනවේදීන් ලෙස චමින්ද තොටගමුව, කේ. කාර්තිගේසන්, සුජීව ගුණරත්න සහ කෞෂල්‍ය ගජසිංහ කළමනාකරුවන් ලෙස කටයුතු කරති.
මීට අමතරව සහය කළමනාකරුවන් ලෙස වේග පන්දු පුහුණුකරු රවීන්ද්‍ර පුෂ්පකුමාර, trainer බුද්ධික හේරත් සහ සමබාහක රොහාන් ප්‍රියදර්ශන කටයුතු කරන අතර, විධායක නිලධාරීන් ලෙස සමබාහකයන් වන චාමිකා එරංජලී පෙරේරා, ලක්ෂ්මන් ගුණසේකර සහ ජගත් ජිනේන්ද්‍ර, භෞතචිකිත්සකවේදීන් වන අරවින්ද ජයදේව, සංජීව ගමගේ සහ නවිනි පෙරේරා, trainer ගයාන් වීරරත්න, ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය තාක්ෂණවේදි ටරීක් මාක් ද සිල්වා, Strength and conditioning පුහුණුකරු අෂ්වින් බේලිං කටයුතු කරති. පුද්ගලයන් 54ක් වැනි විශාල මානව සම්පත් දායකත්වයකට මාසිකව වැය වන මුදල් කන්දරාවත් සුළුපටු නොවන බව සහතිකය. මෙවැනි මධ්‍යස්ථානයක් නඩත්තු කිරීමේ අවසන් ප්‍රතිඵලය හෝ අග්‍රඵලය විය යුතු වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සන්නාමය ජාත්‍යන්තරයේ ඉහළට ඔසවා තැබීම මිස අන් කිසිවක් නොවේ. එවැනි මෙහෙයුම් සිදු වන්නේ අයිසීසීයේ තරගාවලි ඉලක්ක කරමින් මිස වෙනත් ලාභ ප්‍රයෝජන අරමුණු කරමින් නොවන බවත් කවුරුත් දනී. ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වය පෙන්නුම් කරන්නේ අදාළ සියලු පාර්ශ්ව ක්‍රිකට් නඟා සිටුවීමේ ඔවුනොවුන්ගේ වගකීම පැහැර හැරිය බව නොවේද ?
වසර හතරකට වතාවක් පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ලොව සෑම කණ්ඩායමක්ම ඔවුනොවුන්ගේ පුහුණු කාර්ය මණ්ඩලය, කණ්ඩායමේ නායකත්වය සහ ක්‍රීඩකයන්ගේ පෙළගැස්ම ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රකට කරුණකි. ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙන් සිදුවන්නේ ඒ සඳහා අවශ්‍ය සම්පත් හඳුනා ගැනීම, සංවර්ධනය කිරීම, දස්කම් මුවහත් කිරීම සහ ජාතික තලයට මුදා හැරීමය. මෙවර ලෝක කුසලාන තරගාවලියට එවැනි ඉලක්කගත සැලසුමක් තිබුණේදැයි ගැටලු සහගතය.
ඉන්දියාවට ගියේ මහේල ජයවර්ධනගේ උපාය මාර්ගික උපදේශකත්වයට අනුව සහ ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ක්‍රමවේදයට අනුව තෝරාගත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නම් ආරම්භයේදීම එය කඩා වැටුණේ කෙසේදැයි කෙනකුට සිතෙනු ඇත.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ගමන අවසන් වෙද්දී වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ සදීර සමරවික්රමය. ඔහු තරග 9කදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 373කි. පැතුම් නිශ්ශංක අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 332ක් ලබා ගත් අතර, අතරමැද දී නායකත්වය පැවරූ කුසල් මෙන්ඩිස් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 294ක් ලැබුවේය. චරිත් අසලංක ද ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 288කි. ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා තරග 7කදී අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 149ක් ලබා ගත්තේය. ධනංජය ද සිල්වා තරග 8කදි ලැබුවේ ලකුණු 140කි. තරග 5කට ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස් ඉනිම් 4කදී ලැබූ ලකුණු සංඛ්‍යාව 51කි.
පන්දු යැවීමේ අංශයෙන් ශ්‍රී ලංකාවට සැනසුමක් ගෙන දුන් එකම පන්දු යවන්නා ඩිල්ෂාන් මධුසංඛ ය. හුංගම විජයබා ජාතික පාසලෙන් ක්‍රීඩාවට සේන්දු වූ මේ 23 හැවිරිදි වමත් වේගපන්දු යවන්නා පන්දු යැවීමේ අංශයේ සියලු බර කරට ගත්තේය. සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව කඩුලු 5ක් ද බිඳ දැමූ හෙතෙම තරගාවලිය පුරා කඩුලු 21ක් දවාලීමට සමත් විය. මේ ලිපිය ලියැවෙන මොහොතේදිත් ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව දරා සිටියේය.
ෆවුස් මොහොමඩ්