Home » ලලිත් කොතලාවලගේ මරණය ඇතුළේ සැඟවුණු රහස් ගොන්නක් එළියට

ලලිත් කොතලාවලගේ මරණය ඇතුළේ සැඟවුණු රහස් ගොන්නක් එළියට

වැඩියෙන්ම විශ්වාස කළ අය ලලිත්ව විනාශ කළා

by gayan
November 11, 2023 12:30 am 0 comment

නෑණන්ඩිය කියයි

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල ඉකුත් ඔක්තෝබර් මස විසි එක් වැනි දා ලංකා රෝහලේ දී මිය ගියේය. මිය යන විට 84 වැනි වියේ පසු වූ කොතලාවලගේ මරණය සැක සහිත බව කියමින් ඔහුගේ බිරිය සිසිලියා කොතලාවලගේ නැගණීය වන ශෙරින් ප්‍රනාන්දු විජේරත්න (84) විසින් බම්බලපිටිය පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් හේතුවෙන් පොලිසිය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්ට කරුණු ඉදිරිපත් කර තිබිණි. පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලංකා රෝහලට ගොස් මරණකරුගේ දේහය පරීක්ෂා කර බලා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ වෛද්‍යවරයාට නියෝයක් නිකුත් කළේය.

ඒ අනුව සිය මස්සිනා වන ලලිත් කොතලාවලගේ මරණය සිදුවන වකවානුවේදී ඔහු සිය සහෝදරිය වන සිසිලියා කොතලාවල ගෙන් වෙන්ව සිටි බැවින් එම මරණය සිදු වූ ආකාරය හෙළි කර ගැනීමට අවශ්‍යව ඇතැයි සඳහන් කරමින් ෂෙරින් විජයරත්න ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී අධිකරණ වෛද්‍ය ඩබ්ලිව්. ආර්. එස්. ඒ. රාජපක්ෂ, අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ටී. ඒ. හේවගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරි කේ කේ රාජගුරු යන තිපුද්ල අධිකරණ වෛද්‍ය නිලධාරීන් හමුවේ කොතලාවලගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇත.

ලලිත් කොතලාවලගේ දේහය සිසිලියා කොතලාවල විසින් බාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් එය බාර ගැනීම සඳහා සිසිලියා කොතලාවල මහත්මියගේ සහෝදරිය වන ශෙරින් මහත්මිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර, ඒ අනුව මෘත දේහය භූමදානය කිරීම සඳහා ශෙරින් විජයරත්න ප්‍රනාන්දු යන අයට බාරදීමට අධිකරණයෙන් නියෝග නිකුත් විය.

කොතලාවල ගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසාන් අමරසිහ ඉදිරියේ විභාගයට ගැනණු අතර, සාක්ෂිකරුවන් 07 දෙනකුගේ සාක්ෂි සටහන් කරගත් අධිකරණය මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ තීන්දුව ලබන 14 වැනිදාට ලබා දීමට තීරණය කළේය. මේ, එම මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂිවල සම්පිණ්ඩනයකි.

“ලලිත් කොතලාවල මහත්මයාගේ මරණය ස්වභාවික තත්ත්වයක් යටතේ සිදු වූවක් නොවෙයි. පුද්ගලයන් කිහිප දෙනකුගේ ක්‍රියාදාමයක් හේතුවෙන් සිදු වූ මරණයක්. ඕනෑම දෙයක් ඔවුන්ගේ වාසියට සකසා ගන්න පුළුවන් හැකියාවක් ඔවුන්ට තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ මරණය ස්වභාවිකව වුණ දෙයක් නෙවෙයි කියලා. එම පුද්ගලයන් තමන්ට ඕන දේවල් කර ගත්තායින් පස්සේ කොතලාවල මහත්තයා සිය ජීවිතයෙන් සමුගැනීම සිදුවිය යුතු යැයි ඔවුන් සිතන්නට ඇති.” යැයි සිසිලියා කොතලාවලගේ නැගණීය වන ශෙරීන් ප්‍රනාන්දු විජේරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා ඉදිරියේ මරණ පරික්ෂණ සාක්ෂි ලබා දෙමින් ඉකුත් 06 වැනිදා පැවසුවාය.

ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණ සාක්ෂියේ දෙවැනි සාක්ෂිය ලෙසින් ශෙරින් ප්‍රනාන්දු විජේරත්න ඉංග්‍රීසි භාෂාවෙන් සිය සාක්ෂිය ලබා දුන් අතර අධිකරණ භාෂා පරිවර්තකවරයකු එය සිංහල භාෂාවට පරිවර්තනය කළේය. පැමිණිල්ල වෙනුවෙන් බම්බලපිටිය පොලිසිය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

හෘදය රෝගී තත්ත්වයක් හේතුවෙන් තම මස්සිනාට ‘පේස් මේකර්’ යන්ත්‍රයක් සවිකර තිබූ බවට ඔහුගේ මරණ පරික්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තමන්ට පැවසූ අතර එවැනි යන්ත්‍රයක් සවි කළ බවට තමන් හෝ පවුලේ කිසිවකු හෝ දැන නොසිටි බව ද ශෙරීන් ප්‍රනාන්දු සාක්ෂි දෙමින් සඳහන් කළාය.

ලලිත් කොතලාවලගේ නැණා වන ඩී. පී. විජේරත්න මාවත පැලවත්ත, බත්තරමුල්ල ලිපිනයෙහි පදිංචි ශෙරීන් ෂේෂන්ස් ක්‍රිස්ටෝමාල් ප්‍රනාන්දු විජයරත්න (84) වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් සඳහන් කර සිටියේ, තම මස්සිනා අවසන් වරට ජීවත් වූ ඔහුගේ කාර්යාලය පිහිටි අංක 13, ඩික්මන් පාර, කොළඹ 04 ලිපිනයෙහි බවත්, කණ්ඩායමක් දෙකක් විසින් ඔහු එහි ප්‍රාණ ඇපකරුවකු වශයෙන් රඳවා තබා ගනු ලැබ සිටි බවත්ය.

පොලිසිය : මරණකරු එම ලිපිනයට පෙර පදිංචිව සිටියේ කොහේද?

සාක්ෂිකාරිය : ඊට කලින් ඔහු හිටියේ නො. 28, එළිබෑන්ක් පාර, කොළඹ 05 ලිපිනයේ ඔහුගේ බිරිය සහ මගේ සහෝදරිය වන සිසිලියා කොතලාවල සමඟයි. ඔහු 2000 වසර වෙනකල් විතර එහි ජීවත් වුණා. ඊට පස්සේ තමයි ඔහු ඔහුගේ කාර්යාලය පිහිටි ඩික්මන් පාර කොළඹ 04 ලිපිනය පිහිටි ස්ථානයට ගියේ.”

පොලිසිය : ඔහු රැකියාව වශයෙන් කළේ කුමක්ද?

සාක්ෂිකාරිය : මගේ මස්සිනා ව්‍යාපාර කළේ. ඔහු සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති. එම සමූහ ව්‍යාපාරය යටතේ තවත් සමාගම් 100කට වඩා වැඩි ගණනක් තිබුණා.”

පොලිසිය : මරණකරු පිළිබඳව සොයා බලන්න ඔබලා ගියාද?

සාක්ෂිකාරිය : ඔහු ඔහුගේ කාර්යාලයේ ඉන්න කාලේ අපිත් එක්ක කතා කළේ බොහෝම ටිකයි. ඊට කලින් ගොඩාක් සම්බන්ධතා අපිත් එක්ක තිබුණා. ඒක විනාශ වුණා. ඔහුව ප්‍රාණ ඇපකාරයෙක් වගේ එහි රඳවා තබාගෙන හිටියා. ඒ අය ඔහුව බැලීමට එන පවුලේ අයයි මිත්‍රයනුයි වැළැක්වුවා. මස්සිනාගේ සුව දුක් බැලීම සඳහා ඔහුව ප්‍රාණ ඇපකරුවකු වශයෙන් රඳවාගෙන සිටි කණ්ඩායමේ නිරෝෂා ප්‍රියදර්ශනී යන අයගෙන් අවසර ගන්න ඕන වුණා. එහෙම අවසර අරගෙන ඔහු බැලීමට ගිය අවස්ථාවේදී ඔහු සමඟ නිදහසේ කතා කිරීමට පවා අවස්ථාව ලබා දුන්නේ නැහැ. එතන ආරක්ෂක නිලධාරීන් හිටියා. එහෙම කතා කරන්න දුන්නේ බොහෝම පොඩි වෙලාවක් විතරයි.

පොලිසිය : ඔබලා ඔහු සමඟ කතා කළේ මොනවාද?

සාක්ෂිකාරිය : අපි කතා කලේ සාමාන්‍ය දේවල්. ඒ වෙලාවේ ඔහු ශාරීරිකව වගේම මානසිකව සෞඛ්‍ය තත්ත්වයෙන් පිරිහී සිටියා. මතකය අඩු වෙලා තිබුණේ. ඔහු දියවැඩියා රෝගයෙන් මෙන්ම ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළුණා. තමන් හමු වූ අවස්ථාවේදී කතාබහ කළ දේවල් ඔහු පොතක සටහන් කර ගත්තා. ඔහු අසනීපයෙන් හිටියා කියලා ඔහු කිව්වේ නැහැ. ඔහුට පේස් මේකර් යන්ත්‍රයක් සවිකර තිබෙනවා කියලා අපි දැනගෙන හිටියේ නැහැ. මේක බරපතළ තත්ත්වයක්. මහ බැංකු බෝම්බය පිපිරී ගිය 1996 වසරේදී ඔහුගේ ඇසක් අහිමි වුණා. ඒ වගේම ඔහුගේ ශරීරයේ අභ්‍යන්තර තුවාල විශාල ප්‍රමාණයක් සිදු වුණා. ඒ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්න එක්සත් රාජධානියට ගියා. ඒ ගමනට මගේ සහෝදරිය වන සිසිලියා කොතලාවල සහ මාත්, මගේ ස්වාමිපුරුෂයාත් එක්වූවා. ඒ ගිහිල්ලා ඇවිත් ඔහු, ඔහුගේ සමාගම් දිවයින පුරා ව්‍යාප්ත කළා. ඔහු සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා වශයෙන් පුද්ගලයන් හතළිස් දහසකට අධික සංඛ්‍යාවකට රැකියා ලබා දුන්නා. ඒ වගේම මේ රටේ ආර්ථිකයට ද විශාල රුකුලක් ලබා දුන්නා.”

පොලිසිය : ඔහුගේ ව්‍යාපාරවලට ඉන්පසු සිදු වූයේ කුමක්ද?

සාක්ෂිකාරිය : ගෝල්ඩන් කී ව්‍යාපාරයේ කඩා වැටීමත් සමඟ සියලුම ව්‍යාපාර උඩු යටිකරු වුණා. ඔහුට දිවයින පුරා අධිකරණවල නඩු පැවරුණා. එයින් ඔහු දැඩි ලෙස මානසික කම්පනයට පත්වූවා. ඔහු ඉතාමත් අද්වීතීය පුද්ගලයකු වුවත් මෙම තත්ත්වය හේතුවෙන් ඔහුට පරණ තත්ත්වයට එන්න හැකියාවක් නැති වුණා. මෙතැනිදී බලපෑ ප්‍රධානම දේ තමයි ඔහු වැඩියෙන් විශ්වාස කළ අය එයාව විනාශ කිරීම. ඒ කාලේදී සියලුම දෙනා ඔහු අතහැර ගියා. ඒ වෙලාවේ මම ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඔහු බන්ධනාගාර ගත වීමෙන් පසු නීතිඥ සහාය ලබා ගැනීම, ඔහු දියවැඩියා රෝගියෙක් බැවින් ඔහුට කෑම බීම ලබාදීම ආදිය කළේ මා. ඒ කාලේ මම ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ අතරේ කොතලාවල මහතාගේ ආරක්ෂක අංශයක සේවය කළ බව කියමින් ලලිත් අමරසිංහ සහ ප්‍රියදර්ශන වන්නිආරච්චි යන දෙදෙනා ඔහුගේ යම් යම් කටයුතු සිදුකිරීම සඳහා ළඟ රැඳුණා.

ඔවුන් දෙදෙනා හිටපු පොලිස් නිලධාරීන්. පසුව නීති කටයුතු මෙන්ම ඔහුව අධිකරණයට රැගෙන යාම් ඊම් සිදු කර ඇපකරුවන් වශයෙන් ද කටයුතු කළේ මොවුන් දෙදෙනා. කොතලාවල මහත්තයා රිමාන්ඩ් එකේ ඉඳලා එළියට ආවාට පස්සේ මේ දෙන්නා කොතලාවල මහත්තයා එක්කම නතර වුණා. ඔවුන් දෙදෙනා කොතලාවල මහත්තයාගේ අධ්‍යක්ෂක මණ්ඩල කාමරයේ උදේ නවයේ සිට හවස පහ වෙනකල් රැඳී සිටියා. ඒ වගේම කොතලාවල මහත්තයාගේ මනස විකෘති කරන්න පටන් ගත්තා. මුලින්ම ඔවුන් මාව තමයි එතැනින් ඉවත් කළේ. ඊට පස්සේ අවුරුදු තිහයක් හතළිහක් ඔහු යටතේ සේවය කළ විශ්වාසවන්ත සේවකයන් ඉවත් කළා. ඒ වගේම ඔහු වෙනුවෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ද නඩුවලින් අයින් කරන්න ඔවුන් කටයුතු කළා. මේක තමයි මේ පළමු කණ්ඩායම.”

පොලිසිය : සාක්ෂිකාරිය ප්‍රකාශ කළ දෙවැනි කණ්ඩායම මොකක්ද?

සාක්ෂිකාරිය : ස්වාමිනී, කොතලාවල මහත්තයා සිරගතව සිට පැමිණි පසු ‘සිර මිතුරෝ’ කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා. සිරගෙවල්වල සුළු වැරදිවලට දඬුවම් විඳින අයවලුන් මුදා ගැනීම මේ ‘සිර මිතුරෝ’ සංවිධානය හදලා තිබුණේ. මෙම සංවිධානයේ රැස්වීමක් සඳහා නිරෝෂනී ප්‍රියදර්ශනී යන අය පැමිණියා. ඇය කොතලාවල මහත්තයාගේ නිවසක් ඉල්ලා සිටියා. එහිදී ඔහු නිරෝෂා ප්‍රියදර්ශනී යන අයට මහරගම ප්‍රදේශයේ කුඩා නිවසක් සාදා දුන්නා. ඒ අනුව මේ සිරමිතුරෝ සංවිධානයට උදව් කරන්න ආපු ඇය පසුව කොතලාවල මහතා අවසන්වරට සිටි කාර්යාලය පිහිටි ඉඩමේ වෙනත් පැත්තක අවන්හලක් ආරම්භ කළා.

ඊට මාස කිහිපයකට පසු නිතී විද්‍යාලයෙන් පිටව ආ නීතිඥවරුන් වන සමන් ලියනගේ නිශ්මි ගොඩැල්ලගේ සහ දිනේෂ් ජයවීර යන තිදෙනා කොතලාවල මහතාගේ කාර්යාලය තුළ ඔවුන්ගේ කාර්යාලය පිහිට වූවා. ඊට පස්සේ වසර කිහිපයකට පස්සේ තමයි අපි දැන ගත්තේ නිරෝෂා ප්‍රියදර්ශනී කියන්නේ සමන් ලියනගේ යන අයගේ සහෝදරිය බව. මොවුන් යම් අරමුණක් අනුව සැලසුම් සහගතව එලෙස සම්බන්ධ වුණා. මේ දෙවැනි කණ්ඩාම. පළමු කණ්ඩායමට නිශ්මි ගොඩැල්ලගේ යන අය එකතු වුණා. ඔවුන් චෙක් අත්සන් කරන්න වගේ කටයුතු කළා. පසුව පළමු කණ්ඩායමට වඩා දෙවැනි කණ්ඩායම ප්‍රබල වුණා. පසුව ඔවුන් කොතලාවල මහත්තයාව එම කාර්යාලයේ කාමරයකට සීමා කරලා ඔහුව බියට පත් කළා.

පොලිසිය : එම කාමරය කුමන ආකාරයට තිබූ එකක්ද?

පොලිසිය : ඒ මුළු කාමරයම අඳුරු කළු පැහැ ගැන්වූ කාමරයක්. මේ දෙවැනි කණ්ඩායම කොතලාවල මහත්තයාට ඒත්තු ගැන්නුවා ඔහුගේ පවුලේ අය ඔහුට විරුද්ධ බව. ඔවුන් තමයි කොතලාවල මහත්තයාට විශ්වාසම අය විදිහයට ඔවුන් ඒත්තු ගැන්නුවා. මේ කාලේ තමයි එම කණ්ඩායම කොතලාවල මහත්තයාට අයිති ඉතා වටිනා දේපළ ඔවුන්ගේ නම්වලට ලියා ගත්තේ. ඒ අනුව මේ දේපල ලියා ගැනීම සම්බන්ධයෙන් පළමු කණ්ඩායම සහ දෙවැනි කණ්ඩායම අතර ගැටුමක් හට ගත්තා. පසුව පළමු කණ්ඩායමේ ඉවත්ව යාමත් සමග දෙවැනි කණ්ඩායම එහි ගැවසුණා.”

පොලිසිය : ඔබට කොතලාවල මහත්තයාගේ මරණය සම්බන්ධයෙන් දැනුම් දුන්නේ කවුද?

සාක්ෂිකාරිය : ඔක්තෝබර් මස 19 වැනිදා රෑ දිනේෂ් ජයවීර යන අය දුරකතනයෙන් කතා කරලා කිව්වා කොතලාවල මහත්තයා රෝහල් ගත කළා කියලා. මෙච්චර කාලෙකට ඔහු කතා කළ පළමු අවස්ථාව මෙයයි. ඔහු කිව්වා මේ බව කොතලාවල මහත්මියටත් දැනුම් දුන්නා කියලා. මා 20 වැනිදා උදේ මගේ දියණිය සමඟ කොතලාවල මහත්තයා බලන්න රෝහලට ගියා.

පොලිසිය : එතකොට එතැන් කවුද හිටියේ?

සාක්ෂිකාරිය : අපි රෝහලේ කාමරයට යද්දි නිරෝෂා ප්‍රියදර්ශනී කියන අය ආරක්ෂකයොත් එක්ක එතන හිටියා. අපි එනවා දැක්ක ගමන් එයා හැංගුණා.

පොලිසිය : ඒ මොහොතේ ඔබ කොතලාවල මහතා සමඟ කතා කළා ද?

සාක්ෂිකාරිය : ඔව්. එයා කිව්වා ‘ආවාට ස්තූතියි’ කියලා. ඒ වගේම එයා අපිට කිව්වා ආදරෙයි කියලා. ඊට පස්සේ කාමරයෙන් එළියට ඇවිල්ලා අපි එතන හිටින නිලධාරියාගෙන් ඇහුවා කොතලාවල මහත්තයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන. ඔහු කිව්වා ඇඟේ සෝඩියම් තත්ත්වය පහත වැටිලා ඒක නිසා තමයි ඔහුට නිදිමත ගතිය වගේ තියෙන්නේ” කියලා. නිරෝෂා ප්‍රියදර්ශනී කියන අය තමයි අන්තිම කාලේ කොතලාවල මහත්තයාගේ බෙහෙත් ලබාදීම මෙන්ම කෑමබීම පවා බලා ගත්තේ. බෙහෙත් නිසි වේලාවට ලබා නොදුන්නා නම් ඔහුගේ මරණය සිදු වෙනවා. කොතලාවල මහත්තයා රෝහලට ඇතුළත් කිරීමට දින දෙකකට පෙර ඔහුගේ ඥාති දියණියන් දෙදෙනෙක් ඔහු බලන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවේ ඔහු හරියටම 11ට වැසිකිළි යන්න ඕන. ඒක හැමදාම කරන්න ඕන බවට සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙම පිරිස එකම ක්‍රියාවලියකට ඔහුගේ මනස ‘ප්‍රෝග්‍රෑම්’ කරලා.”

මෙම මරණ පරීක්ෂණයේ පළමු සාක්ෂිකරුවකු ලෙස අධිකරණයේදී සාක්ෂි ලබා දුන්නේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ඇත්මඩලගේ ජූඩ් මාකෝ පෙරේරා ය. ඒ ඉකුත් 03 වැනිදාය.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවලගේ මරණයට සතියක දෙකක කාලයක් තුළ දිනකට කිහිප වතාවක් නිවිති යෙදූ සුප් සහ තැඹිලි වතුර බීමට ලබා දුන් බව තමාට දැනගන්නට ලැබුණු බැවින් එතුමාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඉපදී ඇතැයි ඔහු සිය සාක්ෂිය ලබා දෙමින් පැවසුවේය.

ලලිත් කොතලාවලගේ මරණය ස්වාභාවික මරණයක් ලෙස පෙනෙන පරිදි නීතිඥවරුන් කණ්ඩායමක් ඇතුළු කිහිපදෙනෙක් සැලසුම් සහගතව කටයුතු කර ඇති බවට තමා සතුව වාර්තා ඇති බව ද සාක්ෂිකරු අධිකරණයේදී ප්‍රකාශ කළේය.

නීතිඥ නිශ්මි ගොඩැල්ලවත්ත, නීතිඥ සමන් ලියනගේ, නීතිඥ දිනේෂ් ජයවීර, නීතිඥ එස්. පී. එස් රසිකා, රහස් පොලිසියේ හිටපු නිලධාරියකු වන ලලිත් අමරසිංහ, පොලිසියේ විශ්‍රාමික ප්‍රියංජන වන්නිආරච්චි, වත්මන් පොලිස්පතිතුමා ගේ මස්සිනා කෙනකු යැයි කියාගන්නා මහින්ද උපසේන, නීතිඥ සමන් ලියනගේ යන අයගේ සහෝදරිය වන නිරෝශා ප්‍රියදර්ශණී සහ තවත් කිහිප දෙනෙකු සිසිලියා කොතලාවලගේ දැඩි විරෝධතාව මත ඔවුන් පදිංචි නිවෙසින් කොතලාවල මහතාව කොළඹ 7 ෆොන්සේකා මාවතේ පිහිටි නිවෙසකට රැගෙන ගොස් ඇති බවද සාක්ෂිකරු සිය සාක්ෂියෙන් සඳහන් කළේය. එහි දී කොතලාවල මහතා මුලා කරමින් සහ බලහත්කාරයෙන් රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ මෙම පිරිස විසින් අනීතික ලෙස පවරා ගනු ලැබූ අතර මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියේ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් සාක්ෂිකරු අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙම මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයේදී ඉකුත් 07 වැනිදා සාක්ෂි ලබා දෙමින් බම්බලපිටිය පොලිසියේ විමර්ශන නිලධාරී පොලිස් සැරයන් 8764 කේ. ඩබ්. විමලරත්න සඳහන් කළේ, ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළ ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායම කොතලාවලගේ ඥාතීන් සහ තමන්ව, ඔවුන්ගේ නිල කාමරයට ගෙන්වා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙන බවත් ඔහුගේ ශරීරයේ යම් යම් කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට ලබාගත් බවත් සඳහන් කළ බවය.

සාක්ෂිකරු : පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝගයන් මා කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදු කිරීමේ කටයුතු සඳහා යොමු වුණා. එහිදී මා ලලිත් කොතලාවල මහතාගේ භාර්යාව වූ සිසිලියා කොතලාවල මහත්මිය හමුවීමට ගියත් ඇයගේ ආරක්ෂක නිලධාරීන් ඒ සඳහා අවස්ථාවක් සලසා නොදී ඇගේ දුරකතන අංකය ලබා දුන්නා. පසුව මා පෞද්ගලික ජංගම දුරකතනයෙන් කොතලාවල මැතිණියට කතා කරලා මරණය සම්බන්ධයෙන් දැනුම් දුන්නා.

පොලීසිය : එම අවස්ථාවේදී ඇය පැවසූයේ කුමක්ද?

සාක්ෂිකරු : “මේ පිළිබදව මා හට වගකීමක් ලබාගත නොහැකියි. මේ සම්බන්ධයෙන් මාගේ නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දීමක් කරන්නම්. ඉතා දීර්ඝ කාලයක් කොතලාවල මහත්මයා පදිංචිව සිටියේ අංක 13 ද ෆොන්සේකා පාර බම්බලපිටිය ලිපිනයේ. එම ස්ථානයේ සිටින අයගෙන් මේ මරණය සම්බන්ධයෙන් විමසා බලන්න” කියලා තමයි කොතලාවල මහත්මිය මට කිව්වේ. පසුව මම එම ලිපිනයට ගියා. එහි සිටිය නීතිඥ දිනේෂ් ජයවීර සහ ප්‍රියංගනී ප්‍රියදර්ශනී යන අයවලුන්ට මේ පිළිබඳව දැනුම්දී ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා. කොහොම වුණත් 21 වැනිදා සවස් කාලය වන තුරුම කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් කිසිවකු හෝ ඉදිරිපත් වුණේ නැති නිසා එදින මරණ පරීක්ෂණය කිරීමට නොහැකි වුණා. එදින රාත්‍රි පැය 19.30ට පමණ සිසිලියා කොතලාවල මහත්මිය නම් කරන ලද නීතිඥ මහත්මයකු විසින් මාගේ ජංගම දුරකතන අංකයට ඇමතුමක් අරගෙන කියා සිටියා පසුදින උදේ මෙම මරණය සම්බන්ධයෙන් දැනුම් දෙන්න කියලා. “

පොලිසිය : පසුවදා ඔවුන් දැනුම් දීමක් කළාද?

සාක්ෂිකරු : එහෙමයි ස්වාමීනි, ඔක්තෝබර් මස 22 වැනිදා නීතිඥවරුන් සමඟ ශෙරීන් විජේරත්න මහත්මිය පොලිස් ස්ථානයට පැමිණියා. කොතලාවල මහතාගේ මරණය සැක සහිත බව කියමින් ඇය පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අනුව කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. පසුව විනිසුරුතුමා නාරාහේන්පිට රෝහලට ගොස් දේහය පරීක්ෂා කළා. පසුව ඥාතීන් දේහය හඳුනා ගැනීමෙන් පසු එය ඥාතීන්ට බාරදී පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් නිකුත් කළා. ඒ වෙද්දි වෙලාව පැය 16.30 විතර ඇති. ඒ වෙලාවේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් හිටියේ නෑ. ඒ නිසා ඔක්තෝබර් මස 23 වැනිදා පෙරවරුවේ තමයි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ.

අධිකරණය : පශ්චාත් මරණ පරික්ෂණය කරන්න වෙලාවක් තියෙනවාද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනි. උදේ හතේ සිට සවස තුන වෙනකල් වේලාව වෙන්කර තිබෙන්නේ. ඉන්පසු ගේන ඒවා පසුවදාට කල් තියනවා.

අධිකරණය : අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් පැය විසි හතරේම රාජකාරි කරන්නේ නැද්ද?

සාක්ෂිකරු : ඇතැම් දිනවල ඉන්නවා. එදින ඉරිදා දිනයක් නිසා නිලධාරීන් හිටියේ නෑ.

අධිකරණය : ඉරිදා දිනවල අධිකරණ වෛද්‍ය නිලධාරීන් රාජකාරි කරන්නේ නැද්ද?

සාක්ෂිකරු : සිදු කරනවා ස්වාමීනි.

මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දුන් උක්වත්තගේ දෝන රම්‍යා උක්වත්ත (56) මෙසේ ප්‍රකාශ කළාය.

“ස්වාමීනි, මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර 28ක සේවා කාලයකින් පසු විශ්‍රාම ගත්තා. මා ලලිත් කොතලාවල මහතාගේ ආරාධනයෙන් එතුමාගේ කාර්යාලයේ සේවයට ගියා. ලලිත් අමරසිංහ කියන සී අයි ඩී එකේ හිටපු සැරයන්වරයකු යටතේ තමයි මා සේවය කළේ. මා වසර හතරක් විතර එතන සේවය කළා. කොතලාවල මහතාගේ ‘සිරමිතුරෝ’ සංවිධානයේ වැඩ කටයුතු තමයි මම ගොඩක් කළේ. මේ අවුරුද්දේ පෙබරවාරි මාසය තෙක් මම සර්ට කෑම ගෙනාවා. පස්සේ නිරෝෂා ප්‍රියදර්ශනී තමයි සර්ට කෑම දුන්නේ. එයාගෙන් අහන්නේ නැතුව කාටවත් කෑම දෙන්න දුන්නේ නැහැ. උදේ වරුවට කොමඩු, තැඹිලි, ගස්ලබු වගේ ඒවා තමයි දුන්නේ.“

සාක්ෂිකාර සුනේත්‍රා කුමාරි රණසිංහ (58) සාක්ෂි ලබා දෙමින් මෙසේ ප්‍රකාශ කළාය.

“මම අවුරුදු 22ක් කොතලාවල මහත්තයා ළඟ වැඩ කළා. මගේ දියණියට ඉගෙන ගන්න උදව් කළේ සර්. ඊට පස්සේ දියණියට වයස අවුරුදු 18 වුණාම ඇයට කඩයක් දාලා දුන්නා. පසුව මාවත් මගේ දියණියත් 2022 ඔක්තෝබර් මස 13 වැනිදා ඒ කඩෙන් එලවලා දැම්මේ නිරෝෂා ප්‍රියදර්ශනී කියන අය. සර්ට කෑම බිම දුන්නේ සර්ගේ හැමදේම කළේ නිරෝෂයි, සමන් ලියනගේ යන අයයි. මම සර්ගේ සියලුම දේවල් දන්නවා. මේ අය සර්ව කාමරයක දාලා හිර කරගෙන හිටියා. මම සර්ගේ සියලුම දේවල් දන්න නිසා තමයි මාව එලෙව්වේ. ”

බම්බලපිටිය පොලිසියේ මෙහෙයවීම මත සාක්ෂි ලබා දෙමින් කඩවත පදිංචි මුදියන්සේලාගේ සිසිර කුමාර සමරකෝන් (61) මෙසේ ප්‍රකාශ කළේය.

“ස්වාමීනි, මම වසර 35ක් ලලිත් කොතලාවල මහතා ළඟ සේවය කළා. සෙලින්කෝ හෝටලයේ වසර 25ක් වැඩ කළා. මැඩම්ගේ බංගලාවේ අවුරුදු දෙකක් විතර වැඩ කළා. ඊට පස්සේ ආයෙත් සර් ගාව අවුරුදු හතරක් විතර වැඩ කර කර ඉද්දි මාව එතැනින් අයින් කළේ නිරෝෂා මිස්. සර්ට මාසෙකට රුපියල් ලක්ෂ 60ක් 70ක් විතර ප්‍රමාණයක් මුදල් ලැබෙනවා. ඒ සල්ලි කවුරු හරි ගත්තාම සර් මට ඒක කියනවා. ඒ නිසාම තමයි නිරෝෂා මිස් මාව එතනින් අයින් කළේ.”

අධිකරණය : තමුන් කවදා වෙනතුරු එම ස්ථානයේ වැඩ කළාද?

සාක්ෂිකරු : අයින් වෙලා දැනට මාස 10ක් විතර ඇති.

අධිකරණය : මේ මරණය සම්බන්ධයෙන් තමුන්ට කියන්න දෙයක් තියෙනවාද?

සාක්ෂිකරු : මරණය ගැන මා දන්නේ නැහැ ස්වාමීනි.

අධිකරණය : මරණය ගැන දන්නේ නැත්නම් සාක්ෂි දෙන්න එන්න උවමනාවක් නැහැනේ.

සාක්ෂිකාර මහින්ද උපසේන ගමගේ (68) සාක්ෂි ලබාදෙමින් මෙසේ ප්‍රකාශ කළේය.

“ස්වාමීනි, මා කොතලාවල මහතාගේ ආයතනයට සම්බන්ධවෙලා වසර 35ක් සේවය කළා. පසුව නැවතත් 2021 වසරේ මම නැවත සම්බන්ධ වුණා. මා පරිපාලන උපදේශක වශයෙන් තමයි කටයුතු කළේ.

සාක්ෂිකරු : එහෙමයි ස්වාමීනි, ඉකුත් ඔක්තෝබර් 18 වැනිදා හවස කොතලාවල මහතාගේ කාර්යාලයේ හිටිය නීතිඥ මහතා මට කතා කරලා කිව්වා අපේ සභාපතිතුමාට අසනීපයි ඉස්පිරිතාලේ අරන් යන්න ඕන කියලා කියනවා කියලා. ඊට පස්සේ මම එතුමාගේ කාර්යාල කාමරයට ගියා. කොතලාවල මහත්තයා ඇවිදගෙනම ආවා. එහෙම්මම එතුමාගේ වාහනයට නැගිලා අපි රෝහලට ගියා. දොස්තර උපාලි වේරගම මහතාට දිනේෂ් මහතා කතා කළාම සවස 4ට එන්න කියලා තිබුණා. නමුත් කොතලාවල මහත්තයා “මට දැන්ම යන්න ඕන කැස්සක් වගේ හැදුණා. ඒ නිසා මට දැම්මම යන්න ඕන” කිව්ව. ඒ නිසා අපි ලංකා හොස්පිට්ල් එකට යන්නේ නැතුව ආසිරි රෝහලට ගියා. ටික වෙලාවකට පස්සේ දොස්තර මහත්තයා ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා කිව්වා. “මිස්ට කොතලාවලට මුකුත් ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් පරීක්ෂණ ටිකක් කරන්න දවසක් ඇඩ්මිඩ් වෙන්න” කියලා. මට එහෙම කියනවා ඇහුණේ මම ළඟ හිටපු නිසා. පස්සේ දිනේෂ් මහත්තයා එම රෝහලේ උඩට ගිහින් බලලා ඇවිල්ලා ඒ රෝහල කොතලාවල මහත්තයාට සුදුසු නැහැ කියලා ලංකා හොස්පිට්ල් එකට යමු කිව්වා. එතන ඉඳලා දවස් තුනක් කොතලාවල මහතා ප්‍රතිකාර ගත්තා. මම දවසින් වැඩි හරියක් හිටියේ රෝහලේ’ පසුව 21 වැනිදා පාන්දර දිනේෂ් මහතා මට කතා කරලා කිව්වා එතුමා මියගියා කියලා.

පොලිසිය : ඔබ අවසන් වරට කොතලාවල මහතා සමඟ කතා කළාද?

සාක්ෂිකරු : ඔව්, මම අවසන් වරට එනම් 20 වැනිදා සවස පහයි තිහට විතර සර් ළඟට ගිහින් කිව්වා “ සර්ට ඩිස්චාර්ජ් වෙලා යන්න පුළුවන් වෙයි කියලා. අන්තිම වෙනකල්ම සර් හිටියේ සතුටින්.” සර් ගෙදර හිටිය වෙලාවේ බොහොම සතුටින් හිටියේ. නිතර ටීවී එක බලනවා. සර් හැමවිටම අපිට කිව්වේ සතුටින් ඉන්න, දෙවි පිහිටයි කියලා.

කොතලාවල මහතාව රෝහලට රැගෙන ගිය නීතිඥ දිනේෂ් සඳරුවන් ජයවීර (39) සාක්ෂි ලබා දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.

’‘මම 2015 වසරේදී තමයි ලලිත් කොතලාවල මහතා සමඟ සම්බන්ධ වුණේ. මහේස්ත්‍රාත් අධිකරණවල සහ කම්කරු උසාවිවල මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ ඔහු සම්බන්ධයෙන් තියෙන විමර්ශනවලට පෙනී සිටිම සඳහා. ඒ වෙනුවෙන් ඔහු මට වේතනයක් ගෙව්වා. 2021 වසරේ අප්‍රිෙයල් මාසය වෙනකල් ඔහුගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කළේ ලලිත් අමරසිංහ කියන අයයි. ඔහු ඉවත්ව ගියාට පස්සේ කොතලාවල මහත්තයා මට කතා කරල කිව්වා ඔහුගෙ වෛද්‍යවරුන් සමඟ ඔහුගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. ඔහු පරික්ෂා කළේ වෛද්‍ය සාලිය පතිරණ, වෛද්‍ය මුබාරක්, වෛද්‍ය ජයන්ත, වෛද්‍ය උපාලි වේරගම සහ වෛද්‍ය ජයසේන යන මහත්වරුන්.“

පොලිසිය : මරණකරු රෝහල් ගත කළේ ඔබද?

සාක්ෂිකරු : එහෙමයි ස්වාමීනි, 18 වැනිදා කොතලාවල මහත්තයා මට කතා කරලා කිව්වා ඔහුට කැස්සක් තියෙනවා ඩොක්ටර්ට කියන්න කියලා. ඩොක්ටර්ට කතා කළාම ඩොක්ටර් කිව්වා සවස 6ට ලංකා රෝහලට එන්න කියලා. ගොඩක් රෑ වෙලා යන්න බෑ, ඩොක්ටර්ට කතා කරලා ඉන්න තැන වෙලාවක් ගන්න කියලා එතකොට කොතලාවල මහත්තයා කිව්වා. ඒ නිසා තමයි මම ආසිරි රෝහලට ගියේ. පසුව එතැනදි කිව්වා නේවාසිකව ප්‍රතිකාර ගන්න අවශ්‍යයි කියලා. ඒ නිසා ආපහු ලංකා හොස්පිට්ල් එකට ගියා. ඔහු මිය යන තෙක්ම හිටියේ ඒ රෝහලේ.

අධිකරණය : කොතලාවල මහතා හෘදය වස්තුවේ යන්ත්‍රයක් සවිකර තිබූ බව දැනගෙන හිටියාද?

සාක්ෂිකරු : ඔව් මා දැන සිටියා. මේක සවි කළේ 2018 වසරේ වගේ තමයි මට මතක. එතකොට මම නෙමෙයි එතුමාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බැලුවේ.”

මේ අනුව මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය අවසන් කළ අධිකරණය, එහි නියෝගය ලබන 14 වැනිදා ලබාදීමට නියෝග කරමින් එතෙක් නඩුව කල් තැබීය.

සිරිල් ලියනාරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division