මිනිසුන් මැරෙන ක්‍රමවේද දෙකක් තිබේ. සමහරෙක් ප්‍රාණය නිරුද්ධ වීම නිසා මැරෙති. තවත් සමහරෙක් ජීවත් ව සිටියදී ම මැරෙති. වින්දිතයන් නොමරා මරන සයිබර් අපරාධ රැල්ලේ ගොදුරු වූවන් අයත් වෙන්නේ මේ දෙවැනි ගණයට ය. ඔවුහු ජීවත් ව සිටියදී ම නොමැරී මැරෙති. කිසිවක් නොදැන ම සිය ආත්ම හිංසනයේ පතුල ස්පර්ශ කරමින් සයිබර් අවකාශයේ නොමැරී මැරෙන වින්දිතයන් වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ය.
ඉකුත් සැප්තැම්බර් 15 වැනිදා ගැසට් පත්‍රයේ පළ වූ මෙම පනත් කෙටුම්පත ඔක්තෝබර් 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත’ නමින් ඉදිරිපත් වූ එහි අන්තර්ගතයේ මෙසේ සඳහන් වී තිබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා ද ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සඳහා සහ ප්‍රකාශයට පත් කිරිම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස” වූ පනත් කෙටුම්පත වශයෙනි.
එහෙත් මේ කෙටුම්පත ඉදිරිපත් වෙන විට ම ඊට විරුද්ධ පිරිසක් සමාජයේ ඇති වෙන්නට පටන් ගත්තේ ය. සයිබර් කියූ පමණින් මේ විරුද්ධ උණ හැදෙන්නවුන් සිටියේ අද ඊයේ සිට නොවේ. ඉතිහාසය පුරා ම සයිබර් ප්‍රමිතිගත කිරීමක් ගැන කියූ පමණින් ඔවුහු දකින්නේ කොරහේ කිඹුල්ලු ය. එබැවින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැන කියූ සැණින් මේ කෙටුම්පතට විරුද්ධ ව පිරිසක් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පවසමිනි. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ මාධ්‍යවේදියකු විසිනි. නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කළ එම පෙත්සම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පළමු පෙත්සමයි. පනත සම්බන්ධයෙන් විවිධ පුරවැසියන් සහ සංවිධාන විසින් ඉදිරිපත් කළ පෙත්සම් සංඛ්‍යාව 45කි.
පනත් කෙටුම්පත පිළිබඳ කතාව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. නොවැම්බර් 07 වැනිදා ඒ පිළිබඳ ව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට ගෙන ආවේය. සංශෝධන කිහිපයක් සමඟ එය සරල බහුතරයෙන් සම්මත කර ගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබේ. ඒ අනුව එම පනත් කෙටුම්පතේ වගන්ති 31ක් පිළිබඳ ලබා දී ඇති සංශෝධනයන්ට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත්, පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. වින්දිතයන් වෙනුවෙන් කෙරෙන මේ මැදිහත් වීම ගැන කොරහේ කිඹුල්ලු දකිමින් සිටින අයට නොතේරීම එක්තරා අන්දමක පුදුමයකි. එහෙත් ආරක්ෂණ විධික්‍රම එද්දී ඇගේ කොහිල කටු ඇනෙනවා සේ දැනෙන පිරිස කලබල වීම නම් වළක්වන්නට බැරිය. තම තමන්ගේ කිල්ලෝටවල හුනු ඇත්තන් කොහොමත් කලබල ය.
සයිබර් ලෝකය පුද්ගලික ලෝකය දෙදරවන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ. රහසේ කඳුළු සලන්නන් දශකයක පමණ කාලයක් සිටියේ ය. මෑත කාලයට එන විට යම් යම් නැඟී සිටින්නන් මතු වෙන්නට පටන් ගත්තේ ය. ඒ ද ලෙහෙසි පහසුවෙන් නොවේ. ඒ නැඟිටීම් අතර ද කෙටි නැඟිටීම් බහුල ය. නැඟිටින විට ම කකුලෙන් අදින්නන් සේම බොරු භීතිකා මවා ආපස්සට ඇද්දෝ ද බහුල ය. ඒ අතර, වඩාත් සුලබ වූයේ කාන්තාවන් විෂයයෙහි ඇති කළ ලිංගික හිංසන ය. පාසල් දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය සමූහ වෙත මුදා හැරි අවස්ථා බොහෝ වාර ගණනක් අසන්නට ලැබිණි.
පසුගිය කලෙක එවන් අවස්ථාවකදී ඉතිහාසගත නඩු තීන්දුවක් ලැබී තිබිණි. 2022 පෙබරවාරි 21 වැනිදා අශිෂ්ට පරිගණක සමාජ ජාලා අපරාධකරුවකුට ලක්ෂ 8ක වන්දි මුදලක් සමඟ වසර එකහාමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ප්‍රකාශයට පත් කළේ මහියංගණය මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියංකර ය. වෘත්තියෙන් හෙදියක වූ වින්දිතයා විසි අට හැවිරිදි තරුණියකි. සයිබර් අවකාශයේ අවකෙළියෙහි යෙදෙන අශිෂ්ටයන් තිගැස්සූ එකී නඩු තීන්දුව රහසේ කඳුළු සැලූ බොහෝ වින්දිතයන්ට සැනසුම් සුසුමක් උදා කරන්නට ඇත. එහෙත් ප්‍රශ්නය එතැනින් නතර වූයේ නැත. තවමත් ඉඳහිට ඒ තරුණ සුන්දර හෙදියගේ පින්තූර ඉඳහිට සයිබර් අවකාශයේ හුවමාරු වෙනු පෙනේ.
එවැනි බොහෝ පින්තූර හා වීඩියෝ සයිබරයට ආගන්තුක නැත. එතැනින් පටන් ගත් පැමිණිලි කිරීම් බොහොමයකට සාධාරණය ඉටු වීමේ අවකාශය මුළුමනින් ම විවර වූවා ද යන්න පර්යේෂණ මාතෘකාවකි. එහෙත් තවමත් ශක්තිමත් නැති මේ නීතියේ පිළිසරණ ගැන සයිබර් වින්දිතයන් නම් මුළුමනින් ම විශ්වාසය තබන්නේ නැත.
ආලේපිත ප්‍රේමවන්තයන්ට, පුදුමාකාර ආදරයකින් මුදල් ලබා දෙන වෙස්සන්තරලාට, විවිධ ලිංගික සේවා සපයන්නන්ට, නංගි පෙන්නා අක්කා දීග දෙන්නට සැරසෙන මවාපෑම්කරුවන්ට සයිබර් ලෝකය නිදහස් ලෝකයකි. ඒ ලෝකයේ හුදෙකලාව, තනිවීම නැති කරගන්නට සරන සුන්දර ගොදුරු තවදුරටත් ගොදුරු නොවන්නට නම් මේ මහා අවකාශය නියාමනය කළ යුතුව තිබේ. ඒ අවැසි බව ගැන සවිඥානික නොවන්නෙක් වේ නම් ඒ මේ සමාජය හෝ වින්දිත පාර්ශ්ව ගැන අබැටකුදු නොදන්නකු විය යුතුය.
කොහොමත් ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනික ය. තමන්ගේ ම කෙනෙකුට ඒ අලකලංචියට මුහුණ දෙන්නට වූ දවසක මේ අය ද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා වන පෝලිමේ මුලින් ම හිට ගනු ඇත. ඒ දවස වැඩි ඈතක ද නොවනු ඇත.