දුවලා දුවලා දිවි මඟක්
කෙටි වෙලා මගෙ ආයුෂත්
ගිම් නිවන්න මංසලක්
මට හමු වුණේ පන්සලක්…
හමු වුණ අය සිය ගණන්
දුන්නෙම මට ගින්දරක්
ලැබුණා මට පුත් රුවනක්
දැනුණේ මට මහමෙරක්…
දමා යන්න සිය වරක්
හිතුවේ මම හැම රැයක්
පුතෙක් දුන්න සැනසුමක්
දිවියම දැන් සුර ලොවක්…
මෙලනි පතිරණ
ජැක්සන් ඇන්තනී ගැනයි
ජැක්සන් ඇන්තනී පහනකි කලා ලොවේ
නික්මු එළිය අප ජාතිය වෙලා දිවේ
එක් ජවනිකාවක් කෙළවර කළා බවේ
මක්කා කරන්නද හැම හද මිලන වේ
පූජ්‍ය කැප්පිටියාගොඩ කල්‍යාණවංස ස්ථිවිර
බිඳුණු පෙම
විදුලියක් කොටයි
අහස් කුස නොව
මගේ හිස මත
අකුණු සැර එක දිගට
නවතින්න හිතක් නැත
මඟ දෙපසම බලමි
අහස ද බලමි
වැස්සක සලකුණු ද නැත
සා අවුරුද්දක ප්‍රේමය මග හැර
ඔහු පියමනී වෙනත් අඟනක් සමඟ
කමලා ධර්මලතා ජයසුරිය
දියණියනි
දකින සැම දසුනකම නොමැත පිවිතුරු බවක්
යනෙන මඟ තිබිය හැක නොසිතු පැන නැති නිමක්
ගෙවෙන කල මග නොහැර කරන දන හට සෙතක්
කියන දෙය කලට නිසි කරනු නොමගෙන බියක්
ලොවක් දිනු සමිඳු ගුණ අප්පච්චි මෙනෙහි කෙරු
සුරැක දැහැමිව සිටිනු දිවි පහන නිවෙන තුරු
දිනක කැලලක් නොකොට රටට නෙත කඳුළු පිරු
දැයක දියණියක වනු මැන ඔබ රටම කරන ගරු
වට්ටාරම. ටී. ඇම්. පොඩිරාලහාමි
රෑ අහස
රවුමට රන් තැටියක් මෙන්
රෑ අහසේ සඳ ඇතී
මලින් පිරුණු තැටියක් මෙන්
රෑ අහසේ තරු ඇතී
රෑ අහසයි නිල් පාටින් දිලෙන්නේ
තරුපතිගෙ දිස්නෙයි මේ හෙළන්නේ
නීල වලා මැද්දෙන් මහ වැහි වැටෙන්නේ
නීලඹරේ පෙම් පාටින් දිලෙන්නේ
පුංචි අපිත් ආසාවෙන් බලන්නේ
හඳේ ඉන්න හාවාවයි සොයන්නේ
රන් තැටියේ කිරියි පැණියි පෙනෙන්නේ
පුංචි මටත් දෙනවා දැයි අහන්නේ
ඩබ්ලිව්. චෙහානි උපේක්ෂා
සොබා සිරි
වනතුරු වදුල විද රන් කෙදිමෙන් හෙළන
දිවයුරු පඬු පැහැය ගෑ අරුණලු කිරණ
විසිතුරු රූ රටා මිහිලිය මත මවන
පලතුරු බුදින සියොතුන් පෙන්නයි දකින
රන්තරු සමඟ සිසි සැඟවුණු තැන් සොයන
නිරතුරු නබෝ ගැබ තුළ මේකුළු ඇදෙන
නිල්තුරු සෙවණේ තුරුලිය එකිනෙක ගැටෙන
සුමියුරු හඬ මවයි වෙන තත පිරි මැදෙන
අමයුරු මියුරු හඬ වස්දණ්ඩෙන් නැඟෙන
නොමසුරු සහය දෙයි ඇසු ගෙඹි කැල වයන
පැස්බරු විල්දියේ තරගෙට ඔරු පදින
එක්දරු මුවැත්තිය දැක ඇත බිය වැදුන
එම්. එම්. කුලසිරි ද සිල්වා
සැරදේ ශ්‍රී ලංකා
මුළු ලොව පුරා සුපතලි මගෙ සිහල රට
දිය ඇළ මහා ගංගා කඳුවලින් වට
මල් ගොමු තුරුලතා අප හට දෙයි සතුට
මුතු ඇටයකි සැදුණු මහ සාගරෙන් වට
වළගම්බා, මහ පැරකුම් දුටු ගැමුණු
ලෝවා මහා පායේ ඇති ගල් කුලුනු
සිතුමිණ වැනිය රන්මැලි සෑ මට ලැබුණු
සිරිලක එදා අසිරිය පෙන්වයි තිබුණු
ඒ. එම්. කරුණාවතී
ජීවන බර
පාන් පෙත්තයි කහට උගුරයි
මදි වුනොත් ඇල් වතුර ටිකකුයි
උදේ වේලත් කුස රවටමින්
දවසෙ වැඩ ටික කරනවා
දවසෙ කුලියට ලැබෙන ගාණින්
ගෙදර අය වැය බැහැ හදන්නට
ගෙවන්නට හෙට පොරොන්දුව පිට
කළු කඩෙන් ණය ගන්නවා
ලයිට් වතුරට බිල ගෙවන්නට
පොඩි එවුන් ටියුෂන් යවන්නට
ගත්තු ණය වාරික නොගෙව්වම
සින්න වෙයි කර මාලයත්
සෝමදාස කන්දෙගේ
ගබ්සාව
අවිවාහක මවුපියෝ
තමන් නැති කරන්නට
විඳින වදය දැක
කලකිරී
සියදිවි නසාගත්තේය
තෙමස් කලලය
ලීලාරත්න සුබසිංහ
විඳින දුක
සුදු පාට බිත්තියේ රාමුවක් යටට වී
කිරි හුනා නොසෙල්වී සිල් අරන් සිටිනවා
විදුලි බුබුළේ වටේ වැටගසා මකුළුවා
අත්තිවාරන් ගසන නූල් ඌ අදිනවා
ගෙදර හිමිගේ ඇඳේ කොට්ටෙ උඩ
නිදාගෙන සුදු පූසා එක් ඇසින් රහසේම රවනවා
බඩගින්න නොපෙනුණත් විඳින දුක
දකින විට උපන්දින ලැබු ගින්න හදවතට දැනෙනවා
එම්. අර්. සමරසේකර