සිහිය පිහිටුවා ගැනීම පිළිබඳ මේ දක්වා සාකච්ඡා කර ඇති උපදෙස් පිළිපැදීමට ඔබ සිතා ගන්නේ නම් එයින් ඔබගේ ජීවිත අත්දැකීම් සියල්ල පෙරළියකට පත්විය හැකිය. එහිදී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති මාර්ගයේ සිහිය හෙවත් සතිමත් බව සමඟ එකට ගමන් කරන තවත් ඉතා වැදගත් අංගයක් පිළිබඳව අවධාරණය කිරීම අවශ්‍ය වේ. ඒ ගුණාංගය අන් කිසිවක් නොව, මෙත්තා හෙවත් මෛත්‍රියයි. සතිමත් බව පුහුණුවේදී මෛත්‍රිය සමඟ අත්වැල් බැඳ නොගතහොත් අපගේ තෘෂ්ණාව හා අරටු බැසගත් මමත්වය සාර්ථකව බිඳ දැමීමට අපට කිසිලෙසකින්වත් හැකි නොවේ. එලෙසින්ම මෛත්‍රිය වැඩීමට ද සතිමත් බව අවශ්‍ය සාධකයකි. මේ අංග දෙක හැමවිටම එක්ව වැඩිය යුතු ධර්මයෝය.
සතිමත් බව පිළිබඳ දැනුම්වත් කළ අවධියේ සිට ගතවූ දශකයක පමණ කාලය තුළ මිනිසුන්ගේ අනාරක්ෂිත බව හා බිය පිළිබඳ හැඟීම් උත්සන්න වීමට හේතු භූත වූ බොහෝ දේ සිදුවී ඇත. මෙබඳු අසහනකාරී වටපිටාවක් තුළ අන්‍යයන් කෙරෙහි ගැඹුරු මෛත්‍රී සිතක් ඇති කරගැනීම අපගේම යහපතට හේතු වනු ඇත. මේ ලෝකයෙහි අනාගතය සඳහා ඇතිකරගත හැකි හොඳම බලාපොරොත්තුව ද එයම වේ. මෛත්‍රියෙහි අන්තර්ගත අන්‍යයන් කෙරෙහි දැක්වෙන කරුණා දයාව බුදුරජාණන් වහන්සේගේ පණිවුඩයෙහි මූලිකම අංගයකි. උන්වහන්සේගේ ඉගැන්වීම්වල මෙන්ම ජීවිතය ගත කළ ආකාරය පුරාමත් එය නොමසුරුව පැතිරී තිබෙනු දැකිය හැකිය.
අප හැම කෙනෙකු තුළම මෛත්‍රිය දැක්වීමේ හැකියාව උපතින්ම පිහිටා තිබේ. එහෙත් එම බීජයන් වැඩෙන්නේ තරහ, ලෝභය හා ඊර්ෂ්‍යාවෙන් තොර වූ සන්සුන් මනසක පමණී. සාමකාමී මනස නමැති සරුසාර පොළොවෙහි මෛත්‍රිය හොඳින් වැඩී මල්ඵල ගැනේ. අපි තුළ මෛත්‍රියෙහි බීජ පෝෂණය කරන අතරම අන්‍යයන් තුළට ද ඒවා රෝපණය වී වැඩෙන්නට උදවු කළ යුතු වෙමු.
හේනේපොල ගුණරතන හිමියන්ගේ අත්දැකීමකි මේ.
“මා ලෝකයෙහි බොහෝ රටවල ධර්මය උගන්වමින් ගමන් කරන බැවින් ගුවන්තොටුපළවල බොහෝ වේලා ගතකරන්නට සිදු වේ. දිනක් ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපළෙහි ගුවන් යානයක් බලාපොරොත්තුවෙන් රැඳී සිටියෙමි. පිටත්වීම සඳහා බොහෝ කල්වේලා තිබුණ මුත් එසේ බලා සිටීම මට ප්‍රශ්නයක් නොවේ. එය මට සතුට ගෙන දෙන කරුණකි. භාවනා කිරීම සඳහා මට ඒ කාලය යොදා ගත හැකි බැවිනි. එදා මම ගුවන්තොටුපළේ මගී බංකුවක් උඩ එරමිණිය ගොතා වාඩිවී දෑස පියාගෙන භාවනාවෙහි යෙදුණෙමි. මා අවට බොහෝ සෙනඟක් ගුවන්යානා කරා යමින් එමින් සිටි අතර හාත්පස මහත් කැලඹිලි ස්වභාවයකින් පැවතිණ. මෙබඳු අවස්ථාවලදී මම සියලු දෙනා කෙරෙහි කරුණා මෛත්‍රී සිතිවිලිවලින් සිත පුරවා ගනිමි. සෑම හුස්මක් සෑම නාඩිවැටීමක් සෑම හද ගැස්මක් සමඟම මගේ මුළු සිරුර පුරා මෛත්‍රියේ ආලෝකය ගලා යන්නට මම ඉඩ හරිමි.
එම කලබලකාරී ගුවන් තොටුපළෙහි මෛත්‍රී සිතුවිලිවල නිමග්න වී සිටි මම, හාත්පස සිදු වන කැලඹිලි කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකළෙමි. එහෙත් ඒ අතර කිසිවකු මගේ බංකුවෙහි හිඳගත් බවක් මට දැනුණ නමුත්, දෑස් නෑරම සියල්ලන් කෙරෙහි මෛත්‍රී සිතුවිලි පතුරවමින් භාවනාවේම යෙදී සිටියෙමි. එවිට එක්වරම කුඩා සියුමැලි දෑතක් මගේ කරවටා යනු දැනුණ බැවින් ඇස් ඇර බැලීමි. අවුරුදු දෙකක් පමණ වයසැති ඉතා ලස්සන දැරියක් මගේ නෙත ගැටිණි. දිලිසෙන නිල්වන් දෑසක් හා තඹ පැහැති බොකුටු හිසකේ සහිත මේ සුරතල් දැරිය ඇගේ දෑත් මගේ ගෙල වටා යවා මා බදාගෙන සිටියාය. ස්වල්ප මොහොතකට පෙර මා අවට බලමින් සිටියදී මේ දැරිය දැක්කෙමි. ඇගේ මවගේ අතෙහි එල්ලී සිටි ඇය මවගෙන් මිදී මා වෙත දුව අවුත් තිබේ.
ඇගේ මව ඈ පසුපසින් දුව එමින් සිටී. දැරිය මගේ බෙල්ලේ එල්ලී සිටිනු දුටු ඈ “කරුණාකර ඈට ආශිර්වාද කර යන්න හරින්නැ”යි මගෙන් ඉල්ලා සිටියාය. දැරිය කුමන භාෂාවක් කතා කළා දැයි නොදන්නා නමුත් මම ඉංග්‍රීසියෙන් ඇයට මෙසේ කීමි. “කරුණාකර යන්න, ඔබේ මව ළඟ ඔබට හාදු ගොඩකුත්, සෙල්ලම් බඩු ගොඩකුත් රසකැවිලි ගොඩකුත් ඇති. මා ළඟ ඒ කිසිවක් නෑ. ඒ නිසා කරුණාකර යන්න.” එහෙත් බෙල්ලේ එල්ලී ගත් දැරිය එලෙසම සිටියාය. එවිට ඇගේ මව දෑත් එකතු කර බැගෑපත්ව මට නැවත ආයාචනා කරමින් “කරුණාකර ඈට ඔබතුමාගේ ආශිර්වාද ලබාදී යන්නට ඉඩ හරින්නැ”යි කියා සිටියාය.
මේ වන විට ගුවන් තොටුපළෙහි සිටි අනෙක් මගීන්ට ද මේ සිදුවීම දැකගන්නට ලැබිණ. මේ දැරිය මා දන්නා කෙනෙකු හෝ මට සම්බන්ධයක් ඇති කෙනෙකු යයි ඔවුන් සිතන්නට ඇත. අප දෙදෙනා අතර කුමන හෝ දැඩි බැඳීමක් ඇති බව ඔවුන් සිතුවා විය යුතුය. එහෙත් මා මීට පෙර කිසිදාක ඇය දැක තිබුනේ නැත. කුමන භාෂාවක් කතා කළාදැයි පවා මා දැන සිටියේ නැත. මා නැවත ඇගේ මව සමඟ යඋමට ඈ පෙලඹවීමට තැත් කෙළෙමි. “කරුණාකර යන්න. අම්මා සමඟ ඔබ ගුවන් යානයට යා යුතුයි. ඔබට පරක්කු වෙයි. අම්මා ළඟ සෙල්ලම් බඩුයි රසකැවිලියි තියෙනවා. මා ළඟ මොකුත් නැහැ. අනේ කරුණාකර යන්න”
නමුත් සිඟිති දැරිය වඩ වඩා තදින් මගේ බෙල්ලේ එල්ලී සිටියාය. ඇගේ මව ඉතා මෘදු ලෙස ඇගේ දෑත් මගේ ගෙලෙන් මුදවා ගනිමින් ඈට ආශිර්වාද කරන ලෙස මගෙන් ඉල්ලා සිටියාය. “ඔබ අපූරු දැරියක්. ඔබේ මව ඔබට ගොඩාක් ආදරෙයි. ඉක්මන් කරන්න. ඔබට ගුවන් යානය මග හැරෙයි. දැන් යන්න” මා මෙසේ කීවද ඇය නොසෙල් වූවාය. හඬන්නට ද පටන් ගත්තාය. අන්තිමේදී ඇගේ මව ඈ ඔසවා ගත්තාය. එහෙත් දැරිය අඬමින් කෑ මොරගසමින් මා වෙත එන්නටම දැඟලුවාය. එවර ඇය ගුවන්යානය වෙත ගෙන යෑමට මවට හැකි වුවද මා පෙනෙන තෙක් මානයේ සිටින තාක් ඇය මවගෙන් බේරී මාවෙත ආපසු දුව ඒමට දැඟලුවාය. සමහරවිට මගේ සිවුර නිසා මා නත්තල් සීයා හෝ එබඳු සුරංගනා චරිතයක් යැයි දැරිය සිතුවා විය හැකිය.
(මීළඟ කලාපයෙන් දරුවන් කෙරෙහි උපේක්ෂාව
වැඩීමේ කාලය ගැන දැන ගනිමු)