වැඩවසම් ලංකාව ප්‍රස්ථාව පිරුළුවලට ප්‍රසිද්ධය. මෙයින් ඇතැම් පිරුළු රජු සහ වංශවත් ප්රභූන්ගේ පස්ස මසාජ් කිරීම වෙනුවෙන් වෙන්වී තිබෙන අතර ඇතැම් පිරුළු ප්‍රායෝගිකය. බත් කන එකා සමඟ කැඳ බොන එකා තරහ බවට පුරාණ සිංහලයේ පිරුළක් වෙයි. මෙය ඇති නැති පරතරය පිළිබඳ කතන්දරයකි. බත් නොකා කැඳ බොන්නේ බත් කෑමට තරම් ප්‍රමාණවත් සහල් නැති දුප්පතාය. දුප්පත්කම ඇති වන්නේ සූරාකෑම නිසාය. මේ ගැන වැඩිදුර කතා නොකර බත් කන එකා සමඟ කැඳ බොන එකා තරහ වීම ගැන ස්වල්පයක් සොයා බලමු. ඕනෑම පාර්ලිමේන්තුවක දේශපාලන බත් කන්නේ ආණ්ඩුවය. විපක්ෂය, දේශපාලන කැඳ බොයි. මේ නිසා ආණ්ඩුව මොන දේ කළත් විපක්ෂය නමැති කැඳ බොන්නා කරන්නේ ආණ්ඩුවට හෙණ ඉල්ලීමය. මේ කාරණය සිත්හි තබාගෙන අපේ කතුවැකිය ආරම්භ කරනු ලැබේ.
භූ චලනයකින් පසු තවත් බොහෝ වෙලාවක් හෝ දවස් කිහිපයක් යනතුරු පසුකම්පන හටගනී. මීට දින කිහිපයකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අය වැයෙහි පසු කම්පනය තවමත් විපක්ෂයෙන් මතු වෙයි. මෙවර පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය පසුගිය වාරයේ සිටි විපක්ෂය මෙන් සම්පූර්ණයෙන්ම අනුචිත නැත. මෙහි අඥානයන් සිටින්නේ ස්වල්පයකි. ඒ නිසා දන්න එකාත් නොදන්නා එකාත් යනාදී වශයෙන් විපක්ෂවාසී සියලුම දෙනා ආණ්ඩුවට බණිති. ඔවුන් හැමවිටම හදන්නේ වෘත්තීය සටන්වලට පිවිසීමටය. එහෙත් එවැනි සටන් සඳහා පිවිසෙන එකෙක් දැනට නැත. මෙය හරියටම සමාන වන්නේ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ද්විතීයික අවස්ථාවටය.
මේ රටේ වාමවාදී ව්‍යාපාරයේ මුල් කොටස සෝවියට් දේශයේ බිහිවීමත් සමඟ ඇති විය. ඉන්පසු මාවෝ සේතුං ගේ මහජන චීනය බිහිවීමත් සමඟ වම දෙකඩවී එක පලුවක් චීනයට නැඹුරු විය. 1977 දී සෝවියට් සංගමයේ පරිහානිගත යුගය පටන් ගන්නා විට බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන මේ රටේ වාම පක්ෂ කාර්යාල සහ බෝඩ් ලෑලි පමණක් ඉතුරු වන තැනට රාජ්‍ය තාන්ත්‍රික ගේමක් ගැසුවේය. ඉන්පසු වාමාංශිකයන්ට සිදු වූයේ ගෙවල් ඇතුළට වී නිදා ගැනීමටය. ඔවුහු හැමදාම උදේ අවදිවී පාරේ සන්නද්ධ රතු කමිසකාරයන් සිටිත් ද, විප්ලවය පටන්ගෙන ද යන ඕපාදූප විමසා බැලූහ. එසේවී නැති බව තේරුම් ගත් වහාම ඔවුහු නැවත වතාවක් ජනෙල් දොරවල් වසා නින්දට ගියහ. ලංකාවේ විපක්ෂය ද මේ හා සමානය. විපක්ෂයේ හැමෝම අය – වැය ට බණිති. හැබැයි ආණ්ඩුව දුන්නොත් එකෙක්වත් එය භාර ගන්නේ නැත.
ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව කඩා වැටුණු කල්හි මේ රටේ දේශපාලඥයන් කිහිප දෙනකුටම අගමැතිකම සඳහා ආරාධනා කරන ලදී. ඒත් කවුරුවත් ආණ්ඩුව භාර ගත්තේ නැත. එයට හේතුව 69 ලක්ෂයක් ඡන්ද ලැබූ ගෝඨාභයටත් කෙලවුණා නම් තමන්ට කුමක් වේද යන්න ඔවුන් තුළ බියක් ඇති කළ නිසාය. විපක්ෂය යනු ඉතාම ලාබදායක ව්‍යාපෘතියකි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ වෙනත් දේශපාලන හැසිරීම් විවේචනය කරමින් ඒ වෙනුවෙන් පඩි ලබමින් අවුරුදු 5ක ආතල් ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට පුළුවන. අප දන්නා පරිදි 1970න් පසු ලෝකයේ කිසිම රටක් අය – වැය හිඟයක් රහිත අය – වැය ලේඛනයක් ඉදිරිපත් කර නැත. උද්ධමනය යනු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාවලියකි. හැමදාම ජනගහනය වැඩි වෙයි. ඊට සාපේක්ෂව හැමදාම භාණ්ඩ හිඟයක් ඇති වෙයි. ඒ නිසා බඩු මිල ඉහළ යයි. මේ ක්‍රමවේදය කිසිදු ආකාරයකින් නැවැත්වීමට නොහැකිය. රුසියාවේ කොමියුනිස්ට් ක්‍රමය විසින් උද්ධමනය නැති කිරීමට බලහත්කාරයෙන් විවිධ ක්‍රම යොදන ලදී. අන්තිමට ඒ ක්‍රම සියල්ලටම කෙලවුණු අතර උද්ධමනය උඩට පැමිණ සෝවියට් ක්‍රමය අතුගෑවී ගියේය.
ලෝකයේ පළවැනි අය – වැය සාදන්නේ 1572දී නෙදර්ලන්තයේදීය. මේ කියන කාලයේදී නෙදර්ලන්තය ඉතාම බලසම්පන්න රටකි. එහෙත් ඔවුන්ගේ අය – වැය ලේඛනයේ පරතරයක් තිබිණ. නැව් නැඟ වෙනත් රටවලට ගිය නෙදර්ලන්ත සෙනවිවරු එම රටවල් කොල්ලකාගෙන වස්තුව ගෙනවුත් අය – වැය හිඟය පියවන්නට තැත් කළේය. මෙය දීර්ඝකාලීනව කිරීමට බැරි වැඩකි. ගෙදරක ලයිට් කැපූ විට ප්‍රධාන විදුලි කණුවෙන් විදුලිය සොරාගත හැකිය. එහෙත් මෙය හැමදාම කළ හැකි නොවේ. එක දවසක අවශ්‍ය විදුලිය සාදා ගැනීමට රට වැසියාට සිදු වෙයි. එසේ විදුලිය සාදා ගැනීමට බැරිවන කල්හි ලයිට් කැපිල්ල පටන් ගනී.
ලෝකයේ දෙවන ක්‍රමවත් අය – වැය ලේඛනය 1689දී එංගලන්තයේදී සාදන ලදී. ප්‍රංශය 1830දී ද ඩෙන්මාර්කය, පීඩ්මොන්ට් නමැති ඉතාලි ප්‍රදේශය ද ප්රසියාව ද 1848දී ද, පෘතුගාලය 1851දී ද, ඔස්ට්‍රියාව 1867 දී ද, ස්පාඤ්ඤය 1876දී ද අය – වැය ලේඛන සාදමින් තම රටවල ආර්ථික චිත්‍රය පිළිබඳ වෝහාරික විගණනයක් කිරීමට උත්සාහ කළහ. ඉහත සඳහන් රටවල් ටික අවුරුදු පතා අය – වැය ලේඛන හදා පස්වෙනි අවුරුද්දේදී තේරුම් ගත් සත්‍යය වූයේ ගොනා පිටුපස ගැල ඇදී එන්නාක් මෙන් අය – වැය පසුපස “පරතරය හෙවත් හිඟය ඇදී එන බවය.”
අය – වැය ලේඛන සැදීමේදී හොඳම පරිප්පුව කා ඇත්තේ ඉන්දියාවය. 1860 වන විට ඉන්දියාව යනු ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිතයකි. එකල බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඉන්දියාවේත් ශ්‍රී ලංකාවෙත් ආර්ථිකය එක ගිණුමකට දමා මෙහෙයුම් කළහ. 1860දී බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම් නිකමට මෙන් ඉන්දියාව සහ ලංකාව යන දෙරටට වෙන වෙනම අය වැය ලේඛන සෑදුවේය. මෙහිදී යටත් විජිත ලේකම්ගේ සිරුරේ සියලු විවරවලින් තරු පිට විය. එයට හේතුව ලංකාව බලවත් පාඩු පිට යන රටක් බව එම අය වැය ලේඛනයේදී හෙළි වීමය. ලංකාවේ විසූ සුද්දෝ ද එම සුද්දන්ගේ පාරේ ගිය සිංහල සුද්දෝ ද ආහාර අනුභව කිරීමට මිස නිෂ්පාදන කටයුතු සඳහා ලොකු උනන්දුවක් දක්වා නැති බව මෙහිදී හෙළි විය. ලංකාව අනාගතයේදී මාර වාතයක් විය හැකි බව එංගලන්තය තීන්දු කරන්නේ මේ මොහොතේදීය. 1948දී ඔවුන් ලංකාවට නිදහස දෙන්නේ සිය කැමැත්තෙනි.
මේ අය වැය හොඳ අය වැයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් උත්සාහයක් ගෙන තිබේ. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම විවිධ අධ්‍යාපනික ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කිරීම වැනි සාධනීය දේවල් බොහොමයක් මේ අය වැයේ ඇත. ලංකාවේ සංචාරක කර්මාන්තය පහළ බැස තිබේ. මෙය මුළු ලෝකයේම තත්ත්වයයි. සංචාරකයෝ මේ මෑතක සිට මාර විදිහට පිරිමහති. හෝටල්වලට නොගොස් දුම්රිය පළවල නිදා ගන්නා ඔවුහු චූන් පාන්ගෙන මාළු පාන් කා දවස ගොඩ දමා ගනිති. මේ නිසා රටේ ආර්ථිකය වෙනත් පැතිවලට යොමු කිරීමට ජනාධිපතිතුමා අය වැය මඟින් උත්සාහ කර තිබේ. මේ වෙලාවේදී මේ උත්සාහය දෙස කුහක ලෙසින් නොබැලිය යුතුය.