– කවුරු ආණ්ඩු කළත් 2048 දක්වාම මේ ණය ගෙවීමට මේ රට බැඳී සිටිනවා
– ස්ථාවර රටකට සැවොම එක මගකට
– දේශපාලන විසඳුම්වලින් පලක් නෑ. අවශ්‍ය ආර්ථික විසඳුමක් පමණයි
ඉකුත් වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු ඉදිරිපත් වන පළමු අයවැය මෙය බැවින් ඓතිහාසික, රැඩිකල් සහ විප්ලවවාදී අයවැයක් ලෙස හැඳින්විය හැකි බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා දේශපාලන විසඳුම්වලින් ප්‍රතිඵලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් පැවසූ ඇමැති ආචාර්ය ගුණවර්ධන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවැනි ණය වාරිකය නිකුත් කිරීමෙන් අනතුරුව නැවතී තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට හැකි වන බව ද පෙන්වා දුන්නේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන ඒ බව පැවසුවේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඉකුත් 15 වැනිදා පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ මෙවර අයවැය ඓතිහාසික, රැඩිකල් සහ විප්ලවීය අයවැයක් ලෙස හැඳින්විය හැකියි. පසුගිය වසරේ මෙරට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු ඉදිරිපත් වන පළමු අයවැය ලෙස ද මෙය හැඳින්විය හැකියි. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය සහ අන්තර් ජාතික ගෙවීම් තුලාවේ ජංගම ගිණුමේ හිඟය නිසා රට බංකොලොත් තත්ත්වයට ඇද වැටුණා. ඒ නිසා අන්තර් ජාතික ආර්ථික විශ්ලේෂකයින් විසින් “ඵල දැරීමට පෙර ඵල භුක්ති විඳි රටක්” ලෙස මෙරට හැඳින් වුවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති නිර්ණායක ඒ ඒ කාල වකවානු තුළ නියමිත ආකාරයට සම්පූර්ණ නොකිරීම ද රට පවතින අර්බුදකාරී තත්ත්වයට ඇද වැටීමට හේතු වුණා. මෙම අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නම් අප විසින් කරුණු හතරක් අනුගමනය කළ යුතුයි. පළමු වැන්න නම් රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතුයි. දෙවැනි කරුණ ආණ්ඩුව දරණ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් අඩුකර ගත යුතුයි. තෙවැන්න, රට තුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගන්නා අතර, රටින් ඉවතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරගත යුතුයි. සිවුවැනි කරුණ වන්නේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමයි. ජනාධිපතිවරයා විසින් මෙවර අයවැය ඉදිරිපත් කර ඇත්තේ ඉහත කී කරුණුවලට අදාළවයි.
අප මේ වන විට සිරවී තිබෙන ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 36ක් පමණ වනවා. එයින් ඉදිරි වසර 05ක හෝ 06ක කාළය තුළ ගෙවීමට තිබෙන්නේ 37%ක් පමණයි. එම ණය ප්‍රමාණයෙන් 51%ක් ගෙවීමට තිබෙන්නේ වසර 06ත් 20ත් අතර කාලයකදීයි. ඒ වගේම තවත් 12%ක් ගෙවීමට නියමිතව ඇත්තේ වසර 20කට පසුවයි. කවුරුන් විසින් ආණ්ඩු කළත් 2048 වර්ෂය දක්වා මෙම ණය ගෙවීමට අපේ රට බැඳී සිටිනවා. එසේ නොගෙවන්නේ නම් ඒ පාර්ශ්වයට ආණ්ඩුව පවත්වාගෙන යෑමට හැකි වන්නේ සති දෙකක් පමණයි.
අප ලෝකයේ රටවලින් ණය ගෙන නොගෙවා සිටිය හොත් පවතින ජාත්‍යන්තර ක්‍රමවේදය තුළ ණයවර ලිපියක් හෝ නිකුත් කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම ලංකාව විසින් නිකුත් කරන ණයවර ලිපි අනෙක් රටවල් භාර නොගන්නේ නම්, ඛණිජ තෙල්, ගෑස්, ඹෟෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙම තත්ත්වයෙන් මිදීමට දේශපාලන විසඳුම්වලින් ප්‍රතිඵලයක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථික විසඳුමක් පමණයි. මූල්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් පැවති පාලනය අසමත් වූ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම භාරගනු ලැබුවා. ඉන්දියාව, චීනය සහ ජපානය ඇතුළු මෙරට ණය හිමි රාජ්‍යයන්හි නායකයන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා විසඳුමක් ලබා ගැනීමට ප්‍රවේශ වුණා.
අයවැයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවැනි ණය වාරිකය නිකුත් කළ යුතු වනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වුවහොත් අයවැයේ ඇති සියලුම යෝජනා ඉෂ්ට කළ හැකි සම්පත් ප්‍රමාණයක් අපට ලැබෙනවා. ඉන් අනතුරුව නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට ද හැකි වනවා.
අයවැය මඟින් වැඩි කිරීමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවක වැටුප ගෙවීමට සිදුව ඇත්තේ ද රජය විසින් ජනතාවගෙන් එකතු කරන බදු අදායම්වලින් පමණක් බව ද සියලු දෙනාම විශේෂයෙන්ම මතක තබාගත යුතු වනවා.”