රෝහණ වීරසිංහයන්ගේ කනිටු පුත් චිරාත් වීරසිංහත් සිය පියාගේ අඩි පාරේ යමින් සංගීත ක්ෂේත්රයේ දිගු ගමනක් යන්නට උත්සාහ කරන තරුණයෙක්. ඔහු මේ වෙද්දීත් ඔහුගේම ගීත නිර්මාණ කිහිපයක් සහ තනු නිර්මාණ කිහිපයක් කර තිබෙනවා. සිය පියා වෙනුවෙන් තනු නිර්මාණයක් කරන්නට චිරාත්ට අවස්ථාව ලැබී තියෙනවා. ඒ ගීතය නුදුරේම අපිට අහන්න ලැබෙයි. ඒ ගැන වගේම කලා ලොවේ මෙන්ම පෞද්ගලික ජිවිතේ ගැන කළ කෙටි කතාබහයි මේ.
මේ වෙද්දී ගීත කීයක තනු නිර්මාණය කරලා තියෙනවද?
ගීත දෙකක් සම්පූර්ණ කරලා තියෙනවා. මෑතක අලුත් එකක් එළියට එනවා. එහි විශේෂත්වය වෙන්නේ තාත්තා තමයි ඒ ගීතය ගායනා කරන්නේ. තාත්තා සහ නිමානි සන්දීපනි ගමගේ කියන නවක ගායිකාව ගීතය ගයන්නේ. එහි තියෙන්නේ තාත්තා දුවට ජිවිතේ කියා දීම සහ දුව තාත්තාගේ ගුණ ගායනා කිරීම ගැන නිර්මාණය වුණු ගීතයක්. ඊට අමතරව මම ගායනා කරපු ගීත කිහිපයක් එන්න තියෙනවා.
ගීත පැත්තෙන් මේ වෙද්දී ගීත කීයක් විතර ගායනා කරලා තියෙනවද?
මම මුලින්ම ගීතයක් ගායනා කරන්නේ 2004දී. මගේ මුල්ම ගීතය ලියලා දුන්නේ ප්‍රවීණ ගේය පද රචක රවී සිරිවර්ධන අයියා. මේ වෙද්දී ගීත 23ක් වගේ කරලා තියෙනවා. ඊට පස්සේ බොහොමයක් මගේ නිර්මාණ ලිව්වේ මගේ හොඳම කලණ මිතුරා. ඔහු තමයි අනුරුද්ධ පෙරේරා. අනුරුද්ධ සහ මගේ මිතුදමට අවුරුදු 25ක් සම්පූර්ණ වෙනවා. එයාගේ සහ මගේ උපන් දිනෙත් එකම අවුරුද්දේ එකම මාසයේ අනුරුද්ධ පළමුවැනිදා මම හතරවැනිදා. අනුරාධ අබයසිංහ අයියාත් මම ගායනා කරන ගීත දෙක තුනකට තනු නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මගේ අයියත් මට මෙලඩියක් කරල තියෙනවා.
චිරාත්ගේ වෘත්තීය බවට පත්වෙලා තියෙන්නේ මොකක් ද?
සංගීත කටයුතුවලට අමතරව තාත්තාගේ යූ-ටියුබ් නාළිකාවේ වැඩ කරනවා. තාත්තාට එන ආදායමෙන් මාසෙකට සැරයක් ගීත රචකයාට කර්තෘ භාගය ගෙවනවා. ඒ වැඩ ඔක්කොම බලන්නේ මම. ඒ දේවල් එක්ක තමයි සංගීත වැඩ කටයුතු කරන්නේ.
මේ කාලේ තාත්තගේ කලා කටයුතු කොහොමද?
ඉස්සර වගේ පටිගත කිරීම් නම් සිදු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාසෙකට දෙසැරයක් වගේ තමා පටිගත කිරීම් නම් සිදු වෙන්නේ. ගොඩක් වෙලාවට අලුත් අයගෙන් තමයි ආරාධනා ලැබෙන්නේ සින්දු කරන්න කියලා. අලුත් පරම්පරාවේ ගොඩක් අය කවර්ස් වලට එකතු වෙලා ඉන්න නිසා තාත්තගේ සින්දු කරන්න ඒ අය අහනවා. තාත්තගේ ඒ වෙනුවෙන් කිසිම විරුද්ධත්වයක් නැහැ. තාත්තා කියන්නේ නිර්මාණයට සහ නිර්මාණයේ මුල් හිමිකරුවන්ට අපහසුතාවක් ඇති නොවන විදිහට කරන්න කියන එක විතරයි. හේතුව සමහර අය මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් පමණක්ම පැරණි ගීතවලින් කවර්ස් කරන්න උත්සාහ කරන්නේ. එහෙම නැතුව සංගීත ක්ෂේත්රයට තියෙන අවංක ආදරය එක්ක නිසි පරිදි කරන අයට තාත්තා හැමවිටම ආශිර්වාද කරනවා.
චිරාත්ට ඉන්නෙ අයියා කෙනෙක් නේද?
ඔව්. කළිඳු වීරසිංහ. එයා මේ වෙද්දී පදිංචි වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ කැන්බරාවල. එහෙ සයිබර් සිකියුරිටි පැත්තෙන් රැකියාවක් කරනවා. ඒ එක්කම තනු නිර්මාණ කටයුතුත් කරනවා. හැබැයි මම තරම් සින්දු කියන්න නම් එයා කැමති නැහැ. එයාට දැන් අවුරුදු 14ක දුවෙක් සහ අවුරුදු 11ක පුතෙක් ඉන්නවා.
චිරාත් විවාහ වුණේ නම් මෑතකදී නේද?
ඔව්. දැන් විවාහ වෙලා හරියටම අවුරුද්දයි මාස හතරක් වගේ. ඇය වෛද්‍යවරියක්. ගැළපෙන කෙනා ලැබෙනකම් හිටියා. ඒ කෙනා හමුවෙලත් අවුරුදු පහකට පස්සෙයි අපි විවාහ වුණේ.
චිරාත්ගේ ගායනයට, තනු නිර්මාණවලට තාත්තාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
තාත්තාගෙන් හැම වෙලාවේම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම තනුවක් කළත් මුලින්ම අහන්න දෙන්නේ තාත්තට. මගේ තියෙන අඩුපාඩු පෙන්වලා දෙන්නේ තාත්තා.
අපි දන්නේ තාත්තා වැඩි කතාබහක් නැති තනුවලින් බොහෝ විට කතා කරන කෙනෙක් විදිහට. ගෙදරදීත් එහෙමද?
ඔව්. තාත්තා බොහොම සරල මනුස්සයෙක්. එයාට ලැබෙන දේ තුළින් සන්තෝෂ වෙලා ගෙදර අය එක්ක විහිළු තහළු කරගෙන නිහතමානිව ඉන්නවා. තාත්තගේ ඒ ජිවත් වෙන රටාවට මම හරි කැමතියි.
රෝහණ වීරසිංහයන්ගේ පුතෙක් වෙන්න ලැබීම, කොහොමද දකින්නේ?
ඒක ලොකු ආඩම්බරයක්. සංගීත ක්ෂේත්රයේ මෙවැනි දැවැන්තයෙක්ගේ දරුවෙක් වෙන්න ලැබීම භාග්‍යයක් විදිහට. මමත් තාත්තා වගේම සරලව ජීවත් වෙන කෙනෙක්. තාත්තගේ නම කියලා අපි කවදාවත් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
අම්මා ගැනත් අපි කතා කරමු.
අම්මගේ නම බියට්‍රිස් වීරසිංහ. තාත්තාගේ ගමන පිටුපස ඉන්න ශක්තිය අම්මා. අම්මා වෘත්තියෙන් නැටුම් ගුරුවරියක්. දැන් නම් විශ්‍රාම සුවෙන් ඉන්නවා. අම්මාත් හරිම ආදරණීයයි. අම්මා නම් තාත්තට වඩා සැරයි. ඒකත් කියන්න ඕනේ.
තාත්තයි පුතයි එක්ක ප්‍රසංගයක් කරන්න හිතිලා නැද්ද?
තාම නම් එහෙම නෑ. මෑතක තිබ්බා ආදරණීය රෝහණ නමින් ප්‍රසංගයක්. එදා නම් අම්මගේ ඉල්ලීමට මමත් එහි කොටසකට සම්බන්ධ වුණා. එහෙම ප්‍රසංගයක් කරනවා නම් අයියාත් එකතු කර ගන්න ඕනේ.
චිරාත්ට සංගීතය පැත්තෙන් තියෙන බලාපොරොත්තු මොනවද?
මගේ බලාපොරොත්තුව සංගීත පැත්තෙන් ඉදිරියටම යන්න. තාත්තගේ නිර්මාණ ආරක්ෂා කර ගන්නවා වගේම මටම අනන්‍ය වූ නිර්මාණ කරන එක තමයි.
අනුෂා රණසිංහ