Home » නිවසේ ජල බස්නාව උතුරට ඊසානට නම් නිවැසියන්ට සුබ පල

නිවසේ ජල බස්නාව උතුරට ඊසානට නම් නිවැසියන්ට සුබ පල

by Mahesh Lakehouse
November 25, 2023 12:35 am 0 comment

– ඔබ ව්‍යාපාරිකයෙක් නම් නිවසේ ගෘහ පිණ්ඩය සම්පත් ගණයට තබා ගන්න
– නිවසට අතිරේක කොටස් එකතු කිරීම හිතුමතේ එපා
– නිවසේ ඊසානයේ තබන මැටි මුට්ටිය ගෙනෙන වාසනාව

ඉසිවර අතිරේකය තුළින් මෙවර කතාබහ කරන්නේ ඉපැරණි ඍෂිවරුන්ගේ ඍෂි භාෂිතයට අනුකූලව ප්‍රකාශ කරන ලද වාස්තු විද්‍යා කරුණු ගැනයි. ඔබ නව නිවසක් හෝ දැනට පදිංචි වී ඇති නිවාස හිමියෙක් නම් මේවා ගැනත් විපරම් කර බැලීම අතිශයින්ම වැදගත් වේවි. වර්තමානයේ අපි ජීවත්වන නිවස වසර කීපයක් හෝ පාරම්පරිකව පැවත එන නිවසක් නම් මේ ගැනත් බැලීම වඩාත් යෝග්‍ය වේ. නිවසක් ගොඩනැඟීමේදී එම ඉඩමේ ප්‍රමාණයත් හැඩතලයත් ගැන පරීක්ෂා කළ යුතු වේ. නියමිත සැලසුමක් පරිදි වර්ගීකරණය කරන ලද සැලසුමක් යටතේ ගොඩනඟාගත් නිවසක් මුල් කාලයේ වසර කීපයක් ඉතාම හොඳ සමෘධිමත්ව තිබී එන්න එන්නම පිරිහෙන තැනට වැටේ නම් ඒ ගැන සොයා බැලීම කාලෝචිතය.

අපි කැමති අපට ගැළපෙන ආසා කරන ඉඩමක් හිමි වන්නේ කලාතුරකිනි. වෙන්දේසියකින් ගත් ඉඩමක නම් එක වගේ දිග පළලැති ඉඩම් පරිමාවක් තිබිය හැක.

එවන් ඉඩමක නිවසක් ගොඩනැඟීමේදී වඩාත් ප්‍රවේශම් විය යුත්තේ නිවසට ආධාරක වන අපද්‍රව්‍ය රැස්වන වළවල් පිළිබඳවයි. උතුර ඊසාන නැඟෙනහිරට එකී වළවල් අසුබය. උතුර ඊසාන දිසාවට ජල බස්නාව (බැසීම) ඉතාම ශුභය. සෑම දෙයක්ම වාස්තු මත පැටවීම සුදුසු නැත. සම්පත් ක්ෂේම මෛත්‍රී බ්‍රහ්ම මෛත්‍රී නැකත් ජන්ම නැකතට හසුවේ නම් සුබයි. බ්‍රහ්ම පාදය අවහිර නොවන සේ තබා ගැනීම අනිවාර්ය වේ.

සතරමං සන්ධිවල නිවාස ඉදිකිරීම ගැන උපක්‍රමශීලී විය යුතුයි. විකිරණශීලී අමුද්‍රව්‍ය යෙදීම ගෘහණියට අහිතකරය.

වෙළෙන්දෙක් නම් නිවසේ ගෘහ පිණ්ඩය හෙවත් මූලික එකතුව සම්පත් ගණයට තබා ගන්න. මූල්‍ය අංශය වැඩි වේ.

නිවසකට අවහිර කාමර ගැනීමේ වර්ගීකරණයට සුබ වන සේ යොදාගන්න. හිතුමතේට කොටස් ගැනීම ඉතාම අසුබය. එල් හැඩය සුබ නැත. ජීව වායු වළවල් ඊසානට උතුරට නැඟෙනහිරට අසුබය. ගිනිකොනට සුබය. ශීතකරණය ඊසානට යෝග්‍ය නොවේ. වායුසමනය ද එසේය. ගරාජය ගිනිකොනට යහපත්ය. කුස්සියේ ජල පෙරණය සින්ක් එක ඊසානට සුදුසුය. නිරිතදිග කුස්සියේ අඹුසැමි සතුට තිබේදැයි බලන්න? දරුපල අහිමි නිවාසවල ඊසානයේ වැසිකිළි තිබිය හැක. උතුරට හිස දමා උතුරු දිසාවේ කාමරයේ හිඳීම අසුබය. දරුවන්ට පාඩම් කරන්න ඊසාන නැඟෙනහිර යෝග්‍ය වේ. බ්‍රහ්ම පාදය ද ඉතාම සුබය. හෙළයේ මහාගත් කතුතුමා සියලුම ග්‍රන්ථකරණයේ යෙදුණේ බ්‍රහ්ම පාදය තුළ පිහිටි පුටුව හා මේසය සහාය කරගෙනය. වහලයට පරාල මූට්ටු කුරුපා ඔත්තේ විය යුතුයි. යට ලී මූට්ටු කැණිමඩල බ්‍රහ්ම පාදයට එල්ල වීම අසුබයි. උළුවහුවලට වඩා ජනේල සංඛ්‍යාව වැඩිවිය යුතුයි. තරප්පුව යට බුද්ධ රූප ප්‍රතිමා තබා ආගමික වතාවත් කිරීම ඉතාම අසුබ වාස්තු දෝෂයකි. බාල්ක ලීයට ඇඳන් ගැනීම සුදුසු නැත. කෝණ මාසවලදී නිවාස වැඩ ඇරඹීම සුබ නැත. හිරු වර්ණ පදාසයම නිවසේ යම් යම් වාස්තු දෝෂ ඉවත් කරයි.

ගුප්ත විද්‍යාත්මක ඉපැරණි ක්‍රමවේද අතර ඊසාන පැත්තට ගිය සේපාලිකා මුල් කතා නොකර ගලවාගෙන කහ දියරින් සේදූ මැටි මුට්ටියක නිවසේ ඊසාන දිශාවේ තැබීමෙන් දෝෂ හට ගැනීම නවතී. කස්තුරි ගෝරෝචන රන්තැඹිලි තෙල්, සඳුන් තෙල් මිශ්‍රක නියමිත මන්ත්‍රවලින් ජප කර නිවසේ නැඟෙනහිර හෝ ඊසාන දිශාවේ උඩක තැන්පත් කිරීමෙන් සෞභාග්‍යය ලැබේ.

වාස්තු විද්‍යාවට අනුව නිවසක් ඉදිකර ගැනීමට යෝග්‍ය ඉඩමක් අද ගැනීම ඉතාම අසීරු කරුණකි. එදා තිබුණ මිල ගණන් වර්තමානය වන විට අහස උසට නැඟ තිබේ. ඔබට පාරම්පරිකව හෝ මිලයට ගත් ඉඩමක නම් වාස්තු විද්‍යානුකූලව ඉඩමේ හැඩතලවලට සීහෙන අන්දමට සැලසුමක් ඇඳ නිවාස වාස්තු විද්‍යාවේ ධනාත්මක මූලධර්මයන්ට එකඟව ගොඩනඟාගන්න.

අන්‍යයන්ගේ සැලසුම්වලට ඔබේ නිවස ගොඩනඟන්න යෑමෙන් ප්‍රශ්න ගොඩ ගැසේ. තමාට වැය කළ හැකි උපරිම මුදල් ආයෝජනය හරහා මුලින් සැලසුම් කර ඉතාම සුබ ඔබේ ජන්ම නැකතට ගැළපෙන ගෘහ පිණ්ඩයකින් නිවාස වැඩ පටන් ගන්න. බාහිරව දෝෂ තිබෙන්නේ නම් එය ඉතාමත් නිවැරදිව ක්‍රමවත්ව පුද පූජා අනුව කළ යුතු වේ. එකී ශාස්ත්‍රීය ක්‍රමවේදය හරිහැටි ප්‍රගුණ කළ ඇදුරෙකු ලවා පවිත්‍රව නිවැරදිව විශ්වාසවන්තව කළ යුතුවේ. අසීරුම කටයුත්තකි බහිරව පූජාව කිරීම.

අපි මෙතෙක් කතාබහ කළේ මුදල් වැයකර ඉන්නට හැකි වාසනාවන්ත නීරෝගී නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍යම කරුණු ස්වල්පයක් හෝ දැන ගැනීමය. වාස්තු විද්‍යාව ජ්‍යොතිෂ විද්‍යාව මෙන්ම ගැඹුරු ශාස්ත්‍රීය විෂයකි. එහි අගක් මුලක් සෙවීම අසීරුය. විවිධ ගුරුකුලවලට සම්භාවිත වන ආකාරයට ද වාස්තු විද්‍යාව පැතිර පවතී.

කෙසේ වෙතත් ඔබ නිවසක් ගොඩනැඟීමේදී පළපුරුදු අත්දැකිම් ඇති ජ්‍යොතිෂය හා වාස්තු විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති අයෙකු දක්ෂ සැලසුම්කරුවෙකු හා ගොඩනැඟිලි ඉදිකිරීමේ දක්ෂ ශිල්පීන්ගේ සහාය නොඅඩුව ලැබීමෙන් සෞඛ්‍යය සම්පන්න නීරෝගී නිවසක් තුළ ජීවත්වීමට හැකිවේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division