පෞරුෂ අංකයට අදාළ පලාපල සඳහන් කිරීමට ප්‍රථම ඔබ පෞරුෂ අංකය සොයා ගන්නා ආකාරය දැනගත යුතුය. ඒ සඳහා මුලින්ම කොළයක ඉංග්‍රීසි භාෂාවෙන් ඔබගේ සම්පූර්ණ නම ලියාගත යුතුය. (ඊට වාසගම අවශ්‍ය නොවේ) ඉන්පසු රූප සටහනේ පෙන්නුම් කරන ආකාරයට ඔබගේ නමේ අකුරුවලට යෙදෙන අංක සටහන් කරගත යුතුය. මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ ඉංග්‍රීසි භාෂාවේ සඳහන් a e i o u යන ස්වර අකුරුවලට අදාළ අංක අතහැර අනිකුත් අක්ෂරවලට අදාළ අංක පමණක් සටහන් කර ගැනීමයි. ඉන්පසු එම අංක තනි අංකයක් වනතුරු එකට එකතු කරගත යුතුය. ඊට උදාහරණයක්ද පළ වේ.
ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි පෞරුෂ අංක 5 නම් ඔබ ඉතාමත් ධෛර්ය සම්පන්න වීරියෙන් යුක්ත නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කරන වේගවත් ගති ලක්ෂණ ඇති තියුණු බුද්ධියක් සහ විචක්ෂණශීලී මනසක් ඇති යහපත් ගති ලක්ෂණ සහිත පුද්ගලයෙක් ලෙස හඳුන්වන්නට පුළුවනි.
සිතේ එකක් තබාගෙන තව එකක් කරන්නේ නැත. සිතේ තිබෙන දේ එලෙසින්ම ක්‍රියාවට නගයි. අංක 5 බුද ග්‍රහයා නියෝජනය කරන අතර දුරදිග සිතා බලා කටයුතු කිරීමේ හැකියාවත් තැනට සුදුසු නුවණත් නිතැතින්ම ලැබෙයි. තරමක් සූක්ෂම කපටි නුවණක්ද හිමිවිය හැකිය. තම බාහිර පෙනුම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරයි. ඉතා පිළිවෙළට ලස්සනට අඳින්නටත් ආභරණ ආදියටත් අලංකාරයටත් විසිතුරු දේවලටත් පෞරුෂ අංක 5 හිමියන් කැමැත්තක් ඇති කරයි.
අන් අය නිසා නොමඟ යෑමේ හැකියාව ඇති බැවින් ඇසුරු කිරීමට වඩා යහපත් අය පමණක් තෝරා ගැනීමට බුද්ධිමත් වීම හොඳයි. අලුත් අදහස් හා සංකල්පවලට ප්‍රිය කරන අතර නවීන විලාසිතාවලට රුචිකත්වයක් දක්වයි. තම නිදහස සහ සතුට වෙනුවෙන් ද විනෝදාංශ සඳහා ද කාලය වෙන්කර ගැනීමට අමතක නොකරයි. පෞරුෂ අංක 5 හිමි ඔබ පිරිමියෙක් නම් බොහෝ විට ශක්තිමත් කඩවසම් සිරුරකට හිමිකම් කියන අතර කාන්තාවක් නම් ප්‍රියමනාප සුන්දර රූප විලාසයකට හිමිකම් කියයි.
පෞරුෂ අංක 5 හිමි ඔබ කාන්තාවක් වුවත් පිරිමියෙක් වුවත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඔබේ සිතේ වැඩි නැඹුරුතාවක් ඇතිකළ හැකි අතර තම සිතුවිලි තුළ ස්වයං පාලනයක් හා ශික්ෂණයක් ඇති කර ගැනීමට නිරන්තරයෙන් මතක තබා ගත යුතුය. තරමක් ආක්‍රමණශීලී සැඩ පරුෂ ගති ලක්ෂණ ද ඔබ තුළින් ඉස්මතු විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම හොඳය. පිටතින් බලන අයෙකුට තද මුරණ්ඩු ගති ඇති අයෙකුසේ ඔබ පෙනුණ ද ඔබ ඇතුළතින් කුඩා ළමයෙකු මෙන් මෘදු මොළොක් ගති ලක්ෂණ ඇති සංවේදී චරිතයක් වෙයි.
සමහර විට ඔබ තුළ පවතින ඉක්මන්කාරී කලබලකාරී ගතිය සහ ඉක්මන් තීරණ ගෙන ක්‍රියාත්මක වීමේ ගතිය ඔබේ සාර්ථකත්වයට බාධාවක් වීමටද පුළුවන. නමුත් එසේ වන්නේ කලාතුරකින් කෙනෙකුට වෙයි. ඔබ කතාවට ඉතා දක්ෂ පුද්ගලයෙක් වෙයි. කතාව තුළින් අන් අයගේ අවධානය තමා වෙත දිනා ගැනීමේ හැකියාව පවතී. වෙළෙඳ ව්‍යාපාරවලින් සාර්ථකත්වයට පත්වීමේ හැකියාව ද ඔබට පවතින අතර වෙළෙඳ ප්රචාරක කටයුතු සඳහා ද දක්ෂ භාවය පවතී.
ඔබ තුළ පවතින අලුත් නිර්මාණාත්මක දක්ෂතාවන්ට අන් අය ප්‍රිය කරයි. සෑම දෙයක් කෙරෙහිම පැතිරුණු අවබෝධයෙන් සහ දැනුමකින් යුතුව කටයුතු කිරීම තුළින් ඔබට සාර්ථකත්වය සඳහා වේගයෙන් පිය මැනීමෙ හැකියාව උදාකර ගත හැකිය.
පෞරුෂ අංක 6 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක