2023 වසරේ අග යෙදෙන සිද්ධි, අමෘත යෝග දෙකක් සහිත දිනයක් දෙසැම්බර් මස 08 වැනි සිකුරාදා දිනට යෙදී ඇත. දවසේ අලුයම් කාලය වන පෙ.ව. 05.08 සිට 08.53 දක්වා සුබ නැකත බලපවත්වන කාලය වේ. ඒ වෙලාවේ උදාව පවතින සඳුට අයත් හත නැකත සිකුරාදා දිනය හා සැසඳෙන විට අමෘත යෝගයක් වන අතර 11 වන තිථිය සිද්ධි යෝගය නිර්මාණය කරයි. මෙවන් අවස්ථා විරලය. වසරකට පවතින්නේ දින කීපයකි. දිනය නැකත තිථිය යන කරුණු අනුව මෙන්ම ආනන්දාදී අටවිසි මහ යෝග චක්‍රය අනුව ද අමෘත යෝගය යනුවෙන් හඳුන්වා ඇත. අප එදිනෙදා ජීවිතයේ සිදු කරනු ලබන සියලු සුබ කටයුතු සඳහා මේ නැකැත් අවස්ථාව යොදා ගැනීමට පුළුවන.
වැව්, ළිං, පොකුණු ආදිය කැපීමට ගොවිතැන් කටයුතුවලට වෙළෙඳාමට, වාහන, ගේදොර ඉඩකඩම් මිලදී ගැනීමට මෙන්ම ගෘහස්ථ සියලු දේට දරුවන්ගේ කන් විදීම, හිසකෙස් කැපීම, අකුරු කියවීම ආදියට තරග විභාග, නඩුහබවලින් ජය ගැනීමට, ගිවිසුම් අත්සන් කිරීමට, විහාරස්ථානවල කටයුතුවලට මෙන්ම අමතර පන්ති පැවැත්වීම, කලා කටයුතු, පොත් ලිවීම ආරම්භයට යන සියලු කරුණුවලින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට මෙවන් සුබ මුහුර්තයක් යොදා ගැනීමේ හැකියාව පවතී.
එම වෙලාව තුළ රාහු කාලය නොයෙදෙන අතර කෝණ මාස ද නොපෙන්වයි. එදින සුබ දිශාව දකුණු දිශාවයි. ගිනිකොන දිශාවට බර නොවී හරියටම දකුණ යොදා ගන්න. එසේ නොහැකි කෙනකුට ඊසාන දිශාවට වුවද මුහුණ ලා සිදු කළ හැකිය. ඔබට අතපසු වූ හෝ ඔබ මෙතෙක් ආරම්භ කරන්නට සිතා සිටින යම් දෙයක් වේද නොබියව එදිනට ආරම්භ කරන්න. ඔබ උපන් නැකතට සීහේදැයි බැලීම අවශ්‍යය. අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, අද, මා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලින් ඔබ ඉපදී තිබේ නම් කාර්යය ඉෂ්ට සිද්ධ වනු ඇත.
ඔබ කුමන කටයුත්තක් ආරම්භ කළද ඒ ආරම්භයේදී කළ යුතු වත්පිළිවෙත්වලට ද මුල් තැනක් දිය යුතුය. එදින ඔබ අඳින ඇඳුම පවා එම දවසට ගැළපෙන පාටක් වේ නම් සාර්ථකත්වය ගෙන දෙයි. ඔබ බුදුන් වෙනුවෙන් පූජා කරන මල් වුවද විවිධ වර්ණයෙන් සුවඳින් විය යුතුය. සඳුගේ නැකතක් බැවින් සුදු මල් වැඩිපුර ගන්න. නැකැත් අධිපති අනුව ඔබට පත්තිනි දේවියට බාරයක් වීමට ද හැකියාව ඇත. පළමුව පන්සිල් ගෙන සියලු දෙවියනට පින් දී ජය පිරිත ඇසෙන්නට සලස්වමින් නැකැත් වේලාවට කාර්යය ඉටු කරගන්න. මස් මාංස අනුභවයෙන් තොර වීම, කළු ඇඳුම් නොඇඳීම තුළින් සුබපල වැඩිකර ගත හැකිය. සිකුරාදා දිනය තුළ සුවඳ වර්ග දුම් ඇල්ලීම ද වාසනාව ගෙන දෙන කටයුත්තකි. මෙදිනට බුලත් දඬු, කෙසෙල් පැළයක්, පොල් පැළයක්, පලතුරු පැළයක් සිටුවන්න. එය 2023 වසර ගෙවෙන විට නව වසරට ආශර්වාදයක් වනු ඇත. එසේ නොමැති නම් ඔබගේ යහපත් ප්‍රාර්ථනාවක් සිතෙහි තබාගෙන මේ වේලාවට බෝධි පූජාවක් තබා සත්‍ය ක්‍රියාවක් කරන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ