ඇතැම් කාලවලදී අපට මුහුණපාන්නට සිදුවන දුක් කරදර, ගැහැට අපේ කර්මයට අනුව සිදුවිය හැකිය. එම කාලවලදී දක්ෂ ජ්‍යොතිෂවේදියකු ලවා අපේ ජන්ම පත්‍රය ඉතා හොඳින් පරීක්ෂා කර එම කාලයේදී අපට මුහුණදීමට සිදුවන ගැටලු, රෝගාබාධ සහ කරදර ගැන ඉතා නිවැරැදිව සොයාගත හැකිය. ඊට පිළියම් ලෙස සිදු කරන වත්පිළිවෙත්වලින් සහනයක්ද ලබාගත හැකිය.
මෙලොව බිහි වන අයකුගේ භාව දොළොසෙන් පලාපල කතනයේදී අදාළ ජන්මියාට අපල, ඒරාෂ්ටක, දුක් කරදර කම්කටොලු සහ දරුණු රෝගාබාධවලින් ගලවා ගැනිමට හැකි බව පෙන්වා දීමට හැකිය. ‘දිව්‍ය ඖෂධයක්’ වන් මේ වත්පිළිවෙත් අත්දුටු සත්‍ය ප්‍රතිඵල ගෙනෙන විසඳුම් මාර්ගයක් බව අනිවාර්යයෙන් පැවසිය යුතුමය. ඔබ බෞද්ධයෙක්නම් උතුම් තුනුරුවන් නැමදීම, සත්පුරුෂ ඇසුර සහ ධර්ම ශ්‍රවණය, ගුරු බවතුන්ට, මවුපියන්ට සැලකීම, යන්ත්රමන්ත්ර සහ ස්තෝත්ර කිරීම, මෛත්‍රී සහ ආනාපාන සතිය වැඩීම, දන් දීම, සෙත් කවි භාවිතය, පිරිත් සූත්‍ර නිතර භාවිත කිරීම සහ ඒ සමඟම බැඳුණු විශේෂිත ක්‍රියාමාර්ග ඔබේ දුක්කම්කටොලු දිනන මාර්ග අතර ඇති බව කිව යුතුමය. බෝසතුන්ට බෝධි වෘක්ෂය, බුදුන් වහන්සේ ස්පර්ශ කළ වෘක්ෂයයි. එය කෙතරම් අනුහස් ද ප්‍රබල ද යන්න ඔබටම අවබෝධකර ගත හැකිය.
පුරපස උතුම් පෝ දිනෙක හිරු නැඟෙන්නට පෙර මේ අෂ්ටඵල බෝධි වන්දනාවෙන් නෙළාගත හැකි මහත්ඵල මහානිසංස බොහෝය.
ඔබේ ජීවිතයට එන කරදර දුක්කම්කටොලු, බාධක හිරිහැර රෝග පීඩා වළක්වා ගැනීම සඳහා උතුම් අෂ්ටඵල බෝධීන් අතුරෙන් ප්‍රධාන වන අති උතුම් බෝධීන් වහන්සේලා 7නමකට තම අභිමතාර්ථ කියමින් ඒ වෙනුවෙන් සුවිශේෂි ලෙස ඔබට බාර-හාර විය හැකිය. ඉන් ඔබට සහනයක් සැනසිල්ලක් සේම සිතු පැතූ සියල්ල ලැබෙනවාමය. එය සත්‍යයි – අත්දුටුවයි.
මහා බලගතු හාස්කම් මේ පූජා භූමි තුළ අනිවාර්යයෙන් ඇත. මේ පූජා තැබීමට පෙර ළඟම ඇති විහාර භූමියට ගොස් පිච්ච මල් දෝතක් බුදුන්ට පුදා හොඳින් වැඳ පුදාගෙන සිතේ ඇති කාරණය සිතා ඔබ සිතූ දේ අනිවාර්යයෙන් සිදුවීමට ශක්තිය, ධෛර්යය ලබා දෙන්න. පහත සඳහන්ව ඇති අයුරින් තමා කැමැති අෂ්ටඵල බෝධීන් වහන්සේ වෙනුවෙන් සුවිශේෂ ගෞරවනීය පූජාවක් තබා වැඳ නමස්කාර කරන බවට එහිදී පොරොන්දු වෙන්න.
1. උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පිච්ච මල් දහසක වට්ටිය සහිත සිදු කරන උත්තමනීය පූජාව:
පුන් පෝය දිනෙක පාන්දර සුවඳ දුම් අල්ලා සුපිරිසිදු සුවඳ පැනින් උත්තමනීය අෂ්ටඵල බෝධීන් වහන්සේ දෝවනය කර පිච්ච මල් දාහක වට්ටිය දෝතින්ම පූජා කරන්න. ඔබ පිරිමි අයෙකු නම් කෙලෙස හෝ පහසුකම් සලසා ගෙන උතුම් බෝධීන් වහන්සේ මත නළලත තබා පිහිට ඉල්ලන්න. වඩාත් ප්‍රතිඵල ගෙන දේ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අධිගෘහිතව වැඩ වසන කළු බණ්ඩාර ඇතුළු දේව මණ්ඩලවලට පින් දී පිහිට ඉල්ලන්න. මේ උතුම් පින්කමේ ප්‍රතිඵලය මහත්ඵල මහානිසංස වේ.
2. කැලණිය උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේට අති දුර්ලභ කිරි ආහාර පූජාවක්:
එය තනා ගන්නා ආකාරය මෙසේය. පිරිසිදු අලුත් සහල් ගෙන බත ඉදෙන ප්‍රමාණයට තැඹිලි වතුර යොදා වතුර සිඳී ගෙන එද්දී කජු මද, රට ඉඳි, එනසාල්, කරාබු නැටි, කුරුඳු, ලියා ගත් කිතුල් හකුරු හොඳින් මිශ්‍ර කර මෙම කැකුළු බතට උකු පොල් කිරි කෝප්ප 02ක් එකතු කරන්න. මේ පිස ගත් සුවිශේෂ කිරිබත කුඩා මැටි පාත්තර 07කට කොතක් ලෙස සකසා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව පැත්තෙන් පූජා කරන්න. මේ කිරිපිඬු සමඟ පිච්ච මල්, පැන් කළයක්, පඬුරු පූජාවට යොදා ගන්න.
පුන් පොහොය දිනෙක පාන්දර යොදා ගැනීම වඩාත් සුදුසු වේ. රත්නමාලී ගාථා 07 වරක් උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේට හඬ නඟා කියමින් අවශ්‍ය කාරණය සිතින් ඉල්ලන්න.
3. අලුත්ගම කන්දේ විහාරය භූමියේ ඇති උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේ සුවඳ පැනින් නහවා කේන්දරයට අනුව දශාවට අවැසි මල් වට්ටි 7ක් පූජා කරන්න. අනතුරුව අභිසම්භිධාන පිරිත කියා ගිලන්පස බෙහෙත් ඇතුළු අනෙකුත් දේ පූජා කරන්න. මෙම උතුම් අෂ්ටඵල බෝධියේ ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරව අසලට ගොස් තම හිස බෝධීන් වහන්සේ මත තබා අපල දුරුකර ගත හැකිය. මේ පින් බිමේ වැඩ වසන විෂ්ණු දෙවියන් ඇතුළු දේව මණ්ඩලවලට පින් දී පිහිට ඉල්ලන්න. පුරපස දිනෙක මේ පින්කම කළහොත් ප්‍රතිඵල ගෙන දේ.
4. බෙල්ලන්විල උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේට පුර පසළොස්වක පෝ දිනෙක කිරි ආහාර සහිතව අටපිරිකර පූජා කිරීම:
මෙය මහත්ඵල මහානිසංස පුණ්‍යකර්මයකි. මේ පින්කම සිදුකොට අවසන අධිගෘහිත දේව මණ්ඩලවලට පින් දී පිහිට ඉල්ලන්න.
5. උතුම් ශ්‍රී දළදා මාළිගාව භූමියේ පිහිටි වැල් බෝධීන් වහන්සේට පිච්ච මල් මාලයක්, සුවඳ පැන් කළ 07කින් දෝවනය:
අති උතුම් දළදා වහන්සේට සල් මල් පූජා කොට භූමියට සුවඳ දුම් අල්ලා පුරපස දිනෙක පහන් පත්තු කිරීමෙන් අනතුරුව පූජාව තබා අධිගෘහිත දෙවියන්ට පින් දී පිහිට ඉල්ලන්න.
6. කළුතර උතුම් බෝධීන් වහන්සේට සුවඳ දුම් අල්ලා සුවඳ පැනින් දෝවනය කොට සුදු වැලි ඉස සිදුකරන පූජාව:
මෙයද පුර පොහොය දිනෙක පාන්දර හිරු නැඟෙන්නට පෙර කිරි ආහාර සහිත ගිලන්පස පූජා කරන්න. අධිගෘහිත දේවතාවුන්ට පින් දී පිහිට ඉල්ලන්න.
7. කතරගම පින්බිමේ මහා දේවාලය පිටුපස ඇති අෂ්ටඵල බෝධීන් වහන්සේට සුවඳ පැනින් දෝවනය කිරීම:
පුරපස දිනෙක මෙම බිමේදීම අලුත් සහලින් සැකසු කිරි ආහාර උතුම් මේ බෝධීන් වහන්සේටත් කිරි වෙහෙර වහන්සේටත් පූජා කරන්න. සුදු නෙළුම් මල් ද යොදා ගන්න.
මහත්ඵල මහානිසංශ විස්මිත ප්‍රතිඵල ලැබෙන රහස් සහිත මේ පූජා ඉතා භක්තියෙන් සුපිරිසිදු ලෙස සිදු කරන්න. කතරගම දෙවිඳුගේ සහ වැඩවසන සියලුම දෙවියන්ගේ නමින් පින් අනුමෝදන් කොට පිහිට ඉල්ලන්න.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී ගීතාංගනී ගුණසේකර