ගණ දෙවියන් එසේත් නැතිනම් ‘පුල්ලේයාර් අත්තප්පා’ වශයෙන් ලංකාවාසී ජනයා හඳුන්වන දෙවියන් පිළිබඳව අපේ රටේ බැතිමතුන්ගේ ඇත්තේ අපරිමිත විශ්වාසයකි. මීට දසක කීපයකට පෙර නුවර කලාවිය උතුරු පළාත වැනි ප්‍රදේශවල ජනයාට සීමා වී උන්වහන්සේගේ පිහිට ආධාරය උපකාරය ලැබූ ජනකොටස් අතරින් වර්තමානය වන විට ශ්‍රී ලංකා ධරණිතලය පුරාම උන්වහන්සේගේ කීර්ති ධාරාව විසිර පැතිර ඇති බව දක්නට ලැබෙන කාරණාවකි. සාමාන්‍යයෙන් කතරගම, සූනියම්, භද්‍රකාලි, අයියනායක, දැඩිමුණ්ඩ වැනි දෙවිවරු මෙන්ම උන්වහන්සේලා පොළෝවාසී දෙවි කෙනෙකි.
පොළෝවාසී සෙසු දෙවිවරුන්ට වඩා ඉතා ඉක්මනින්ම ගණ දෙවියන්ගේ පිහිට ආධාරය ලබාගත හැකි බව මාගේ දශක තුනක පමණ අත්දැකීමයි. කල් නොගොස් එවලේම උන්වහන්සේගේ පිහිට ලැබිය හැකිය. එය සත්‍යයකි. එමෙන්ම සරල ක්‍රමවේද උන්වහන්සේ ඇදහීම සඳහා භාවිත කළ හැකිය. ලෞකික සමාජයේ ජීවත්වන අපට අපේ එදිනෙදා වැඩ කටයුතු සිදුකර ගැනීමේදී නොයෙක් ගැටලු ප්‍රශ්න පැන නඟින බව සාමාන්‍ය දෙයකි. ඒ අතර වර්තමානය වන විට ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ මූල්‍ය සහ ආර්ථික රැකී රක්ෂා ගැටලු මෙන්ම දරුවන්ගේ නොමඟ යෑම, ඇබ්බැහි වීම ආදී කරුණු ප්‍රධාන කොට සැලකිය හැකිය. මෙහි සඳහන් කළ කරුණුවලට අමතරව උත්තර සපයා ගත යුතු තවත් කරුණු කාරණා බොහෝය. මේ හැම ප්‍රශ්නයකට ගැටලුවකටම ගණ දෙවියන්ගේ පිහිට ආධාරය ලබාගත හැකි බව සත්‍යකොට මාගේ ඇත්දැකීමයි.
උන්වහන්සේගේ ආගමනය සහ විකාශනය පිළිබඳව ජනප්‍රවාද රාශියකි. ඒ සියල්ල මෙහිදී විග්රහ කරනවාට වඩා උන්වහන්සේගේ සත්‍ය ප්‍රබලත්වය සහ පිහිට ආශීර්වාදය ලබාගන්නේ කෙසේද යන්න කරුණු ඉදිරිපත් කිරීම වැදගත් යැයි සිතමි. උන්වහන්සේගේ අසිරිමත් ගුණය සහ පිහිට ලබාගන්නේ කෙසේද යන්න පුරා වසර 30 ක අත්දැකීම් පදනම්කොට හොරොව්පොතාන ගණදෙවි දෙවොලෙන් ලත් අත්දැකීම් මත සත්‍ය කරුණු ඉසිවර පාඨක ඔබගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ගණ දෙවියන් මහා බලයක් ඇති ‘පොළෝකාමී’ දෙවි කෙනෙකි. හැමවිටම උන්වහන්සේ ක්‍රියා කරනු ලබන්නේ ඉතා අහිංසක ලෙසය. නිතරම බැතිමතුන්ගේ ප්‍රශ්න ගැටලු සඳහා උත්තර සපයා දීමට කටයුතු කරන බව පෙනී යයි. අත්දැකීම් සහිත කල් නොයා එවලේම උන්වහන්සේගේ පිහිට ලැබිය හැකිය. බැතිමතුන්ගෙන් වන අතපසු වීම්, වැරදි ආදිය උන්වහන්සේ එතරම්ම ගණන් ගන්නා බවක් නොපෙන්වයි. ඊට අමතරව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයටද උන්වහන්සේ මූලික වෙයි. යම් ශාන්තිකර්මයක්, ගුරුකමක් ආරම්භයේදී ගණදෙවි පිදීම සම්ප්‍රදායක්ව පවතියි. දළ මුර කිරි ඉතිරි වීම ආදී දේව සංකල්ප සහ විකාශනයන් තුළ සත්‍යවාදීව පෙරගමන්කරු වන්නේ ගණදෙවියන් බව සඳහන් කළ යුතුමය. එමෙන්ම ගණ දෙවියන් සෙසු දෙවිවරුන්ගේ රූපකායට වඩා අතිශයින්ම වෙනස්ය. ඕනෑම කුඩා දරුවකුට වුවද උන්වහන්සේගේ රූපකාය ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකිය. උන්වහන්සේගේ හිස ඇත් රුවකි. එයට ජනප්‍රවාද බොහෝය. නමුත් මෙහි නිරූපණය වන කරුණක් ඇත. එය නම් උන්වහන්සේගේ ශක්තිය ගැනයි. උන්වහන්සේගේ උදරය කළයක් වැනිය. ඉන් ගම්‍ය වන්නේ සශ්‍රීකභාවය, ලැබීම සහ ලබාදීමේ හැකියාවයි. රන් පැහැති මිටි ශරීරයෙහි හිස ඔටුන්නද මල්මාලාද පැලඳ සිටී මීයා වාහනය කොට ඇත. එයින් ගම්‍ය වන්නේ ඉතා සූක්ෂම භාවයයි. හොටෙනි රසකැවිලි බඳුනක් ඇත. බුද්ධිය, නුවණ, පාරිශුද්ධත්වය, ජීවන ශක්තිය, මිහිර, උපක්‍රමශීලීභාවය පෙන්නුම් කරයි. දළ දත් දෙකක් ඇත. එයින් දකුණු දළය කැඩී ඇත. අත් සතක් සහිතව හක් ගෙඩියක් ද ඇත. බොහෝ ඉතිහාසගත කපු මහතුන්ගේ මෙන්ම මාගේ අත්දැකීමද උන්වහන්සේ පරිවාරකයන් ලෙස කළු දේවතා බණ්ඩාර (ජය ශ්‍රී මහා බෝධියට අරක්ගත් දෙවියෙක්) කළුකම්බිලි සහ කඩවර යන දෙවිවරුය.
උන්වහන්සේ කිසිවිටකවත් තරහා ගන්නේ නැති ඉතා සාමකාමී දෙවි කෙනෙකි. ඉතාම සතුටින් සහ සැහැල්ලුවෙන් සිටි. උන්වහන්සේගේ දේව විමානය නම් ‘හේම කූටය’ නම් ගිරි ශිඛරයයි. ඔබගේ සාමාන්‍ය අවබෝධය සඳහා ඉහත විස්තර ප්‍රමාණවත් යැයි සිතමි. උන්වහන්සේගේ පිහිට ආධාරය නොඅඩුව ලබා ගන්නේ කෙසේද යන්න මෙම ලිපි පෙළින් ඉදිරියේදී සතියෙන් සතිය ඉදිරිපත් කරමි.
එදිනෙදා ජීවිතයේදී පැන නඟින ගැටලු ප්රශ්නවලදී සමහර විට පෙනෙන ලෝකයෙන් උත්තර සපයා ගැනීමට නොහැකි වන අවස්ථාවලදී අපිට නොපෙනෙන ලෝකයේ පිහිට ආධාරය ප්‍රාර්ථනා කිරීමට සිදු වේ. ඉතින් එවැනි අවස්ථාවල ඇත්තෙන්ම සත්‍ය වශයෙන්ම ඉතාම පැහැදිලි වශයෙන් උන්වහන්සේගේ පිහිට ලබාගත හැකි බව මට සනාථ කළ හැකිය. ඉතාම සරල ලෙස උන්වහන්සේගේ බැතිමතකු වන්නට හුරු වන ඔබ ඔබගේ ජීවිතය වෙනස්කර ජයග්‍රහණය දක්වාම ගෙන යෑමට උන්වහන්සේ ඔබට උපකාර කරනු ඇත.
සාමාන්‍යයෙන් ඔබට උන්වහන්සේගේ ප්‍රතිමාවක් තිබීම ඉතාම වැදගත්ය. එම ප්‍රතිමාව කළු ගලෙන් නෙළන ලද එකක් නම් වඩාත් වැදගත්ය. එයට හේතුව කළු ගලට කිලි නොවදින නිසාය. නමුත් උන්වහන්සේ එතරම්ම කිලි කුණු ගණන් ගැනීමක් නොමැති බව පිළිගැනීමයි. පිළිමය බල ගන්නවා ගන්නේ නම් ඉතාම වැදගත්ය. පිළිම බලගැන්වීම පිළිබඳව මීට පෙර ඉසිවර පුවත්පතේ පළ වී ඇත. නමුත් ඉදිරියට ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
උන්වහන්සේට මල් පහන් යහන් තැබීම නිවෙස් ඇතුළේ සිදු කිරීම ප්‍රතිඵල ප්‍රමාදයට කරුණකි. උන්වහන්සේගෙන් අගුණයක් වීමට එය කිසිසේත්ම හේතුවක් නොවේ. ඒ නිසාම ඔබට පහසු ක්‍රමයක් සකසා ගන්න. වඩාත් පලදායී ක්‍රමවේදය මා මෙහි සඳහන් කරමි.
සාමාන්‍යයෙන් උන්වහන්සේගේ ප්‍රතිමාවක් කිරි ගසක් යට හෝ වෙනත් ඕනෑම ගසක් යට නිවසේ සිට ඊශාන දිශාවට මහපොළවට ස්පර්ශ වන පරිදි තබන්න. පසුව ඒ වටා අමු කහ හෝ වී ඇසිරීම හොඳයි. වීවල මහා බලගතු විශ්ව ආකර්ෂණීය බලයක් ඇත. එමෙන්ම අමු කහ ද කිලි කුණු නැසිය හැකි ඖෂධයකි. පසුව ඒ ඉදිරිපස බුලත් කොළයක් මත මැටි පහනක් තබා එලඟිතෙල් වත්කර දල්වා සුවඳ දුම් දී අමුකහ කෑල්ලක් ගලගා බුලතකට ගෙන එයද තබා කහ මල්, රතු මල්, ඇඹුල් කෙසෙල් පත්‍රයක් මත තබා පහත ස්තෝත්‍රය 21 වර දිනපතා කියවන්න.
ඕං නමෝ ශිවාය
ගෞරි ප්‍රිය පුත්රං ගණේශ්වරාණන්
ශුද්ධ සිද්ධි ඉෂ්ට විශිෂ්ට අමෘත
නයානාමෘත පේක්ෂ ප්රවිශ්ඨන්තු
විමාන සංහාරතෝ මලිත මලිත
දිෂ්ටි දිෂ්ටි නමඃ
ඉහත මෙම ශ්ලෝකය අඛණ්ඩව සඳහන් කළ ආකාරයට මල් පහන් තබා උදේ සවස ගණ දෙවි පිළිමය ඉදිරිපිට කියන්න. ඔබට උන්වහන්සේගේ ආකර්ෂණය ක්‍රමානුකූලව ලැබෙනු ඇත. ඔබගේ ගැටලු ප්‍රශ්නද මෙහිදී සිහිපත් කර ආරක්ෂාව සහ විසඳුම් ඉල්ලා සිටින්න. ඔබ උන්වහන්සේගේ ආධුනික බැතිමතකු නම් සතියක් තුළද ඔබ උන්වහන්සේගේ යාවජීව බැතිමතකු නම් එදිනමද ඔබට විසඳුම් ලැබෙනු ඇත.
ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ