තත්පර කිහිපයක් නොව තවත් තත්පර කිහිපයක් එක එල්ලේ නිසොල්මනේ බලා සිටින ඔහුගේ දෑස් වචන සියයකින් කිව නොහැකි හැඟීම් සමුදායක් කැමරාව ඉදිරියේ කියාපාන්නේය. පෙනෙන නොපෙනෙන තරමට චලනය වන කම්මුල්, නිකට, දෙතොල්, රැළි දිගහැරෙන හැකිලෙන නළල් තලය තවත් කතා සමුදායක් නිහඬව දිගහරින්නේ ය. ඔහු ලද දෙස් විදෙස් ගරු සම්මාන ඇගයුම් සියල්ල ඒ රංග ප්රතිභාවේ අපූර්වත්වය ප්‍රතියමාන කරනු ඇත. වසර දහයකට වැඩි කාලයක් ගිලන්ව තැබූ ඒ රංග ප්‍රතිභාව ටෙලි සහ සිනමා සිත්තම්වල මතක සටහන් කර තබා දෙසැම්බර් 04 වැනිදා සදහටම ඔහු දෑස් පියා ගත්තේ ය. කලා කීර්ති, කලා භූෂණ, දේශනේත්‍ර , ශාස්ත්‍රපති සුමින්ද සිරිසේන නම් ඒ අසහාය සම්මානනීය රංග ශිල්පියා 2012 වසරේ සිට අසනීප තත්ත්වයෙන් පසු වූ අතර, අවසන පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූයේය.
වේදිකා රංගනය වෙනුවෙන් සහාය හොඳ ම නළුවා සම්මාන ද්විත්වයක් සහ රෝමය ගිනි ගනී නාට්‍ය රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ද ටෙලිනාට්‍ය රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස සුමති සම්මාන දෙකක් සමඟ 1999 නිසල විල ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සුමති ටෙලි සම්මානය ද හොඳම සහාය නළුවා ලෙස දෙවතාවක් සහ හොඳම නළුවා ලෙස පස්වතාවක් සිග්නීස් සම්මාන ද හොඳම නළුවා ලෙස රයිගම් සම්මාන ද දිනා ඇති මේ භාවපූර්ණ රංගධරයා තවත් ඇගයුම් සම්මාන රැසක් ද හිමිකරගෙන ඇත.
වර්ෂ 1948 ජූලි මස 04 වැනිදා කෑගල්ල බොස්සැල්ල නම් වූ ඈත පිටිසර ගම්මානයේ බුලත්ගමුව සිරිසේන සහ පුංචි නෝනා යුවළට දාව කුළුඳුලේ මෙලොව එළිය දුටු සුමින්ද සිරිසේන පුස්සැල්ලාව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1963දී ශිෂ්‍යත්වය ලැබ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූයේය. එහිදී ප්‍රවීණ කලාකරුවන් වන ආරියවංශ රණවීර, ජයසුමන දිසානායක, දයා අල්විස් හා විජයරත්න අතුරුපාන යන අය යටතේ කලා නිර්මාණ හා වේදිකා නාට්‍ය රංගන පුහුණුව ලබන්නට සුමින්ද සිරිසේන භාග්‍යවන්ත විය. පාසල් නාට්‍ය උෙලළේ අවසාන වටයට තේරුණු සිය පාසල් නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ ඔහුට කොළඹ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේ ධම්ම ජාගොඩ විසින් ආරම්භ කරන ලද රංග ශිල්ප ශාලිකාවේ පළමු කණ්ඩායමට බැඳෙන්නට දයා අල්විස්ගේ සහායෙන් වරම් හිමි විය. එම වරමින් ලද පුහුණුව සමඟ‘මුහුදු පුත්තු‘ වේදිකා නාට්‍යයේ ‘දියෝනිස්‘ චරිතයට පණ පොවමින් ප්‍රසිද්ධ වේදිකාවට පිළිපන් ඔහු අන්දරේලා, ආනන්ද ජවනිකා, තක්සලා නාඩගම, විනිශ්චය, වෙස් මුහුණු වැනි වේදිකා නාට්‍ය රැසකට රංගන දායකත්වය ලබා දුන්නේ ය.
පාසල් අධ්‍යාපනය නිම කර කොළඹට සංක්‍රමණය වී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පුහුණුකරුවකු ලෙස 1969 දී බැඳී කටයුතු කරමින් සිටියදී 1970දී විශේෂ පුහුණුවකට ඕමානය බලා යාමට අවස්ථාව ලද සුමින්ද සිරිසේන දෙවසරක ඇවෑමෙන් යළි මෙරටට පැමිණ තාක්ෂණ නිලධාරියකු ලෙස වික්ටෝරියා වේල්ල ව්‍යාපෘතියට එක් වූයේ ය. 1971 වසරේදී වාමාංශික දේශපාලනයට ද එක් වූ සුමින්ද සිරිසේනගේ සිනමාගමනය සිදු වන්නේ 1976 දී ‘දුහුලු මලක්‘ චිත්‍රපටයේ උපාලිගේ චරිතය රඟපෑමෙනි. ඉන් පසුව සප්ත කන්‍යා, යකඩ පිහාටු, උප්පලවන්නා, සමනල තටු, ඉර හඳ වැනි චිත්‍රපටවල ඔහු රඟපෑ භූමිකාවන් ඇගයුමට පාත්‍ර විය. 1979 සිට 1984 දක්වා වසර පහක කාලයක් විදේශගත ව සිටි ඔහු තිලක් ගුණවර්ධනගේ නාට්‍යවලට සම්බන්ධ වන්නේ 1984දීය.
මියුරි සමරසිංහගේ ‘සපතේරු හාමිනේ‘, සෝමරත්න දිසානායකගේ ‘මීපුර වැසියෝ‘ නාට්‍යවල රඟපාමින් සිට සිය අධ්‍යයන කටයුතු අවසන් කර 1993දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ‘, ‘සිංහබාහු‘, ‘බවකඩතුරාව‘, ‘මහාසාර‘, ‘කදා වළලු‘ යන නාට්‍යවලට සම්බන්ධ වූයේය. එය ඔහුට රංග පාසලක්ම විය. එයින් ලද පන්නරය හා ඉගෙනුම් ද විවිධ වේදිකා නාට්‍ය‘වල රඟපෑමෙන් දිනූ කුසලතා ද සහිතව සුමින්ද සිරිසේන “සිවුරඟ“ නමින් ඔහුගේම රංගන පාසලක් ආරම්භ කර පවත්වාගෙන ගිය අතර ටවර්හෝල් රඟහලේ නාට්‍ය පුහුණුකරුවකු ලෙස ද කටයුතු කළේය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය නිෂ්පාදනයක් වූ ‘සිහින නිම්නය‘ ටෙලි නාට්‍යයෙන් ටෙලි රංගනයට 1985 දී අවතීරණ වූ ඔහු දෙවනුව ‘කුමාරිහාමි‘ ටෙලි නාට්‍යයේ හිච්චි මහත්තයාගේ චරිතයට රංගන දායකත්වය ලබාදීමෙන් ජනප්‍රියත්වයට පත් විය. අබුද්දස්ස කාලය, අසනි වැසි, බෝගල සවුන්දිරිස්, බොරලු පාර, චන්ද් වින්සති, එකමත් එක රටක, නිසල විල, සඳ අමාවකයි, යස ඉසුරු ආදි වශයෙන් ටෙලි නාට්‍ය හතළිහක පමණ රඟපෑ ඔහු චරිත තුනක් ටෙලි නාට්‍යයේ ඉසාගේ චරිතය රඟපෑමෙන් අතිශය ජනාදරයට ද පත් විය.
සම් මස් ලේ නහර මතු නොව ඇටමිදුළු දක්වා විහිදුණු රංග ප්‍රතිභාවක් ඇති නමුත් ඔහු සමාජය, මිනිස් වර්ගයා පිළිබඳ තව තවත් ගැඹුරට හදාරන්නට වූයේ ඉගෙනීමෙහි වූ නොතිත් ආසාව ඉක්මවූ රංග කුසලතාව ප්‍රභාමත් කිරීමෙහිලා ඔහු තුළ වූ අප්‍රමාණ උද්යෝගය නිසාය. ඒ අනුව සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමෙන් අනතුරු ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඔහු ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නේ ය. ලීලා සමඟ විවාහ වීමෙන් ඔහුට පිය පදවිය හිමි වූයේ ප්‍රභාත් පුතු හා නන්දිතා දියණිය නිසාය. ඒ සියල්ලන් ද හිතමිතුරු සැම මෙන් ම රංග කෞශල්‍යට නොහිම් ආදරයෙන් බැඳුණු සහෘද රසික කැල අතහැර දැනටමත් ඔහු යන්න ගොසිනි. ඔහුගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබූ අතර අවසන් කටයුතු ඉකුත් (07) වැනි බ්‍රහස්පතින්දා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකෙරිණි. මිහිපිට උපන් යම් කෙනෙක් වේ නම් මිහිමත නිසලව නිහඬ වන නමුත් ඔහු අපට උරුම කළ රංග ප්රාතිහාර්ය මතු පරපුරට ගුරු ලෙසින් සදා රැඳෙනු ඇත. ආදරණීය කලාකරුවාණෙනි, ඔබට නිවන්සුව ලැබේවා.
තුෂාරී කළුබෝවිල