චානු දිසානායක අපිට මුලින්ම මුණ ගැහෙන්නේ සිරස නාළිකාවේ Pentathlon හි නිවේදිකාව ලෙසින්. පසුව ඇය නිවුස් 1st හි ප්රවෘත්ති නිවේදිකාවක් මෙන්ම විවිධ රූපවාහිනී වැඩසටහන් ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප වූවා. ඇයගේ රංගනය මුලින්ම දකින්න ලැබුණේ චන්න දේශප්‍රිය මහතා අධ්‍යක්ෂණය කළ යූ- ටර්න් හරහා. චානු මේ වෙද්දී නිදහස් මාධ්‍යවේදිනියක සහ රංගන ශිල්පිනියක ලෙසින් වෙනස්ම ගමනක් යමින් ඉන්නවා. ඒ අතරතුර ඇය වේදිකාවේ රඟපෑ පළමු වේදිකා නාට්‍යය තුළින්ම 43වෙනි යෞවන සම්මාන රාත්රියේදී දිගු නාට්‍යය අංශයේ විශිෂ්ටම නිළිය ලෙසින් සම්මාන ලැබුවා.
නිවේදන වෘත්තියෙන් ඇවිත් දැන් රංගනය තුළින් වේදිකාවේ විශිෂ්ටතම නිළිය ලෙස සම්මාන ලැබුවා, මොකද හිතුණේ සම්මානය ලබද්දී?
මගේ ජීවිතේ දිහා බැලුවම ලොකු වෙනසක් ඇති කළ මොහොතක්. අවුරුදු අටක් නිවේදිකාවක් විදියට වැඩ කරලා මේ හැරවුම මම ගන්නේ. මම කළ රැකියාවෙන් ඉවත් වෙලා වේදිකා නාට්‍යය කරනවා කියන තැනට මම ආවා. මම පොඩි කාලේ ඉඳන් හරි ආස තැනක් වේදිකාව කියන්නේ. මම හිතුවා දැන් කාලය හරි මගේ ආසාව සහ හීනය ඉෂ්ට කර ගන්න කියලා. මම තරගයක් වෙනුවෙන් නාට්‍යයක් කළේ පළමු වතාවට. ළමා නාට්‍යය උළෙලකටවත් මම නාට්‍යයක් කරලා නැහැ. පළමු නාට්‍යයෙන්ම විශිෂ්ට නිළියට හිම සම්මානය ගන්න ලැබීම ලොකු සතුටක්.
මේ වෙද්දී වැඩිකාලයක් රංගනයට ඉඩ දීලා ද ඉන්නේ?
ඔව්. ඇත්තටම වැඩි කාලයක් රංගනයට කාලය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැනට මම වැඩසටහන් දෙකක් රූපවාහිනියේ කරනවා. ඊට අමතරව ඉවෙන්ට්වල නිවේදිකාවක් විදියට කටයුතු කරනවා. වැඩිකාලයක් ගත වෙන්නේ වේදිකාවේ සහ ටෙලි නාට්‍යය සමඟ තමයි.
රැඩිකල් ප්‍රේමයක් හරහායි චානු සම්මානිත වුණේ, චානු කියන්නෙත් රැඩිකල් කෙල්ලක් ද?
සමහර තැන්වලදී මම රැඩිකල්. හැමවෙලාවෙම අපිට රැඩිකල් වෙන්නත් බැහැනේ. සමහර තැන්වල සම්ප්‍රදායිකයි. බොහෝ තැන්වල මම මගේ ජිවිතේ ගත්ත තීන්දු තීරණ එක්ක බැලුවම රැඩිකල් තීරණ ගත්තේ. මේ චරිතයට මාව දුලාන් තෝරා ගන්නත් ඒක එක හේතුවක් වෙන්නත් ඇති. එකක් ශක්තිමත් දරුණු මේ හැමදෙයක්ම ගැබ් වුණු චරිතයක් මේ රැජිනගේ චරිතය. ඒකට දුලාන් වීරසිංහ කියන අධ්යක්ෂවරයා මාව තෝරා ගැනීම ලොකු සතුටක්.
චානු ජීවිතේ දකින්නේ කොහොමද?
මම ජීවිතේ දකින්නේ අභියෝගාත්මක දෙයක් විදියට. අපි දවස ගානේ විවිධ අභියෝගවලට මුහුණ දෙමින් තමයි මේ ගමන ඉදිරියට යන්නේ. මම විශ්වාස කරන්නේ අපි අපේ ජීවිතේ අරන් යන්න ඕනේ අරමුණක් ඇතුළේ. සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්න එක තිබුණට අපේ ලංකාවේ සමාජයේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක අරමුණක් නැතුව ඔහේ දුවන්න බැහැ. තරුණ සහ ඉස්සරහට එන්න ඉන්න පරපුරට බොහොම කල්පනාකාරීව ජීවිතේට මුහුණ දෙන්න සිද්ධ වෙයි රටේ තියෙන තත්ත්වය එක්ක.
දැන් කොළඹ මේ ගෙන්දගම් පරිසරය එක්ක ගැටුනට චානු කියන්න මාතර ගමේ කෙල්ලෙක්නේ, කොහොමද මේ පරිසර දෙකේ වෙනස දකින්නේ?
ලොකු වෙනසක් තියෙනවා. කොළඹ තනියම ජීවත් වෙනවා කියන එක ලොකු අභියෝගයක්. ඒක කොහෙත්ම ලේසි නැහැ. සම්පූර්ණ වෙනස් සමාජයක් කොළඹ කියන්නේ. අපිට කිසිවෙකුගේ උදව්වක් කිසිවිටෙක බලාපොරොත්තු වෙන්න බැහැ. ප්‍රතිඋපකාරයක් රහිතව උපකාරයක් බලාපරොත්තුවෙන්නත් බැහැ. හැම තිස්සෙම යම් කිසි අවධානමක් ඇතුළේ තමයි කොළඹ ජීවත් වෙන්න වෙන්නේ. ටිකක් හැන්දැ වෙද්දී පයින් තනියම ගියත් කොයි වෙලාවේ හරි මාලේ කඩාගෙන හෝ බැග් එක උස්සගෙන දුවයි කියන බයෙන් ජීවත් වෙන්න වෙන්නේ. කොළඹ නිදහස තියෙනවා වගේම ජීවත් වීමේ අවධානමක් අභියෝගයක් තියෙනවා.
මුහුණු පොතට එක් කරලා තිබ්බා තනිකම හුදකලාව ජීවිතේට තදින්ම දැනෙනවා කියලා…
ඒක නම් ටිකක් අමාරු කතාවක්. මම 2011දී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබලා කොළඹට එන්නේ. එදා ඉඳන් මේ වෙනකම්ම මම මගේ ගමන තනියම ගොඩනඟා ගත්තේ. මගේ අම්මා තාත්තා පිටිපස්සෙන් ඉන්නවා. ඒ වුණාට ඒ අය ගමේ නිසා මාව නිතරම බලා ගන්න වෙන්නේ නැහැ. තදබල ලෙස තනිකම හුදකලාව ජීවිතේට තදින්ම දැනෙන අවස්ථා තියෙනවා. හැමතිස්සෙම කාර්යබහුල වෙන එකත් එක්ක ගොඩක් වෙලාවට මඟ හරින්න උත්සහ කරනවා.
ආදරේ ගැන තියෙන්නේ මොන වගේ අදහසක් ද?
ආදරේ මම දකින්නේ වගකීමක් හැටියට. ආදරේ හරි සැහැල්ලුයි කිව්වට මම එහෙම එකක් ආදරේ තුළ දකින්නේ නැහැ. මේ පවතින සමාජය ඇතුළේ අපි ආදරේ හොයනවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. එක එක් කෙනාගෙන් ඉටුවන යුතුකම් මතයි ආදරේ රඳා පවතින්නේ. හැඟීම් එක්කම තියෙන දෙයක් නෙවෙයි, මේ සමාජය ඇතුළේ මොළෙන් තමයි ආදරේ කරන්න වෙලා තියෙන්නේ.
චානු හැමදාම කලාව තුළ රැඳෙන්න ද බලාපොරොත්තුව
මම පොඩි කාලේ ඉඳන් මම හිතපු හීන හැමදෙයක්ම වගේ මම සැබෑ කරගෙන තියෙන්නේ. කලාවෙන් ඈත් වෙලා කළමනාකාරවරියක් විදියට මම අවුරුදු තුනක කාලයක් වැඩ කළා. ඒ ආයතනික රාමුව ඇතුළේ වැඩ කරන කාලය තුළ මට තේරුණා අට පහ ඇතුළේ රැකියාවක් නෙවෙයි මට ගැළපෙන්නේ කියන එක. දවසක මම කලාවත් එක්කම මැරිලා යයි කියලා තමයි මට හිතෙන්නේ.
අනුෂා රණසිංහ