මෙලොව ජනිත වන ඕනෑම කෙනෙකුට තම උපන් වේලාව අනුව ලග්නයක් හිමි වේ. ජ්‍යොතිර් විද්‍යාවට අනුව මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන එම ලග්න දොළොස වේ. යමකු උපන් මොහොතේ රාශි චක්‍රයට අනුව උදාවන ලග්නයට අනුකූලව ඔබගේ ගතිගුණ දැන ගැනීමට ඔබට දැඩි රුචිකත්වයක් ඇති වනු නිසැකය.
මේෂ – යහපත් දරුවන් ලබන අය
දිනන ලද ඉඳුරන් ඇති රැවටිලි ඇති ඉතා චංචල වූ සිතක් ඇති මේෂ ලග්නයෙන් උපන් තැනැත්තා යහපත් දරුවන් ලබන ශ්‍රියා ඇති අයකු වේ. බොහෝ වචන කතා කරන මේෂ ලග්න හිමියන් සභාවන්හි නායකත්වය ලබන විකල් වූ බැලුම් ඇති නුවණැත්තකු වේ. එමෙන්ම දීමට කැමති ලෝබ නැති වීර්යයෙන් යුතු අය වේ. මොවුන් පියාගෙන් වස්තු ලබන අතර ජලයට හා රාත්‍රි ඇවිදීමට බය අයකු වේ. බොහෝ මේෂ ලග්න හිමියන්ට පිත් අධික ශරීරයක් ඇත.
වෘෂභ – භාර්යාවගෙන් වස්තු ලාභ
වෘෂභ ලග්නයෙන් උපන් ඔබ උස්වූ වටවූ ශරීරයක් ඇති මහත් වූ මුහුණක් ඇති බලවත් අයෙකි. නුවණැති වූ කඳු පර්වත බිම්වල විසීමට කැමති මොවුන් විවිධ ශාස්ත්‍රයෙහි උගත් දක්ෂ එමෙන්ම ධනවත් අයකු වේ. ත්‍යාගවන්ත ගති ඇති වෘෂභ ලග්න හිමියා භාර්යාවගෙන් වස්තු ලබයි. පිටෙහි හා මුහුණෙහි ලප ඇති මොවුන් ජීවිතයේ සැප ලබන අතර කෑම්බීම් වැනි වියදම් ඉතා සතුටු සිතින් කරනු ලබයි. යහපත් මුහුණක් ඇති මොවුන්ට අනුන්ගේ සම්පත් නිතැතින් හිමි වේ. සෙම් අධික ශරීරයක් හිමි මොවුන්ට ස්ත්‍රීන් ප්‍රිය වන අතර ඉතා හිතවත්ව කටයුතු කරයි.
මිථුන – ඇවිදීමට ප්‍රිය ඇත්තෝ
මිථුන ලග්නයෙන් උපන් තැනැත්තා ලස්සන වූ රූපකායකින් හෙබි මහත් වූ ඇස් ඇති ව්‍යක්ත වූ කල්පනාවේ දක්ෂ අයකු වේ. කාමයෙන් පීඩිත වූ මොවුන්ට දරුවන් අධික වන අතර ඇවිදීමට ප්‍රිය කරන්නකු ද වේ. අස්ථිර ක්‍රියාවන් කරන සූදුවට, මත්පැනට ගිජු නෑයන් නුරුස්සන අයකු වන නමුත් දරුවන්ට හිතැති අය වේ. බොහෝ මිථුන ලග්න හිමියන්ගේ ශරීර වා සෙම් අධික වනු ඇත.
කටක – නුවණින් පිරිපුන් ධර්මයට ලැදි අය
කටක ලග්නයෙන් උපන් අය ගුණ නුවණ ඇති යහපත් වූ ධර්මයෙහි ඇලෙන අයෙකි. බොහෝ කතා ඇති කටක ලග්න හිමියන් දබර කිරීමේ රුචිකත්වයක් දක්වයි. දරුවන් අඩු වස්තුව අඩු දිනන ලද ඉඳුරන් ඇති මෙම ලග්න හිමියන්ට වාත, අජීර්ණ රෝග බොහෝ ඇති කරයි. ජ්‍යොතිෂය දන්නා අයකු වීමේ භාගයද මොවුන්ට හිමි වේ.
සිංහ – අධික වස්තු ලාභ හිමි වේ
සිංහ ලග්නයෙන් උපන් තැනැත්තා උස් වූ වචන ඇති රැවටිලි ඇති මහත් වූ මුහුණක් ඇති බෝග සැප ලබන නුවණැති අයකු වේ. කිපෙන ගති ඇති නමුත් කාරුණික වූ මොවුන් හට අධික වස්තු ලාභ හිමි වේ. නොයෙක් දෙනා ඇසුරු කරන මොවුන් සතුරන් ජය ගැනීමෙහි දක්ෂ වන නමුත් දරු සම්පත් අඩුය.
කන්‍යා – සත්පුරුෂ ගති ඇත්තෝ
කන්‍යා ලග්න හිමියන් සංචාරයෙහි යෙදීමට ආශා ඇත. මඳ වස්තුව හා අඩු සැප ලබන අය වෙති. ශිල්ප ශාස්ත්‍ර දන්නා සත්පුරුෂ ගති ඇති මොවුන් ධර්මිෂ්ට ක්‍රියා සිදු කරයි.
තුලා – වාසනාවන්තයෝ
තුලා ලග්නයෙන් උපන් අය ධාර්මික ගති ඇති ගුණ ගරුක නිතර පිරිසිදුවට සිටීමට කැමති අය වේ. නිතර මඳ සිනහවෙන් සිටින මොවුන්ට දුක ඉසිලීමට හැකියාවක් ඇත. තම නැදෑයන්ට හිතැති තුලා ලග්න හිමියෝ වාසනාවන්තයෝය.
වෘශ්චික – ධර්මයෙහි ප්‍රිය වූ අය
වෘශ්චික ලග්න හිමියා මහත් වූ ඇස් ඇති දරුණු ස්වභාවයක් මුහුණෙන් පිළිබිඹු කරන කෲර ගති ඇති අයෙකි. රාජ අමාත්‍ය ආදීන්ගේ ආදරය ලබන මොවුන්ට බාල කාලයේ ලෙඩ දුක් ඇති කරවයි. තරමක් ආයුෂ අඩු බවක් මෙම ජන්මීන්ට ඇති වේ. වීර්ය ඇති, පණ්ඩිත, කල්පනා ඇති මොවුන් ධර්මයෙහි ප්‍රිය වේ.
ධනු – සතුරන් පරදා ජය ගැනීමේ දක්ෂයෝ
ධනු ලග්න හිමියන්ට පලාවන් ඇස් ඇති සන්සුන්වූ පියකරු රවුම් මුහුණක් හිමි වේ. සතුරන් නැසීමෙහි දක්ෂතා ඇති ශිල්ප ශාස්ත්‍ර දන්නා අයකු වේ. පණ්ඩිතයන්ගෙන් පිදුම් ලබන නුවණැත්තන් ඇසුරු කරන තනතුරු ලාභ ඇති අය වෙති. තරමක් මානාධික ධනු ලග්න හිමියන් ලෝබ ගති ඇති නමුත් ආයුෂ වැඩි අය වෙති.
මකර – පිරිසක් අතර නායකත්වය හිමි වන අය
මකර ලග්නයෙන් උපන් අයට කොට මහත් වූ අවයව ඇති දික් වූ මුහුණක් ඇති තේජස් සහිත ශරීරයක් හිමි වේ. ඇවිදීමට ප්‍රිය කරන ජනයා අතර නායකත්වය ලබන නුවණැති අයවලුන් මකර ලග්නයෙහි උපදියි. මැදි වයසෙහි වස්තුව හීන කරයි. දරුවන්ගෙන් වස්තුව ලබන මෙම ජන්මින් දුක් උසුලාගෙන සිටීමට දක්ෂයි.
කුම්භ – දක්ෂතා රැසකින් සමන්විත වූවෝ
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ දික් වූ අත්පා ඇති මහත් වූ ශරීරයක් හිමි අය වෙති. පාප ක්‍රියාවල යෙදීමෙන් නින්දා විඳීමට සිදු වේ. කතාවෙහි දක්ෂතා ඇති මොවුන් ඇවිදීමට ප්‍රිය කරයි. සැප ලැබෙන අතර දරුවන් බොහෝ ලැබීමට හිමිකම් ලබන මොවුන්ට සතුරු බලය නැසීමෙහි දක්ෂතා ඇති වේ. සත්පුරුෂයන් අප්‍රිය කිරීමේ ගතියක්ද මොවුන් දක්වයි.
මීන – බිරියට ආදරය කරන්නෝ
මීන ලග්නයෙන් උපන් අයට යහපත් වූ ශරීරයක් ලැබෙන අතර බලවත් අයකු ද වේ. තම බිරියට ආදරයෙන් සලකන මොවුන් සැම දෙනා අතර ප්‍රියමනාප අයකු වේ. මානයෙන් යුතු ලෝභී ගති ඇති මොවුන්ට මහත්වූ වස්තු ලැබේ. මීන ලග්න හිමියන් ජල ක්‍රීඩාවලට හා ආහාරපානවලට දැඩි රුචිකත්වයක් දක්වයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විදුහල්පති උපුල් ජයශ්‍රී ද සිල්වා