දිනිඳු ශේන් කී පමණින්ම අප මතකයට නැඟෙන්නේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් රියැලිටි වැඩසටහනයි. ගයන ඕනෑම ගීතයකට අපූරු රංගනයක් එක්කරන ඔහු විනිශ්චය මණ්ඩලයේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ද නොමඳ ආදරය දිනාගත් සිහින තරු මාවතේ සිටි “එන්ටර්ටේනර්“ යැයි කීවත් නිවැරැදිය. ගායකයකු ලෙස රසික ආදරය ඉහළින්ම දිනාගත් ශේන්ගේ කලාවට පිවිසීම සිදුව ඇත්තේ නර්තනය හරහාය. දෙරණ නාළිකාවේ විකාශය වන නිකිණි කුසුම් ටෙලි නිර්මාණයේ වින්දුල නිසා ඔහු දැන් රංගන ශිල්පියකු බවට ද පත්වී ඇත. විශේෂයෙන්ම අද අපේ කතාබහට ලක්වන්නේ ඔහුගේ ඒ අපූරු රංගන හැකියාවයි.
වින්දුල නිසා ද ශේන් මේ දවස්වල වෙනස් වෙලා, ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ?
ඔව්. තුෂාර තෙන්නකෝන්ගේ නිකිණි කුසුම් ටෙලි නිර්මාණයේ වින්දුල කියන්නෙ මගේ ප්‍රථම ටෙලි අත්දැකීම. ඒකෙ ෂූටින් දිගටම කෙරෙනවා. ඒත් එක්කම බෑන්ඩ් එකේ වැඩයි, අවුරුද්ද අවසානය නිසා සංගීත සංදර්ශන වැඩයි නිසා ටිකක් කාර්යබහුල වෙලා.
ප්‍රේක්ෂකයන් ඔබව හඳුනා ගන්නෙ ගායකයෙක් විදිහට. ඊටත් කලින් ඔබ නර්තන ශිල්පියෙක්. රංගනයට යොමුවෙන්නෙ කොහොමද?
මට මේ අවස්ථාව ලැබෙන්නෙ දෙරණ උපසභාපති ලක්සිරි සර් නිසා. ඔහු මට කලින් වතාවකත් ටෙලි නාට්‍යයක් සඳහා ආරාධනා කළා. ඒත් ඒ අවස්ථාවෙ මට ඒකට සම්බන්ධ වෙන්න බැරි වුණා. මේක තමයි මගේ පළවෙනි ටෙලි නාට්‍ය අත්දැකීම. මුලින්ම රාජිකා මිස් මට කතා කරල කිව්වා “දිනිඳු, ලක්සිරි සර් ඔයාට කතා කරන්න ඕන කිව්වා. පොඩ්ඩක් බලන්න’ කියලා. ඊට පස්සෙ සර් මට කතා කරල කිවුවා, “දිනිඳු අපි අලුත් වැඩක් කරනව, ඒකෙ නර්තනය, ගායනය දෙකම තියෙන නිසා මගේ අයිඩියා එකේ ඔයා ඉන්නවා, මං ඔයාව ඒකට දානවා“ කියලා. පහුගිය කාලෙ මං ගොඩක් මානසික ඇදවැටීම්වලට ලක්වුණා. ඒ හැම වෙලාවකම සර් මට ලොකු ශක්තියක් වුණා.
ඔබේ පළවෙනි ටෙලි අත්දැකීම විදිහට වින්දුල කියන්නෙ මොන වගේ චරිතයක්ද?
ඒක හොඳ, නරක දෙකම නියෝජනය කරන විශ්වවිද්‍යාල සිසුවකුගේ චරිතයක්. වින්දුල විශ්වවිද්‍යාලයේ ඉන්න ආල්යා පස්සෙ යනවා. චූලා වින්දුල පස්සෙ එනවා. මේ ගැටුම තමයි දිගහැරෙන්නේ. දැනට නම් වින්දුල ඉන්නෙ පොසිටිව් පැත්තෙ. ඒත් ආල්යාගෙ බොරුව හෙළි වීමත් එක්ක ඉදිරියෙදි නෙගටිව් පැත්තට යෑමේ අවදානමකුත් තියෙනවා. සෙට් එකට ගියහම සාමාන්‍යයෙන් මං ඇඹරි ඇඹරි ඉන්නෙ නෑ. ඒ නිසා රංගනය ගැන මට අවුලක් නෑ. මට දෙබස් අමතක වීමේ පොඩි ගැටලුවක් තියෙනවා. එතැනදි කණ්ඩායමේ හැමෝම මට ලොකු සහයෝගයක් දෙනවා වැඩේ සාර්ථක කරගන්න. විශේෂයෙන්ම රොෂෙල්. එයා මට වැඩිය බාල වුණත් එයාට අත්දැකීම් තියෙනවා. එයා දන්නවා මොකක්ද වෙන්න ඕන කියලා. එයා වැඩ කරන විදිහෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම තුෂාර සර් වැඩ කරන විදිහෙන් වැඩ කරන්න ආස හිතෙනවා. මේකෙ තේමා ගීතය තියෙන්නෙ කතාව ඇතුළෙ. ඒකෙදි මට ගායනය වගේම ෆපෝම් කරන්නත් අවස්ථාව තියෙනවා.
වින්දුල නිසා ප්‍රේක්ෂකයන් ආදරේ කළ ඔබේ පෙනුමත් වෙනස් වෙලා නේද?
ඔව්. මේ චරිතය නිසා කොණ්ඩෙ කපන්න වුණා. දැන් බොහෝදෙනා දෙපාරක් විතර බලලයි මාව අඳුනගන්නෙ.
මේක ඔබේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම වුණාට ඔබ රංගනයට ආධුනිකම නෑ නේද?
මං කලින් ඉඳන්ම ගායනය, නර්තනය, මියුසික් වීඩියෝ කරල තිබුණ නිසා කැමරාවට ආධුනික වුණේ නෑ. හා හා පුරා කියල රංගන අත්දැකීමක් ලැබුවෙත් රුසියානු චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින්. ඒක රුසියාවෙ තිරගත වෙන එකක්. ඒකෙ මියුසික් කොම්පෝසින්, ඩාන්සින් කොරියොග්රැපි වගේම ඇසිස්ටන් විදිහටත් වැඩ කළා. ඒකට ලංකාවෙන් ආර්ටිස්ල දෙන්නෙක් සම්බන්ධ වුණා. මගෙ යාළුවෙක් තමයි මට අවස්ථාව ලබාදුන්නේ. ඒක ශ්‍රී ලංකාවේ ගයිඩ් කෙනෙක් සහ රුසියානු ෆැමිලි එකක් වටා ගෙතුණු කතාවක්. මට රුසියානූ භාෂාව ගැන ටිකක් දැනුම තිබුණ නිසා ලොකු ගැටලුවක් වුණේ නෑ. ඊට කලිනුත් මං රුසියානුවන් එක්ක වැඩ කරල අත්දැකීම් තිබුණා. මගේ සින්දු දෙකකුත් තියෙනවා. එයාලගෙ සින්දුවකුත් මං කොම්පෝස් කළා.
ඔබේ ගායන හැකියාව ගැන විවාදයක් නෑ. ඒත් නර්තනයට මේ තරම් හැකියාවක් ලැබුණෙ කොහොමද?
ඇත්තම කිවුවොත් මං ගායනයට යොමුවෙන්නත් කලින් ඉඳල සචිත්ර හෙට්ටිතන්ත්රි සර් යටතේ නර්තනය හැදෑරුවා. සර් ඉන්නෙ ෆින්ලන්තයේ. සිටි ඔෆ් ඩාන්ස් ජැජ් කරන්න සර් ලංකාවට ආවා. මේ වෙද්දි මං ඩාන්සින් ටීචර් කෙනෙක් විදිහට ඩිප්ලෝමා එකත් අවසන් කරල ඉන්නෙ.
දිනිඳු ශේන් කියන නම ප්‍රේක්ෂකයන් අතරට ගියේ ගායකයෙක් විදිහට. රංගන ශිල්පියා ඉස්මතු වෙලා ඒ ගායකයා යටපත් වෙයිද?
කවදාවත් නැහැ. සංගීතයට මගේ ජීවිතේ ලොකු තැනක් තියෙනවා. අවුරුදු 11ක් විතර ඉඳන් මං සංගීත කණ්ඩායම්වල ප්‍රධාන ගායකයා විදිහට වැඩ කරනවා. මගේම සින්දු 2ක් මේ වෙද්දි රිලීස් කරල තියෙනවා. තව දෙකක් රිලීස් වෙන්නත් තියෙනවා. මන්දාරම් හැන්දෑවේ ගීතයේ ඕඩියෝ එක රිලීස් වෙලා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වීඩියෝ එකත් ඉදිරියෙදි රිලීස් වෙනවා. මගේ ගීතවල පද රචනය, සංගීතය, ගායනය, නර්තනය මේ හැමදේම මගේමයි. ඒකයි විශේෂත්වය.
දිනිඳු ශේන් කියන්නෙ ආදරවන්තයෙක්ද කියල ඇහුවොත්?
ඔව්. මමත් ආදරය කරනවා. ආදරය විඳිනවා. මං හිතන විදිහට පිරිමියෙක් මුලින්ම ආදරය කරන්න ඕන තමන්ටමයි. පිරිමියෙකුට අසීමාන්තික ආදරයක් ලැබෙන්නෙ මවුපියන්ගෙන් විතරයි. වෙන කෙනෙකුගෙ ආදරය ලැබෙන්නෙ නීතිරීති සීමාමායිම් එක්ක. වැරදිලාවත් පිරිමියා ගැහැනියට නීති දැම්මොත් එයා හිතන්නෙ ඒක හිර කිරීමක් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. ඕනම කෙනෙක් කැමැතියි තමන් ආදරය කරන, තමන් කැමති දේ ආරක්ෂා කරගන්න.
නාමලී ගමගේ