පශ්චාත් යුද සාහිත්‍යයක් බිහි නොවීම පිළිබඳ බොහෝ දෙනකුගේ අවධානය කලක් තිස්සේ යොමුව තිබිණි. යුද්ධය හා සම්බන්ධ විවිධ සාහිත්යික කාරණා කතා වුව ද එය පැවැති ජනවාර්ගික යුද්ධය පිළිබඳ පැහැදිලි අර්ථකථනමය ආස්ථානයක් පිිළිබිඹු නොකළ බැව් බොහෝ විචාරකයන්ගේ මතයයි. ලංකාවේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් එම්. ආර්. නාරායන් ස්වාමිගේ ලේඛන හා කෘති ගැන වැඩි අවධානයක් සමාජයේ ඇති වන්නේ මේ නිසාය.
ඔහුගේ Tigers of Sri Lanka (from boys to Guerrillas) හා Inside an Elusive Mind “PRABAKARAN” යන කෘති ද්විත්වය පිළිවෙළින් ඩබ්ලියු. ජී. ගුණරත්න සහ සේපාල විජේසේකර පරිවර්තනය කරන්නේ මේ අනුව ය. මේ කෘති ත්‍රිත්වයේ තෙවැන්න මෙතෙක් සිංහලට නැඟීමට කිසිවෙක් ඉදිරිපත් වී තිබුණේ නැත. චානක තිලකරත්න පරිවර්තකයා The TigerVanquished: LTTE’ s Story නම් මේ කෘති මාලාවේ තෙවැන්න ලංකා කොටින්ගේ පරාජය: එල්.ටී.ටී.ඊ සංවිධානයේ කතාව නමින් පරිවර්තනය කරන්නේ ඒ අනුවය. මේ ඒ කෘතියත් නාරායන් ස්වාමිගේ මැදිහත් වීමත් පිළිබඳව කරන ලද සාකච්ඡාවක සංක්ෂිප්තයයි.
මෙය නාරායන් ස්වාමිගේ තුන්වන කෘතියයි. පළමු කෘතිය වන Tigers of Sri Lanka (from boys to Guerrillas) කෘතිය 1994 දී ජනගත වුණා. එය “ලංකා කොටි – කොලු කුරුට්ටන් ගරිල්ලන් වූ සැටි” යනුවෙන් පරිවර්තනය කළේ 1996 දී ඩබ්ලියු. ජී. ගුණරත්න විසින්. දෙවන කෘතිය වන්නේ “Inside an Elusive Mind” PRABAKARAN” දුරවබෝධ මනසක ඇතුළාන්තය – ප්රභාකරන් ලෙස සිංහල භාෂාවෙන් 2004 පළ වුණා. මෙය ඒ කෘති මාලාවේ තුන්වැනි කෘතියයි. මේක 2009 දී ප්රකාශනය වුණත්, 2024 වන තෙක් සිංහල භාෂාවට පරිවර්තනය වුණේ නෑ. වාර්ගික ප්රශ්නය ගැන ලියැවී ඇති පොත් විශාල සංඛ්‍යාවක් මා සතුව තිබෙනවා. මා ඒවා නිතර පරිශීලනය කරන්නේ මේ සම්බන්ධව මා හට ඇති කුතූහලය සහ ගැටුම් නිරාකරණය යන විෂයය පිළිබඳ ඇති දැඩි ආශාව නිසාය. 2009 දී මෙහි මුල් කෘතිය කියැවීමේදී මා සිතුවේ ඇත්තෙන්ම මෙය අපගේ භූමියේ සිදු වූ දේවල් නිසා ලාංකික පාඨකයා මෙය කියවිය යුතුම කෘතියක් කියලයි. එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සහ සාමාන්‍ය මට්ටමෙන් කිසිදා අප හට දැන ගන්නට නොලැබූ විශාල කරුණු රාශියක් මෙම කෘතියේ අන්තර්ගතයි. ඒ සියල්ල අප භූමියට අදාළයි වගේම එහි ලියැවී ඇත්තේ අප පාඨකයන් දැන ගතම යුතු කරුණුයි. වසර 14 ක්ම සිංහල භාෂාවට පරිවර්තනය නොවී පැවතුණු මේ පොත මා පරිවර්තනය කළේ ඒ නිසා.
යුද්ධය හා එල්.ටී.ටී.ඊයේ පැවැත්ම පිළිබඳ තියුණු නිරීක්ෂණ මේ කෘතියේ අන්තර්ගතයි. නාරායන් ස්වාමිගේ සහභාගී නිරීක්ෂණමය ගවේෂණය ඔබ දකින්නේ කොහොමද?
නාරයන් ස්වාමි කියන්නේ යුද්ධය සම්බන්ධව සහ වාර්ගික ගැටලුව සම්බන්ධව දෙමළ ජනතාවට වූ සියලු කෙනෙහිලිකම් පිළිබඳව වසර ගණනාවක් සිටම මැදහත් සිතින් සොයා බලන ලේඛකයෙක් බව ඔහුගේ පොතපත පරිශීලනයෙන් මා වටහා ගත්තා. දෙමළ ජනතාව මෙන්ම සිංහල ජනතාවත් පවතින තත්ත්ව නිසා විඳින දුක් ගැහැට, කරදර සියල්ල ගැන ඔහු මනා සංයමයකින් ලියන බව ඒ අනුව අපට පැහැදිලියි. උතුරේ වගේම දකුණේත් ප්රජාතන්ත්රවාදය අහිමිවීම් සම්බන්ධව මොහු ඉතාමත් සූක්ෂ්ම ආකාරයෙන් ලියනවා. එය කිසිම පාර්ශ්වයකට ගැති නොවී කරන දෙයක් බැව් ඔහුගේ ලිපි ලේඛන පරිශීලනයේදී පුද්ගලිකව මට වැටහී ගොස් තිබෙනවා. ඔහුගේ ගවේෂණාත්මක වාර්තාකරණය ගැන මා ප්‍රිය කරන්නේ මැදහත් ව ඔහු මේ ගැටලු දෙස බලන නිසයි.
සාහිත්‍යමය නොවන මෙවැනි ප්‍රවර්ගයකට අයත් කෘතියක් පරිවර්තනය කිරීමේදී ඔබ මුහුණ දුන් ගැටලු මොනවාද?
මෙහිදී විවිධාකාර ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණා. ඒකට හේතුව තමයි මේ කෘතියේ අන්තර්ගත වෙන්නේ විවිධ වෙබ් අඩවිවලට සහ සංවිධානවලට ඔහු ලියූ ලිපි එකතුවක් වීම. එක් එක් ආයතනවලට සහ එක් එක් වෙබ් අඩවිවලටත්, පුවත්පත්වලටත් ලියූ ලිපි විවිධ ශෛලියෙන් යුක්ත ඒවායි. එම ශෛලියට හානියක් නොකර ගැඹුරු ආකාරයෙන් ලියා ඇති සියල්ල ගැඹුරු ආකාරයටත්, සරලව ලියා ඇති සියල්ල සරල ලෙසටත් පාඨකයාට ඉදිරිපත් කිරීමට මට මුල් කර්තෘගෙන් අවසර ලැබුණා. යම් යම් වචන නැවත නැවතත් විවිධ ශබ්ද කෝෂ හරහා සොයා ගැනීමට සිදු වුණා. යම් වචනවල සරල සිංහල තේරුම ලියනවා වෙනුවට ඔහුගේ ශෛලිය වෙනස් නොවී තබාගත යුතුව තිබූ නිසාම එහි එම වචනයම සරල නොවන වියත් භාෂාවෙන් භාවිත කරන්නට සිදු වුණු අවස්ථාත් තිබුණා. එය පාඨකයාගේ පරිශීලනයට බාධාවක්, අවහිරයක් වුවත් එය මට කරන්නට වූයේ ඔහු විවිධාකාරයේ වෙබ් අඩවිවලට සහ පුවත්පත්වලට ලියූ ලිපිවල ජීවගුණය එලෙසම ආරක්ෂා කරගත යුතුව තිබූ නිසා.
පරිවර්තනයේ දී ඔබට ස්වයං වාරණවලට ලක්වෙන්න සිදුවුණා ද?
ඇත්තෙන්ම ඔව්. යම් යම් සංවිධාන හා දේශපාලන පක්ෂ ගැන ඔහුගේ තියුණු විමර්ශනාත්මක යෙදුම් ව්‍යවහාර මා එලෙසින් ම මේ පරිවර්තනයේදී සඳහන් කළේ නැහැ. එවැනි නිර්දය ආකාරයෙන් වචන හැසිරවීම මෙම පොළවේ බොහෝ අනතුරුදායක බැව් දන්නවානෙ.
එවැන්නක් කිරීමේදී මුල් කෘතියට යම් අසාධාරණයක් විය හැකියි නේද?
නැහැ. මුල් කෘතියට එවන් අසාධාරණයක් වෙන විදියේ වෙනසක් මා පරිවර්තනයේදී සිදුකර නැහැ. ගොඩක් සැරට තිබුණු සමහර දේවල් යම් නිවීමක් ඇතිව මා සිංහලට ගත්තා. මුල් කෘතියට අසාධාරණයක් නොවුණු බවට වන වගකීම මා ගන්නවා.
තිස් වසරක යුද්ධය ඔබත් අත්විඳි දෙයක්. හැබැයි අපි මේ කියවන්නේ එසේ මුහුණ නොදුන් අයකුගේ ගවේෂණයක්. අපේ අතින් වගකීම පැහැර හැරිලා යැයි ඔබ සිතනවද?
එම ප්රශ්නයේ පාර්ශ්ව දෙකක් අප හට දකින්නට පුළුවන්. අප බොහෝ දේවල් අත්දැක ඇත්තේ ශ්‍රී ලාංකික පොළොවේ සිට. නමුත් එල්ටීටීඊ ක්‍රියාකාරකම් පැවතුණේ ශ්‍රී ලාංකික පොළොවේ පමණක් නොවේ. තවත් ඒ හා සබැඳුණ බොහෝ සිදුවීම් ඉන්දියාවෙන් මුලාරම්භවී ජාත්‍යන්තර තලය දක්වා ගිය බව රහසක් නොවෙයි. අන්න ඒ කාරණා කටයුතු අපට ලබාදීමට නාරායන් ස්වාමි ගෙන ඇති උත්සාහය අතිසාර්ථකයි. එවැනි ගවේෂණාත්මක විමර්ශන යම්තාක්දුරට ලාංකිකයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්නගේ Indian Intervention in Sri Lanka (1993 ), War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna කෘති හරහාත් සිදුකර තිබෙනවා. උතුරු නැෙඟනහිර අර්බුදයේ යුග දෙකක විමර්ශනාත්මක හා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වූ සංසිද්ධි එකතු කරගත් මැදහත් විචාරශීලී ලිපි මාලාවක් සහිත කෘතියක් 2006දී රංජිත් ආනන්ද ජයසිංහ විසින් “බෙදුම්වාදයේ ගමන්මඟ” නමින් කළා. ඉන් එහාට මැදහත් ආකාරයෙන් මෙම ප්රශ්නය ගැන ලියූ දේවල් ඉතා අල්පයි.
තවත් ආකාරයකින් පවසනවා නම් ලංකාවේ බොහෝ ලේඛකයන් පවතින අධිපති මතවාදයට එකඟව පමණක් තම පෑන මෙහෙයවන්නේ, ඉන් එහාට යෑමෙන් තමන්ට යම් යම් අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ යැයි ඇති බියෙන් ද කියලත් මට කුකුසක් තියෙනවා.
ඍජුවම ඇහුවොත් අපේ ජනමාධ්‍ය යුද්ධය සම්බන්ධයෙන් තමන්ගේ වගකීම පැහැර හැරලද?
ඒ වගකීම කුමක්ද යන්න ගැන නාරායන් ස්වාමිගේ කෘති පරිශීලනය කර ඉගෙන ගැනීමට කාලය පැමිණ ඇති බව මගේ වැටහීමයි. පාලකයා සතුටු කිරීම යනු මාධ්‍ය කලාව යැයි හෝ මාධ්‍ය ඇත්තේ පාලකයාට ප්රශස්ති ගායනා කර කීයක් හෝ උපයා ගැනීමට යැයි සිතන පුද්ගලයන් බහුතරයක් සිටින කොදෙව්වක වගකීම් ගැන නැවත වරක් සිතා බැලිය යුතුය.
යුදමය වාතාවරණයකදී ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය කවරාකාරද? විශේෂයෙන් රටක අභ්‍යන්තර යුද්ධයකදී…
ගැටුම් පවතින කාලයේදී ගැටුම් නිරාකරණය සම්බන්ධව එක්තරා ආයතනයක් කළ වැඩසටහනකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එහිදී ඔවුන් කතා කළේ අෙමරිකානු සිවිල් යුද්ධය සම්බන්ධව. එහිදී ඒ යුද්ධය වාර්තා කරන පුද්ගලයන් අත ඇති පෑන් තුඩු නිතරම මෙහෙය වුණේ මේ අපේ රටේ ම ජන කොට්ඨාස දෙකක් අතර යුද්ධයක් වශයෙන්. එහෙමත් නැත්නම් අපේ ම පුරවැසියන් අතර ඇතිවන්නා වූ ගැටුමක් වශයෙන්. මේ ගැටුම නිසා අපේ ම රටේ ආර්ථිකයට දැඩි හානි සිදු වුණු බවත්, අපේ ම රටේ සමාජ ජීවිතයට තර්ජනයක් වන ආකාරයත් ගැන තමයි ඔවුන් කතා කළේ. ඒක රටේ ම පොදු ප්‍රශ්නයක් මිසක් එක් ජාතියක් හෝ වෙනයම් දෙයක් ගැන ඔවුන් කතා කළේ නෑ. දිනන්නේ කවුද පරදින්නේ කවුද යනවාට වැඩිය රටට සහ ජනතාවට වෙන අලාභය ගැනයි ඔවුන් කතා කළේ. මාධ්‍යකරණයේදී එය පමණක් ඉස්මතු වන ආකාරයට ලිපි ලේඛන පළ කිරීමට පවතින රජයත් ඔවුන්ව උනන්දු කළා. පාර්ශ්වයක් ගෙන ඔවුන්ගේ පැත්තට ආවැඩිමක් සිදු වුණේ නෑ.
නමුත් අපේ රටේදී අතළොස්සක් එහෙම කළත් බහුතරයක් කළේ මා කලින් පැවසූ දෙයයි.
පැවති සිවිල් යුද්ධය අවසානයේදීත් මාධ්‍ය ඉතාමත් සන්සුන් ලෙස සහ මනා ශික්ෂණයකින් තම පෑන හැසිරවූයේ යුද්ධයෙන් පරාජයට පත් වූ පාර්ශ්වයේ මානසිකත්වය නොරිදෙන නොබිඳෙන අයුරින්. මෙය අපේ පොළොවේ සිදුවනවා ද? යුද්ධයෙන් පසුවත් ජයග්‍රාහක පාර්ශ්වයෙන් කොපමණ ලිපි ලේඛන පොත්පත් පළ වූවා ද? ඒ සියල්ලෙහි ම පැවතුණේ අපි දිනුවා ලෙස නොවේද? මුසල්මානුවන් සමඟ අප හට ගැටුමක් ඇතිකර ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දෙන පුද්ගලයන්ගේ මනසට සාපේක්ෂව සාමාන්‍ය ජනතාවගේ මනසත් මාධ්‍ය විසින් ඒකාත්මික කර ඇති ආකාරය අප දුටුවේ නැද්ද? මාධ්‍යවේදියා ගැටුම් නිරාකරණය කරන්නෙක් මිස ගැටුමේ කොටසක් බවට පත් වන්නෙක් නොවිය යුතුයි.
මුල් කතුවරයා පවසනවා තොරතුරු ලබා දුන් පුද්ගලයන් සහ මූලාශ්‍රය හෙළි කරන්නෙ නෑ කියලා. එවිට අපි මේ මූලාශ්‍ර සත්‍ය යැයි කියා සිතන්නේ කොහොමද?
කතුවරයා මෙතෙක් අපට ලබා දුන් පුවත්පත් ලිපිවල සහ පොත්පත්වල මූලාශ්‍රවලට මෙතෙක් චෝදනාවක් එල්ල වී නැහැ. ඒවගේම එල්ටීටීය ගැන කියන්න නොබියව තම පෑන මෙහෙය වූ රාජිනී තිරාණගම වැනි ආචාර්යවරියකට සිදුවූ දෙයින් පසු සෑම කෙනෙක්ම මෙම ආරක්ෂිත උපාය මාර්ගය කළමනාකරණය කරමින් තමා දත් තොරතුරු ජනයාට සැපයීමට ඉදිරිපත් වුණේ සංවිධානයට හා පුද්ගලයන් හට හානියක් නොවන ලෙසට මේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින්. ළමා සොල්දාදුවෙක්ව සිටි නිරෝමි ද සොයිසා ලියූ Tamil Tigress කෘතියෙහි පවා මෙම ආරක්ෂණ ක්‍රමවේදය බහුලව යොදාගෙන තිබුණා. ඇය පවා මේ කෘතිය ලියා ඇත්තේ අන්වර්ථව හිඳිමින් බව ප්‍රසිද්ධ රහසක්. කොටි දියණියකගේ පාපෝච්චාරණය යනුවෙන් මෙය සුසිලා විජේසිංහ සිංහලට පරිවර්තනය කර තිබෙනවා.
අනෙක් අතට හුදු අතිශයෝක්තියක් වන හා නොවන සාමාන්‍ය කරුණු කාරණා ගැන පැවසීමේදී නම් ගම් පමණක් අන්වර්ථ ව තබා ගැනීම එල්ටීටී ඊ සංවිධානයත් කළ දෙයක්.
නාරායන් ස්වාමි ලියූ අනෙක් කෘති ගැන ඔබේ හැදෑරීම කෙබඳුද?
ඔහු මෙතෙක් ලියා ඇති සියලු ම කෘති එල්ටීටීඊ සංවිධානය සම්බන්ධ ඒවායි. ඒ සියල්ල මා පරිශීලනය කළා. ඒ වගේම ඒ සියල්ල දැනට සිංහලට පරිවර්තනය වෙලත් තියෙනවා. ඉදිරියේදී ඔහු තවත් ලිපි මාලාවක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. Not Just a Good Food Guide ලෙසින් ආහාර සම්බන්ධවත් ඔහු එක් පොතක් ලියා තිබෙනවා.
අපට පශ්චාත් යුද සාහිත්‍යයක අඩුවක් තියෙනවා. මේවැනි කෘති වටින්නේ ඒ නිසා. පරිවර්තනයකට එහා ගිය විඳීමක්, සමාජ වගකීමක් ඉටු කළා වගේ හැඟීමක් ඔබට තියෙනවද?
ඇත්තෙන්ම. මා ඒ හැඟීම විඳිනවා.