– පුද්ගල මනෝභාව පිළිබඳ ගැඹුරු ප්‍රකාශ කිරීම, සුදුසු ආඛ්‍යාන රටා ගැන මම විමසිලිමත් වුණා
– මගේ පළමු නවකතාවට වඩා හාත්පසින්ම කැමෙලියා සඳහා යොදාගත් ලේඛන රටාව වෙනස්
– මම එක දිගට එක පොතකට පස්සෙ තව පොතක් ලියන කෙනෙක් නෙමෙයි
– මගේ මුල්ම කෙටිකතාව පළ වුණේ ‘සිළුමිණ‘ පුවත්පතේ
ඇය අපට හමුවන්නේ අදින් වසර දහයකට දොළහකට පමණ පෙරය. ඒ සිළුමිණ ‘නෙළුම් විල‘හි සමාජ සත්කාරයකට දායක වීම සඳහාය. ඉනුත් පසුව දිනෙක ඇය සිළුමිණට ඇගේ ප්‍රථම කෙටි කතාව ලියා එවන්නීය. එතැන් සිට ඇය අපට ඉඳහිට ලියන්නීය. එදා කෙටිකතාවෙන් පාඨකයන් අතර ආ ඇය මෙරට සාහිත්‍ය ලෝකයේ නමක් තැබූ ලේඛිකාවක වේ යැයි ඇයවත් සිතන්නට නැතිව ඇති. නමුදු පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති 16 වැනි ස්වරණ පුස්තක සම්මාන උලෙළේදී නීතිඥ විරාජිනි තෙන්නකෝන් විසින් ලියන ලද “කැමෙලියා“ කෘතියට ස්වරණ පුස්තක සම්මානය හිමි විය.
ආවාට ගියාට පොත් නොලියන විරාජිනී ග්‍රන්ථකරණයේ නියැළෙන්නේ විවේක පාඩුවේය. ඇගේ මුල්ම කෘතිය වන්නේ 2016 වසරේ ලියූ ‘අච්චාරු සහ තවත් කතා‘ නම් කෙටිකතා සංග්‍රහයයි. 2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලළේ දී විරාජිනී විසින් ලියන ලද ප්‍රථම නවකතාව වන ‘මකරානන්දය‘ හොඳම නවකතාවට හිමි සම්මානය හිමිවන්නීය.
එදා මෙදා තුර පැමිණි ගමන් මඟ සිහි කරන විරාජිනී ඒ අතීතය සිහි කරන්නේ මෙලෙසිනි.
“මම මුලින්ම පාසල් ගියේ වෑතර කණිෂ්ඨ විද්‍යාලයට. ඉන්පසුව පිළියන්දල සෝමවීර කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබා පහේ ශිෂ්‍යත්වය සමත්ව කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වුණා. පාසල් කාලෙදි හැම පොඩි දරුවෙක්ම වගේ මමත් ලිපි රචනා කවි ලිව්වා. සාහිත්‍ය තරගවලට සහභාගි වී ජයග්‍රහණය ලබා තිබෙනවා. එත් පාසල් කාලයේදී නම් කවුරුවත් මට කිව්වේ නෑ “ඔයාට ලියන්න පුළුවන්“ කියලා. ඒත් මම ලිපි රචනා ආදිය ලිව්වා. මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මගේ ලියවිල්ල මඟහැරෙනවා. නමුත් මම යළිත් ලියන්න පටන් ගත්තේ විශ්වවිද්‍යාලයෙන් අයින් වුණාට පස්සේ. 2016 අවුරුද්දේ තමයි මගේ පළමු කෙටිකතා සංග්‍රහය වන “අච්චාරු සහ තවත් කතා “ කෘතිය පිට වෙන්නේ. ලේඛන කලාවට ආධුනිකයක වූ මගේ පළමු කෙටිකතා සංග්‍රහය වන අච්චාරු සහ තවත් කතා කෘතිය ගොඩගේ සම්මාන උලෙළේදී ඇගයීමට ලක් වෙනවා. ඒ සමඟම ලේඛනය කෙරෙහි මගේ තිබූ කැමැත්ත ආශාව තවත් වැඩිවෙනවා.
මගේ මුල්ම කෙටිකතාව පළවන්නේ ‘සිළුමිණ‘ පුවත්පතේ. එතැනින් තමයි මගේ ලිවීම ආරම්භ වන්නේ. මගේ මුල්ම නවකතාව මකරානන්දය. එයට වසරේ හොඳම නවකතාව වශයෙන් 2019 රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී වගේම එම වසරේදීම විද්‍යෝදය සම්මාන උලෙළේදීත් සම්මාන හිමි වෙනවා. ඉන් වසර හතරකට පසුව ලියූ කැමෙලියා නවකතාවට තමයි මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමිවෙන්නේ. මම කොහොමටත් එක දිගට එක පොතකට පසුව තවත් පොතක් ලියන කෙනෙක් නෙමෙයි. එක පොතක් ලියැවුණාට පස්සේ මම විවේක ගන්නවා. ඒ වගේම මම දෙස් විදෙස් චිත්‍රපට බලනවා . අපේ සාහිත්‍යය වගේම ලෝක සාහිත්‍යයේ තියෙන විශිෂ්ට කෘති කියවනවා. ඒවා ගැන අධ්‍යයනය කරනවා. මම දැනුමින් සන්නද්ධ වෙනවා.
ඒ අතර තමයි මම ඊළඟට ලියන කෘතිය ගැන ඒ මාතෘකාව ගැන අධ්‍යයනය කරන්නේ. මම කොහොමත් ආවට ගියාට ලියන්න කැමැති කෙනෙක් නෙමෙයි.
ගිය වසරේදී එනම්, 2023 වසරේදී විද්‍යෝදය සාහිත්‍ය උලෙළේදී “අන්ධයා සහ සුරුට්ටු න්‍යාය“ කෙටි කතා සංග්‍රහයට හොදම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය ලැබුණා.
සාහිත්‍ය සම්මාන ලැබීම, ලියන කෘතිය ඇගයීමට ලක්වීම මට ලොකු ශක්තියක්. ඒ වගේම එය නිර්මාණකරණයට යම් උත්තේජනයක් වෙනවා. නමුත් මම සම්මාන ඇගයීම් බලාපොරොත්තුවෙන්ම ලියන කෙනෙක් නෙමෙයි. කොහොමත් වසරක් ගානේ කෘති එළිදක්වන්න නම් මගේ කිසිම අදහසක් නැහැ. “
ඇගේ ලේඛන විලාසය හරි අපූරුය. ආරම්භයේ සිට අවසානය දක්වාම පාඨකයාට ඇත්තේ කුතූහලයකි. එතරමටම ඇය ඇගේ කතාව පාඨකයාට හරි අපූරුවට කියාපායි. “කැමෙලියා“ කෘතිය ද එලෙසය. ඇය මේ තරම් අපූරුවට කතා ගොතන්නේ කෙසේ දැයි ඇසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරකි.
“ කැමෙලියා සිනෙසිස්“ කියන්නේ තේ ශාඛයේ උද්භිද නාමය.
ඒ වගේම මෙහි එක් චරිතයකුත් තියෙනවා කැමෙලියා නමින්. ඒනිසා මම හිතුවා කැමෙලියා නම කෘතියට සුදුසුයි කියලා.
“කැමෙලියා“ කතාවට තේමා වෙන්නේ යටත් විජිත යුගයේ තේවගාව වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය වැය කරපු සුදු මිනිසුන්ගේ ජීවිත අත්දැකීම්. එකල සමාජය තුළ විශේෂයෙන්ම එදිනෙදා සමාජය තුළ ජීවත් වෙද්දි ඒ මිනිස්සු තුළ තිබූ හැඟීම්, සමාජ සංකීර්ණත්වය, දකුණු ඉන්දියානු කම්කරුවන් සමඟ වැඩ කරද්දි ලැබූ අත්දැකීම්, ඒ කම්කරුවන්ගේ දුක්බර ජීවිත, සුදු ජාතිකයන් ලැබූ අත්දැකීම්, එකල පැවති සෞඛ්‍ය, ආර්ථික ආදි ප්‍රශ්න ගැන විමසීමෙන් ලියැවුණු කතාවක් මෙය.
විශේෂයෙන්ම තේ වගාව සම්බන්ධ ඉතිහාසය සොයාගෙන යද්දි ඒ පිළිබඳ හැදෑරීම් කරද්දී මට බොහෝ තොරතුරු දැනගන්නට පුළුවන් වුණා. ලංකාවේ පළමු වතුකම්කරු සටන ඇරඹෙන්නේ මුල්ඔය වතු කම්කරුවන් විසින්. ඒ යුගයේ එම ගැටුමින් මිය යන පළමු වතුකම්කරුවා වන්නේ ගෝවින්දන්. අතීත තොරතුරු සොයෑමේදි මට වතු කම්කරුවන් සුදු ජාතිකයන් පිළිබඳ වගේම එකල පැවැති සමාජ ආර්ථික රටා පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගන්නට පුළුවන් වුණා. ඒ ඇසුරෙන් තමයි මම මේ කතාව ගොඩනඟන්නේ.
මම මේ කතාව ලියන්න අරඹන්නේ මායා යථාර්ථවාදි රීතිය යොදාගෙන. විදෙස් පොත පත කියවීමෙන් විදෙස් කතාවල අලුත් අලුත් අත්හදාබැලීම් වගේම ඒවාගේ අභාසයත් මම ලැබුවා. එක්තරා විදිහකින් දූපතක ජීවත් වන අපිට අත්දැකීම් ලැබෙන්නේ හරි අඩුවෙන්. අපි විදෙස් ලේඛකයන්ගේ පොතපත කියවලා අත්දැකීම් ලබන්න ඕන. මම හිතනවා මගේ ඒ කියැවීමත් එක්ක විදෙස් නවකතාවල, විදෙස් නිර්මාණවල යම් යම් බලපෑම් මගේ කෘතිවලත් තියෙනවා කියලා.“
පාසල් වියේ සිටම ලිවීමට ආසාවක් දැක් වූ ඇය යළිත් ජීවිතයේ අස්වැසිල්ලක් ලද සැණින් ලියන්නට පෙලඹුණාය. ඇය ලියන්නේ ඇගේ සතුටටය. ලියන දේ නිවැරැදිව ලියන්න වෙහෙසෙන ඇය තම පාඨකයන්ට ද අලුත් දෙයක් දෙන්නට උත්සාහ දරන්නීය. තම ලේඛන ශෛලිය පිළිබඳ විමසූ විට ඇය කියන්නේ මෙවන් අදහසකි.
“මම විශ්වාස කරනවා, අපි ලියන දෙයින් අපට පාඨකයා ග්‍රහණය කරගන්නට බැරි නම් පාඨකයාගේ අවධානය දිනාගන්නට බැරි නම් අපි සාර්ථක නැහැ. මෙතැනදි අපි වඩාත් අවධානය යොමුකරන්නට ඕන භාෂාව ගැන. අපේ කතාවට ආලෝකය සපයන්නේ භාෂාව. කැමෙලියා නවකතාවේදි මම භාෂාව ගැන ලොකු පර්යේෂණ කළා. විශ්ව ලේඛකයන් වන මාර්කේස්, ඉසබෙල් අයින්දෙ වැනි ලේඛකයන්ගේ කතා කලාව, රචනා ශෛලිය මම අධ්‍යයනය කළා. පුද්ගල මනෝභාව පිළිබඳ ගැඹුරු ප්‍රකාශ කිරීම සුදුසු ආඛ්‍යාන රටාවන් ගැන මම විමසිලිමත් වුණා. කැමෙලියා ඔස්සේ මම ඒ ගැන පර්යේෂණ කළා කිව්වොත් නිවැරදියි. මගේ පළමු නවකතාවට වඩා හාත්පසින්ම කැමෙලියා සඳහා යොදාගත් ලේඛන රටාව වෙනස්. මගේ භාෂා රටාව මම ලියන කෘතියෙන් කෘතියට ඒ සඳහා යොදා ගන්නා කතාව අනුව වෙනස් කිරීමට මම හැමවිටම උත්සාහ දරනවා කිව්වොත් නිවැරැදියි.