ආන්නා අක්මතෝවාගේ 135 වැනි ජන්ම දිනය නිමිත්තෙනි
අන්නා අක්මතෝවා යනු රුසියාවේ එතෙක් මෙතෙක් බිහි වූ වඩාත්ම ජනප්රසාදය ලත් මෙන්ම වඩාත් ආන්දෝලනයක් ඇති කළ රුසියානු කිවිඳියයි. ඇගේ 135 වැනි ජන්ම දින සැමරුම යෙදී තිබුණේ පසුගිය ජුනි 23 වැනිදාටය. එය ද සිහිපත් කරමින් මේ ලිපිය ලියනුයේ පසුගියදා රුසියානු කේන්ද්‍රයේ මිතුරු මිතුරියන් පිරිසක් සමඟ රුසියාවේ සංචාරය කරමින් ආන්නා අක්මතෝවාගේ නිවෙස හා සම්බන්ධ කෞතුකාගාරය නැරඹීමෙන් ලත් සියැසින් දුටු, අත්දුටු සාක්ෂිත් සමඟය. 1989 ජුනි 23 දිනට ඇගේ 100 වැනි ජන්ම දින උලෙළ එදා රටේ පැවති තත්ත්වය නිසා තරමක් ප්‍රමාද වී 1990 මාර්තු 14 වැනි දින ජනතා ලේඛක පෙරමුණේ සංවිධායකත්වයෙන් එදා සෝවියට් සංස්කෘතික මන්දිරයේ දී පැවතුණි. එහිදී අපගේ පුරෝගාමී ප්‍රවීණ පරිවර්තක සිරිල් සී පෙරේරාත්, එස්.ජී. පුංචිහේවාත්, එහි ලේකම්, ගුණසේන විතානත් දේශන කළ බව සිහිපත් කරමි. නවකයන් ලෙස දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය චන්දිමා නිශ්ශංකත් මාත් අක්මතෝවාගේ පරිවර්තිත කවි ඉදිරිපත් කළ බව ද මට මතක් වෙයි. ඒ වන විට “සෝවියට් දේශය” සඟරාවේ රුසියානු කවිවල පරිවර්තන පිටුවක් සංස්කරණය සඳහා වසර කීපයක් මට අවස්ථාව ලැබුණ අතර එහිදී ද ඇගේ කවි මම ඉදිරිපත් කළෙමි. එදා සෝවියට් දේශය තුළ සමාජවාදී පාලන ක්‍රමය තුළ ජනතාව රස විඳින හැටි ඔවුන්ගේ මුහුණුවල නැඟුණ සිනාවලින්ම පිළිබිඹු විය.
සංක්ෂිප්ත පූර්විකාවක් ලෙස ඉහත සටහන තැබුවේ රුසියානු සාහිත්‍යය ගැන කතා කරන විට රුසියාවේ මෙතෙක් බිහි වී ඇති වඩාත්ම ජනප්රසාදය දිනාගත් මෙන් ම මහත් ආන්දෝලනයක් ඇති කළ කිවිඳිය යැයි සැලකිය හැකි ආන්නා අක්මතේවා ගැන යළි සිහි කැඳවන්නට ය. ඊට හේතු පාදක වූයේ පසුගියදා අපට ඇය ජීවත්ව සිටියා වූ, ඇය ලියූ කිවූ ඇගේ පෞද්ගලික නිවෙස, අද එය රජයේ කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යනු සියැසින් දැකීමෙන් ලත් ආස්වාදයෙන් යුතුවීම යි. ඒ ගැන ද මඳක් කිව යුතුම ය.
අප එදින උදෑසනින් ම ශාන්ත පීතරබුර්ගයෙන් පිටත්ව ගියේ එහි සිට කි.මී. 50ක් පමණ දුරින් වූ පීතර් ෆොෆ් රන් මාලිගය නැරඹීමටය. අනතුරුව අක්මතෝවාගේ නිවෙස සොයා යාමට පිටත් වූයේ එදින සන්ධ්‍යාවේ ය. ඒ ගැන වඩාත් උනන්දු වූ අප කීපදෙනෙකු ඒ සඳහා මඟට බැස්සේ ජනක ඉණිමංකඩගේ මාර්ගෝපදේශකත්වයෙනි. අක්මතෝවාගේ නිවෙස පිහිටා තිබුණේ ශාන්ත පීතරබුර්ග නගරයේ ම නමුත් අප එහි පිවිසෙන විට හැඟී ගියේ ගැමි පරිසරයක වූ පැරණි තාලයේ නිවෙසකට ඇතුළු වන බවකි. විශාල නාම පුවරු යොදා ඇගේ නිවෙස ගැන ද ප්රචාරාත්මක බවක් ඇතිකර නැත. ඇගේ චාම්, සරල බව මෙන් ම ඇය ගැන අනවශ්‍ය ප්‍රචාර දැන්වීම උවමනා නොවන නිසා ය. ආරක්ෂක මුර කපොලු හෝ මුරකුටි කිසිවකින් තොරව සාමාන්‍ය සරල පැරණි තාලයේ නිවෙසකට පිවිසෙන අයුරින් එහි ළඟා වූ අපට තිබුණේ ඒ අප සොයා ආ තැනම දැයි කුතුහලයකි. අපි ඒ අමුතු සුන්දර බවක් සහිත නිවසේ ඉදිරිපස පළමු දොරටුව අනවසරයෙන් ම කාටත් විවෘත කර ඇතුළට පිවිසිය හැකි පරිදි තිබූ බැවින් දොර තල්ලු කර ඇතුළට පිවිසියෙමු. ඉන්පසු එතුළ නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ පුංචි කුටියකි. ප්‍රවේශ පත්‍රයක් රූබල් 400ක් විය. ඉන්පසු ඇය පරිහරණය කළ දෑ සහ ඇයට සම්බන්ධ පොත්පත්, අත් අකුරු ආදී සියල්ල ඇතුළත් වටිනා දේ ඇතුළත් මහල් දෙකකින් යුත් නිවෙසේ කාමර හා කුටීර වෙත අපව කැටුව යාමට හා විස්තර කියා දීමට ඉංග්‍රීසි බස දත් රුසියානු පරිවර්තිකාවක අපට සහායට ලැබුණි.
පරිණත පුවත්පත් කලාවේදිනියකටත් වඩා කිවිඳියක වශයෙන් වඩාත් සංවේදීව තොරතුරු ග්‍රහණය කර ගන්නට වූ සුමුදු චතුරාණි ජයවර්ධන වරෙක ආන්නා අක්මතෝවාගේ මේස ලාච්චු පවා ප්‍රවේසමෙන් අරිමින් වසමින් ද පොත්පත් හා වෙනත් ලේඛනයේ දී භාවිත කර තිබූ පෑන්, තීන්ත ගැන පවා සොයා බලන බව දැක ගත හැකි විය. එසේ ම ඇය එකවර හැමතැනම පෙනී සිටියා ය. එතරම් කඩිසරව ඔබ මොබ යමින් කිවිඳියකගේ භූමිකාවත් පුවත්පත් කලාවේදිනියකගේ භූමිකාවත් දෙකම එකවර ඉටු කර ගන්නට ඇය වෙහෙසුණා ය. ලාල්, ජනක, චිරත්මා, සුභාෂිණී, සමුද්‍රිකා, ගිම්හානි ඇතුළු කවුරුත් අපට ඡායාරූප ගැනීමේදී සහාය වූහ. අඩි දොළහක් පහළොවක් තරම් උස වූ ද අඩි හතරක් පහක් තරම් පළල වූ ද සුදු පුවරු මත ඇගේ තෝරා ගත් කවි ප්‍රදර්ශනයට තබා තිබුණි. ඇගේ ඡායාරූප හා චිත්‍රයට නැඟුණු ඇගේ මුහුණ ද විවිධ හැඩතල හා කෝණවලින් දක්නට ලැබුණත් ඒ එකම එකකින්වත් සාමාන්‍ය රුසියානු කාන්තාවකගේ පියකරු සිනාව පිළිබිඹු වූයේ නැත. බොහෝවිට ඇය සිටියේ ගැඹුරු කල්පනාවක ය. හින්දි සිනමාවේ කඳුළු බින්දුව මීනා කුමාරි ලෙස හැඳින්වෙන්නාක් මෙන් රුසියානු කවියේ කඳුළු බින්දුව ආන්නා අක්මතෝවා ලෙස සැලකෙයි.
ඇය උපත ලැබුවේ 1889 ජුනි 23 වන දා රුසියාවේ ඔඩෙස්සාවලට නුදුරුව ය. වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ ඇගේ පියා 1905 දී ඇගේ පවුලෙන් වෙන් වී ගියේ ය. පුරා වසරක් මව හා දරුවන් සිටියේ දුක්ඛිත තත්ත්වයේ ය. 1905 දී ඇති වූ ජන අරගලයේ අමිහිරි, නීරස බලපෑම ඇය සිටි හුදෙකලා පෙදෙසට ද දැඩි ලෙස බලපෑවේ ය. ඒ ඇයට වයස අවුරුදු 16 වන විට ය. විවිධ අසීරුතා මැද ඇය පාසල් අධ්‍යාපනය නොනැවැත්වූ අතර 1907 දී ෆුන්දුක්ලියේව් වියරණ විදුහලෙන් උපාධිය ලැබුවා ය. පසුව දැනට යුක්රේනයට අයත් කීව් නුවර උසස් අධ්‍යාපන ආයතනයේ නීති පීඨයට ඇතුළත් වූවා ය.
ඇය 1910 දී විවාහ වන්නේ එවකට ප්‍රකට රුසියානු කවියකු වූ නිකොලායි ස්තෙජාගනාවිච් ගුමිලියෙෆ් සමඟ ය. පසුව ඔවුහු දෙදෙනා මාසයක කාලයක් ප්‍රංශයේ පැරිස් නුවර පදිංචියට ගියහ. අනතුරුව යළිත් ශාන්ත පීතරබුර්ගයට පැමිණියහ. එහිදී ඇය “රයෙව්” සාහිත්‍ය හා ඉතිහාසය පිළිබඳ උසස් පාඨමාලාව හැදෑරීමට ඇතුළත් වූ අතර ඒ වන විට ඇය කවි ලියමින් සිටියා ය. අක්මතෝවාගේ අදහසට අනුව 1910 වනවිට කවියක දක්නට ලැබිය යුතු මූලික ලක්ෂණ කිහිපය එනම්, ආකෘතිය හා අන්තර්ගතය වැනි කරුණු පැහැදිලිවම අර්බුදයකට ලක්ව තිබුණි. තරුණ පරපුර මේවාට රුචියක් දැක්වූයේ නැත. 1912 දී යළි පැරීසියට ගොස් පසුව ඉතාලියේ සංචාරය කළා ය. ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය වූ “සන්ධ්‍යාව” 1912 දී ප්‍රකාශයට පත් කෙරිණි. මුද්‍රණය කළේ ඉන් පිටපත් තුන්සියයකි. ඊට ලද ප්‍රතිචාරය සතුටුදායක විය. ඇගේ එකම පුතා ‘ලෙෆ් ගුමිලියෙෆ්’ උපන්නේ 1914 දී ය. දෙවන කාව්‍ය සංග්‍රහය 1914 මාර්තුවේ දී “රෝස උයන“ නමින් පළ කෙරිණ. වී. අයි. ලෙනින්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය 1917 ඔක්තෝබරයේ දී සිදු විය. 1917 ආසන්න කාලවකවානුව වන විට රටේ හාමත හා විනාශය දිනෙන් දින වැඩි වූ බව ද එහෙත් 1917 විප්ලවයෙන් පසුව ඒ සියල්ල වෙනස් වූ බව ද අක්මතෝවා සිය ජීවන චරිතය තුළ සඳහන් කර ඇත. මේ විප්ලවයෙන් පසු ඇය කෘෂිවිද්‍යා පුස්තකාලයේ සේවය කළා ය. 1921 දී ඇගේ “ප්ලාන්ටන්” කාව්‍ය සංග්‍රහයත් 1922 දී “ඇනොඩොමිනි” කාව්‍ය සංග්‍රහයත් නිකුත් කෙරිණ. අක්මතෝවාගේ විවාහක සැමියා වූ ගුමිලියෙෆ් විප්ලවයට එරෙහිව නැඟී සිටි ප්රතිවිරුද්ධවාදීන්ට එකතු වීම නිසා ඔහු ඝාතනයට ලක්විය. අලෙක්සාන්දර් පුෂ්කින් මුල් කාලයේ දී දර්ශවින් නම් එවකට ප්‍රකට කවියාගේ කවි මඟ අනුගමනය කළාක් මෙන් අක්මතෝවා ද මුල් කාලයේ දී අනුගමනය කෙළ් දර්ශවින් කවියාව ය. අනතුරුව ඇය පුෂ්කින්ගේ කවි මඟට ඇලුම් කරමින් ඒ අනුව විශේෂ අධ්‍යයනයක් ද කර තම කවිය ඒ අනුව යම් සකස් කිරීමක් කර ගත්තා ය. 1941 දී හිට්ලර්ගේ නාසි හමුදාව ලෙනින් ග්රාදයට කඩා වැදුණේ මහා විනාශයක් කරමිනි. ඒ වන විට නගරයේ පදිංචිව සිටි ඇයට එහි මුල් අවස්ථාව ඇති කළ කම්පනය තුළින් ලියූ කවියක් මෙසේ ය. ඇය ඒ කවියට මාතෘකාව දී තිබුණේ ‘ලෙනින්ග්‍රාදයේ පළමු ෂෙල් වෙඩි ප්‍රහාරය’ යනුවෙනි.
පෙර මෙන් ම කඩිසරය, කුතුහලික වී ය මං මාවත්
හැඳින ගතිමි මම හදිසි වෙනසක්
නගරයේ මේඝ ගිගුරුමක් නම් නො වී
දේශයේ මව්බිමේ හඬකුදු නො වී
දුරින් එන ගිගුරුමකි සියල්ලම සසල වුණි
අසනියක හඬක් සේ මුළු මහත් ගුවන් තලය ම
අසනියේ පරිවාර වලිගය තුළ හැර
කළු ගැසී පාතනය වන වලාරොදකින්
ගලා එයි දිය සීරාව
සංසිඳිනුව අලුත සී සැ පසෙහි පිපාසය
ප්‍රමුදිත තද වැස්ස
හඬක් විය මේඝ නිරය මෙන වියැළී ගිය
කැරලි ගසයි එය මගේ අවුල් වූ සවනත
මතයට එරෙහි වියරු කෑ මොර දීම්
එහි උත්කර්ෂයේ හුස්ම
අනුත්සුකවම මරණයේ ගනුදෙනුව,
වනසයි මගේ දරුවාව
(1941 සැප්තැම්බර්)
කුරිරු යුද්ධයෙන් දිව් බේරා ගැනීමට ඇය පළමුව මොස්කව් නගරයටත් පසුව උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් නගරයටත් පලා ගියා ය. මෙකල යුද්ධයෙන් බේරීම සඳහා බොහෝ දෙනා ටෂ්කන්ට්වලට පැමිණියහ. එසේ පැමිණියේ ආරක්ෂා කරගත යුතු වටිනාම වස්තූන් ද රැගෙනය. මානව කාරුණිකත්වය යන්නෙහි අරුත ද ඇය එහිදී හඳුනාගත් බව කියා ඇත. ඇය එහිදී දැඩි ලෙස රෝගාතුර වූවා ය. යුද්ධයේ නිමාවත් සමඟ 1944 මැයි මාසයේදී මොස්කව්වලට යළි ඇය පැමිණියේ ගුවන් මඟින් ය. ඒ වසන්ත සමය විය. ඇය මහත් සතුටින් එහි පැමිණියේ මව්බිමේ ජයග්‍රහණය නිසා ඉන් උද්දාමයට පත්වය.
පසුව ජුනි පළමු වැනි දින ලෙනින්ග්රාදයට පැමිණි ඇය තිගැස්සුණා ය. දැඩි කම්පනයට පත් වූවා ය. ඒ යුද්ධයේ දී ඉතිරි වූ සුන්බුන් දැකීමෙනි. ඇය ඒ අත්දැකීම් අළලා ගද්‍යමය විලාසයෙන් ලිපි කීපයක්ම ලීවා ය. ප්‍රකට විවේචකයකු ඒවා බලා සුළු දෝෂ කීපයක් හැර අනෙක්වා හොඳ අගය කළ යුතු බව කීයෙන් ඇය සතුටට පත් වූවාය. ගද්‍ය ඇයට දුරස් බව ඇය සිතුවා ය. ඒ අතර තම පුත්‍රයා ලෙන් ගුටිලියේෆ් රජය මඟින් සිරභාරයට ගත් බැවින් එවිට ඇය ඒවා සියල්ලම, ආරක්ෂිත ලේඛන ද සමඟ ම පුලුස්සා දැම්මා ය. යුද්ධයෙන් පසු අවදියේ අක්මතෝවා සාහිත්‍ය පරිවර්තනය කෙරෙහි නැඹුරුවූ අතර පරිවර්තන රැසක්ම ඒ අනුව ඇය කළාය. වසර විසිදෙකක් තිස්සේ ලියමින් සිටි “විරුවකුගෙන් තොර කවිය” 1962 දී ලියා අවසන් කළා ය. තම මාතෘභූමියේ වීර ඉතිහාසයේ රිද්මයන් අනුගමනය කරමින් තමා ලියා ඇති බව ඇගේ අදහසයි.
රුසියානු බසට අමතරව අක්මතෝවා විශාල වශයෙන් ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් පමණක් නොව ඉතාලි බස පවා කතා කළා ය. පුෂ්කින්ගේ කවිවලට දැඩි ලෙස ඇලුම් කළ ඇය ඒවා හදාරමින් ඒවා ගැන බොහෝ ලීවා ය. ඇය පුෂ්කින්ට සැලකුවේ ජීවමාන පුද්ගලයකුට වැනිව ය. ඊළඟට ඇය වඩාත් ඇලුම් කළේ ලෙෆ් තොල්ස්තෝයිට හා දොස්තයෙව්ස්කිට ය. ඇය ලෙෆ් තොල්ස්තෝයිගේ මිනිබිරිය (සොෆියා) සමඟ කුලුපග මිත්රත්ත්වයක් තබා ගත්තාය.
ආන්නා අක්මතෝවාගේ එකම පුතා ලෙෆ් ගුමිලියෝෆ් දෙවරක් ම සිරභාරයට පත් වුවත් නැවත නිදහස් විය. එසේ වුවද ඔහු එදා සෝවියට් දේශයටත් අද රුසියාවටත් මහත් සේවාවක් ඉටු කළ මානව වංශ විද්‍යාඥයෙක් විය. ජනවර්ග ගැන ඔහු රුසියාවට මතු නොව ලොවට ම වැදගත් නව සොයා ගැනීම් ද සිදු කරමින් වැදගත් ග්රන්ථ රැසක් ම ලියා තිබේ. මේ ගැන මා කරුණු දැන ගත්තේ ආචාර්ය රංජන දේවමිත්ර සේනාසිංහගෙනි. රංජන සිය ආචාර්ය උපාධිය සඳහා රුසියාවේ උසස් අධ්‍යාපනය ලබමින් සිටිය දී එම වැදගත් ග්රන්ථ කීපයක් ම පරිහරණය කළ බව මට දැනගත හැකි විය. එසේ ම ආන්නා අක්මතෝවාට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනමා ඇති බවත් එය බාර ගැනීමට ඇය එහි ගොස් ඇති බවත් සඳහන් ය. අක්මතෝවාට 1965 සහ 1966 වසර දෙකේදීම සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමීමට නිර්දේශ වී තිබේ.
1941 නාසි හමුදාව ලෙනින්ග්රාදයට පහර දෙන්නට වියරුවෙන් පැමිණෙන විට ඇය ටෂ්කන්ට්වලට පලා යාමට පෙර ලෙනින්ග්‍රාද් ගුවන් විදුලියෙන් තම නගර වැසියන් අමතා වැදගත් කතාවක් කළා ය. ඒ මෙසේ ය.
“ලෙනින්ග්‍රාද් නගරවාසී දයාබර පුරවැසියනි, මව්වරුනි, බිරින්දෑවරුනි, සොහොයුරියනි,
පුරා මාසයකටවත් වඩා වැඩි කාලයක පටන්ම සතුරන් අපේ නගරය විනාශ කරන බවටත්, මාරාන්තික තුවාල සිදු කරමින් අපට පහර දෙන බවටත් තර්ජනය කරමින් සිටිනවා. සතුරන් මේ තර්ජනය කරන්නේ මහා පීටර්ගේ නගරයට යි. ලෙනින් නගරයටයි. පුෂ්කින්, දොස්තයෙව්ස්කි සහ බ්ලෝක්ගේ නගරයටයි. අපේ නගරයට යි. එහි ශ්‍රේෂ්ඨ සංස්කෘතික හා ශ්‍රමික සම්ප්‍රදායටයි. මරණය හා අවමානය සමඟයි. සියලුම ලෙනින්ග්‍රාද් වැසියන් මෙන් ම මා ද බියට පත්ව සිටින්නේ අපේ නගරය, මාගේ මේ නගරය කැළිකසළ ගොඩක් බවට පොඩිපට්ටම් කර දමාවි කියායි. මගේ මුළු ජීවිතය ම රැඳී පවතින්නේ ලෙනින්ග්‍රාදය සමඟයි. මා කවියකු වූයේ මේ ලෙනින්ග්‍රාදයේ දී යි. මාගේ කවි හුස්ම ගන්නා වාතය ඇත්තේ, ඒ එකම වාතය ඇත්තේ ලෙනින්ග්‍රාද්හි වාතලයේ යි.
මේ මොහොතේ දී, ඔබ සියල්ලන් මෙන් ලෙනින්ග්‍රාදය කිසිදා ෆැසිස්ට්වාදීන්ට උරුම නොවන බවට මා මගේ අචල විශ්වාසයේ එල්බ ගෙන සිටිනවා. සාමාන්‍ය මානව ජීවිතය පවත්වා ගෙන යමින් ලෙනින්ග්‍රාදය ආරක්ෂා කර ගනිමින් සිටින අපේ කාන්තාවන් දකින විට මගේ විශ්වාසය තවත් ප්‍රභල, බලගතු වෙනවා. අපේ මතු පරපුර, මේ දේශප්‍රේමී යුද්ධය සමයේ විසූ සෑම මවකටමත්, කාන්තාවකටමත් ගෞරව කරනු ඇති. නමුත් ඔවුන්ගේ දැඩි බැල්ම කාන්දමක් සේ ඇදී යනු ඇත්තේ, බෝම්බ හෙළන විට වහල මත නැඟ කොකු හෝ අඬු අතැතිව සිටි, නගරය ආරක්ෂා කරන්නට, ගිනිවල තර්ජනයට එරෙහිව ඒවා නිවන්නට, ලෙනින්ග්‍රාද් සිවිල් ආරක්ෂක බළකායේ සහායට ගිය, ඔවුන් අවට වූ ගොඩනැඟිලි කඩා වැටෙන, ගරා වැටෙන විට ඒවාට මුහුණ දෙන්නට සිටි ලෙනින්ග්‍රාදයේ කාන්තාවන් වෙත යි.
මෙවන් ගැහැනුන් තැනූ නගරයක් පරාජය කළ නොහැකියි. ලෙනින්ග්‍රාද් වැසියන් වන අප දුෂ්කරතා හා අතුරු අනතුරුවලින් පෙළෙමින්, බැටකමින්, විඳිමින් සිටිනවා විය හැකියි. නමුත් මුළු රටමත් රටේ හැම දෙනාමත් අප සමඟ සිටින බව අපේ විශ්වාසයයි. අපේ මේ ව්‍යසනයේ දී අපි ඔවුන්ගේ අනතුරු ඇඟවීම වටහා ගනිමු. අපගේ දුකේදී ඔවුන්ගේ ආදරය, සෙනෙහස, ඔවුන්ගේ වෑයම් අපට උදව්වටත් සහායටත් ලැබෙනු දකින විට අපි සංවේදි වෙමු. අප ඔවුන්ට ස්තුතිවන්ත වන අතර අප හැමවිටම ඔවුනට පොරොන්දු වන්නේ නොසැලී සිටගන්නා බවටත් කිසිදා අධෛර්යයට පත් නොවන බවටත් බව කිව යුතුයි.”
කරුණාතිලක හඳුන්පතිරණ