කතුවැකිය | සිළුමිණ

කතුවැකිය

පොපි මල; සූරිය මල සහ වසංගත දේශපාලනය

පි ගිනි කන්දක මුවවිට වාඩිවී සිටිමු. රත්වූ ලාවා කොයි මොහොතේ හෝ ගලාවිත් සිරුරු මතින් ගලා යෑමට ප්‍රථම අප කුමක් හෝ කළ යුතු ව ඇත. ස්වයං නිවාස අඩස්සියකට නතුව ජීවිතය පිළිබඳ ව අපේක්ෂා වෙනස් ම තැනක ප්‍රතිගබඩා කර තිබේ. දිවයිනට ම බලපෑ සංචරණ නීතිය නොතකා මුළු ලොවම වෙළා ගනිමින් සිටින වසංගත වයිරසයක් සමඟ දිනෙන් දින ඉහළ යමින් පවතින ජීවිත හානි සංඛ්‍යාව සිත කම්පනයට පත් කරයි.

සිරිසඟබෝ රාජ්‍ය පාලන සමයේ අනුරාධපුර රාජධානිය නියඟයට හසු වී සශ්‍රීකත්වය කෙමෙන් වියැකෙමින් තිබූ අවදියක් විණි. ඒ අභාග්‍යයට අමතර ව ක්‍රි.ව. 242-244 කාලය ඇස්‌ රතු වී උණ ගැනී එක දිගට සිය දහස්‌ ගණනින් සමූලඝාතනයක්‌ කළා වූ රක්‌තාක්‌ෂික යක්‌ෂ උවදුරක්‌ පිළිබඳ ව, මහාවංශය මෙන්ම එළු අත්තනගලුවංශය ද සටහන් කරයි. මේ ව්‍යසනය මැලේරියාව විය හැකි ය යන්න බොහෝ විද්වතුන් ගේ මතයයි.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියේ එන ජිනදාසගේ චරිතය ඔස්සේ කතුවරයා එකල්හි රට වෙළාගත් වසංගතයක් ගැන සඳහන් කරයි. සිංහලේ වෙළෙඳාම පිණිස යන ජිනදාස එකල පැතිරෙන උණ වසංගතයකට ගොදුරු වී මරණයට පත්වෙයි. ඒ වසංගතය ද අන් කිසිවක් නොව මැලේරියාව ය.

වසර 1934 දී ඇති වූ මැලේරියා ප්‍රහාරයට එරෙහි ව වෛද්‍ය ඇස්‌. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. සිල්වා, පිලිප් ගුණවර්ධන ආදී වාමාංශික නායකයන් දේශපාලන වේදිකාවෙන් ගෙපැලට පිවිස රෝගී මහජනතාව වෙනුවෙන් ශ්‍රමයෙන්, ධනයෙන්, බඩු බහිරාදියෙන් උදව් කළහ. පසුව රජය විසින් කරන ලද සංගණනයට අනුව මැලේරියාවෙන් පුද්ගල මරණ 125,000ක්‌ සිදු වී ඇති බව වාර්තා වූහ.

විදේශීය රටකදී මැලේරියා රෝගයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව වසර 2013 දී අනූපහකි; 2014 දී එය හතළිස් නවයකි; 2015 දී තිස්හයකි; 2016 දී තිස්හයකි; 2017 දී පනස් හයකි; 2018 දී පනස් දෙකකි; 2019 දී තිහකි. මැලේරියාව පිළිබඳ මතකය හැත්තෑවේ දශකයට එපිට ජීවත් වූ සෑම අයකු ම අදටත් සිහිකරන්නේ අතිශය කම්පනයක් විඳිමිනි. සුප්‍රකට දේශාටකයන් වූ වස්කෝද ගාමා, ඉංගිරිසි ජාතික වෛද්‍ය ඩේවිඩ් ලිවින්ස්ටන්, මෙන්ම ඇමෙරිගෝ වෙස්පුචී මිය ගියේ ද මැලේරියාවෙනි. වසංගතයෙන් පීඩිත ජනතාවට සහන සලසනු වස් සූරිය මල් ව්‍යාපාරය ඇරඹෙන්නේ මෙකල්හි ය.

සූරිය මල් ව්‍යාපාරය ජනතාව අතරට යන්නේ පළමු වැනි ලෝක යුද්ධයේදී ආබාධිත ඉංග්‍රීසි හමුදාවේ සෙබළුන්ගේ සුබසාධනය වෙනුවෙන් හඳුන්වා දුන් රතු පැහැති අධිරාජ්‍යවාදී පොපි මලට විරුද්ධ ව ය.

පොපි මල් අලෙවියෙන් එකතු වන මුදල් යළි ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවූයේ නැත. එබැවින් පොපිමල් ව්‍යාපාරයට මෙරට ජනතාව තුළ පිළිගැනීමක්‌ ඇතිකිරීමට ඉංග්‍රීසීන්ට හැකියාව ලැබුණේ නැත. එහෙත් සූරිය මලට ජනතාව ආදරය කළහ. එහි ප්‍රතිපාදන සියල්ල වෙන්වූයේ මැලේරියාවෙන් අසරණ වූ අපේ ම ජනතාව වෙනුවෙනි. කහ පැහැති සූරිය මල වටා සියලු ම ශ්‍රී ලාංකිකයෝ එක්‌වන්නටත්, ඊට ආදරය කරන්නටත් පටන් ගත්හ.

මැලේරියා සහන අරමුදල රුපියල් 18,856.89 ක් විය. මැලේරියාවට ගොදුරු වූ තුන් කෝරලයේ ජනතාවට කෑම බීම සහ බෙහෙත් ද රැගෙන ඇන්.එම්. ඇතුළු පිරිස නිවෙසක් පාසා ගියේ පාලකයන් මැලේරියා පාලනය කළ නොහැකි යැයි අතහැර දමා තිබූ අවදියක ය. කඳු හෙල් පල්ලම් ආදී බාධා පමණක් නොව මුදලි මුහන්දිරම්වරුන්ගේ රැවුම් ගෙරවුම් ද මැඬගෙන ඔවුහු මැලේරියා රෝගීන් ගැන සොයා බැලූහ.

එනිසාම තුන් කෝරලයේ ජනතාව ඇන්. ඇම්. හැඳින්වූයේ ‘පරිප්පු මහත්තයා’ යන ආදරණීය නමිනි. එකල පිලිප් ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ කූඩැල්ලන් කඩ කඩා ගෙන්ගෙට ගොස් හාල්, පරිප්පු, මාමයිට්, සීනි, තේ කොළ බෙදා දුන්හ. ගෙවල්වල රෝගයෙන් පීඩිත ව සිටි ලෙඩුන්ට කැඳ උයා දුන්හ. ජනතා හදවත්හි ඔවුහු සදාකාලික ආදර ගෞරවයට පාත්‍ර වූයේ ජනතාව වෙනුවෙන් පෙරට පැමිණි නිසා ය.

එවකට මැලේරියා රෝග මර්දනය සඳහා සෞඛ්‍ය අංශ මඟින් කළ කැපවීම හා රාජ්‍ය මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස, වසර 1963 වන විට ලංකාවේ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 17 කට අඩු කර ගත්තේ ය.

වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ ද ඉතිහාසය පුනරුච්ඡාරණය වීමකි. කොවිඩ් වසංගතය රට පුරා පැතිරෙමින් සිටියදී සුව සහන සෞඛ්‍ය සේවා මැදිහත් වීම අගය කටයුතු ය. රුපියල් පන්දහසක මුදලක් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 40කට කිහිපවරක් ලැබිණි.

රෝගීන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන රට පුරා විවෘතය. අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථානවලට දවස් 10 න් ඇඳන් 10,000 කඩිනමින් සැකසිණි. රට පුරා විධිමත් ක්‍රමවේදයක් යටතේ එන්නත්කරණය කරමින් තිබේ. එයට ලොකු පොඩි, ඇති හැකි භේදයක් නැත. සියල්ලන්ට ම පොදු ය.

එදා ඇන්. ඇම් ලා මෙන් අද ද ජනපති සහ අගමැතිගේ නායකත්වයෙන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් කොවිඩ් වසංගතය මර්දනය වෙනුවෙන් පෙළ ගැසී සිටිති.

සැලසුමක් ඇතිව වැඩ කිරීමෙන් ඕනෑම දුෂ්කර තත්ත්වයක් මඟ හරවා ගත හැකි බව සත්‍යයකි. ජපන් ආර්ථික විශේෂඥයකු වූ සමූ මියොසොකී පෙන්වා දෙන අන්දමට ජපානය සංවර්ධන ඉලක්ක ජය ගත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු මුහුණ දුන් දුෂ්කර ම කාලය තුළ සංවිධානගත වීමෙන් හා ඉලක්ක සඳහා වැඩ කිරීමෙන් ය.

වසංගත, ස්වාභාවික විපත්, බලශක්ති අර්බුද හා දේශපාලන විපර්යාස කොයි රටකට වුව ද අලුත් දේවල් නොවේ. සිදු විය යුත්තේ ඒවාට සාර්ථක ව මුහුණ දෙමින් ස්වකීය ඉලක්ක කරා ගමන් කිරීම ය. ආර්ථිකය නඩත්තු කරගත නොහැකි වන ප්‍රධාන බලවේග අතර ප්‍රමුඛ තැනක් ගන්නේ වසංගත පැතිරීම ය. මෙවැනි වසංගතයක් අවසන් වූ ඉනික්බිති කාලයක් තිස්සේ මිනිස්සු විරැකියාව, දුගී බව හා කුසගින්න අත්විඳිනු ලැබීම අනිවාර්ය කරුණකි.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින්නේ තීරණාත්මක දින කිහිපයකට ය. ලෝකය ම වෙළී ඇත්තේ බිහිසුණු කම්පනයක බැව් ගෙවෙන තත්පරයක් පුරා ම රෝම කූපවලට පවා දැනෙමින් තිබේ. ගුණෝත්තර ශ්‍රේණියක රටාවට සියල්ල ඉහළ යමින් තිබේ. අධි තක්සේරුවකින් තමාගේ හැකියාවන් පිළිබඳ උදම් ඇනූ මිනිසාට, සොබාදහම ඉදිරියේ තමන් අබැටක් තරම් වන බැව් සොබාදහම ම පෙන්වා දී තිබේ. නැඟී සිටිය හැක්කේ ද අපට ම ය; අපේ ම ශක්තියෙනි.

ඇන්. ඇම්ලා, පිලිප් ලා පරිප්පු බෙදමින්, කැඳ උයමින් එදා හැටියට මැලේරියාවෙන් ජනතාව බේරා ගන්නට තැත් කළා සේ අද ද සියලු පක්ෂ නායකයෝ එක පෙළට සිට ගන්නේ නම් කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීම අසීරු නැත. මානව සම්පත රැකේ නම් අනෙක් භෞතික සම්පත් රැක ගැනීම හා වර්ධනය කිරීම අසීරු නැත.

තිස් වසරක් පුරා සිංහල- දමිළ ද්වීපාර්ශ්වික ජනතාව ම බිල්ලට ගත් යුද්ධයක්; මානූෂීය මෙහෙවරක් ඔස්සේ සාර්ථකව නිම කර වසර දොළහක් ගෙවෙන මේ මොහොතේ සියලු ලාංකිකයන් සීරුවෙන් සිට ගත යුත්තේ, බටහිර රටවල් තෙවන ලෝක යුද්ධය ලෙස හඳුන්වන කොවිඩ් වසංගතය පිටු දැකීම වෙනුවෙනි. අතීත ස්මරණයක් අප පෙළ ගැසුවේ ඒ අර්බුද කළමනාකරණය වත්මනට ද කදිම ආදර්ශ සපයන නිසා ය.

Comments