පහන් සංවේගය මතුකරන සුනිල් සාන්ත ගී හඬ | සිළුමිණ

පහන් සංවේගය මතුකරන සුනිල් සාන්ත ගී හඬ

 හඬේ ප්‍රබලත්වයෙන් ජනතා සන්තානය සුවපත් කළ සුනිල් සාන්ත හුදෙක් තම ජීවිත දර්ශනය සංගීත දිවියෙන් ද පසක් කිරීමට සමත් වූයේය. බොහෝවිට සංගීතය නැති කල ගායකයාගේ ගැයුම ද නිරර්ථක වේ. රසය ඉපදවීමට නම් සංගීතය වැදගත්ය. සංගීත භාණ්ඩ රැසක් එක් කරමින් ගීයකට නැවුම් තාලයක් දීමට උත්සාහ කරන්නේ එහෙයිනි. එහෙත් සුනිල් සාන්තයන් ගීත ගයන විට සංගීතය නැතුව ද සුමිහිරිය. ඒ ගැන පහදමින් දිලීප අබේසේකර තම කතාව ආරම්භ කළේය.

‘එයට හේතුව හඬේ ප්‍රබලත්වය. ඒ ප්‍රබලත්වය සංකේත රූප මවනව. ගීතයට පණ දී සිතුවම් පටයක් සේ දෑස අබියස කතාව ජීවමාන කරනව. ‘වලාකුළින් බැස සමන් කුලත් වැඳ එලෝ බලා යනවා‘ සුනිල් සාන්තයන්ගේ ප්‍රතිභාපූර්ණ හඬ වචනවල ඇති අරුත් තීව්‍රර කරන අයුරු බලන්න. අරීසෙන් අහුබුදු සූරීන් ඔහුගේ හඬට ගැළපෙන ලෙසම ඒ රචනාව කරනව. අද ද ඒ ගී හඬට රසික ජනතාව ඇදී යනව නේද? ‘එම්බා ගංගා ගංගා නවතිනු නවතිනු ගංගාවේ‘ අරීසෙන් අහුබුදු සූරීන්ගේ තවත් රචනාවක් වූ එයින් තව තවත් චිත්ත රෑප මවන්නේ, ඒ ගීතය පරපුරෙන් පරපුරට වැළඳගන්නේ, සුනිල් සාන්තයන්ගේ හඬේ ප්‍රබලත්වය නිසා.‘

‘සංගීතය හදාරා කිසිදු වැඩක් නොමැති යැයි පිළිගැනෙන කාල වකවානුවක සුනිල් සාන්ත සංගීතය ඉගෙන ගැනීම සඳහා ඉන්දියාවට ගියා. ඔහුගේ වචනවලින් පවසතොත් නැවත සුනිල් ශාන්ත ලංකාවට පැමිණෙන්නේ අමු ඉන්දියානුවෙක් ලෙසයි. එහෙත් ඒ සියල්ල වෙනස් කිරීමට කුමාරතුංග මුනිදාසගේ එක් ලිපියක් හේතු වුණා. ඒ කාලෙ තමයි කුමාරතුංග මහත්තයගෙ භාෂා විප්ලවය ඇති වුණේ. බොහෝ දෙනා මෙය භාෂා විප්ලවය ලෙස හැඳින්වූවත් මම එය දකින්නේ චින්තන විප්ලවයක් ලෙසයි. එයට හේතුව තමයි මේ මඟින් ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇතිවීම. මේ චින්තනය මඟින් බොහෝ දෙනාගේ ක්‍රියාකලාප පවා වෙනස් වුණා. දැඩි තීරණ ගත් තරුණයෙක් වූ සුනිල් සාන්ත කුමාරතුංග මුනිදාසගේ ලිපියක් කියවීමෙන් පසු වෙනස් වුණා. කුමාරතුංග මුනිදාසගේ කවි කියවීමෙන් පසු මෙරට ප්‍රබල නාද මාලාවක් ඇති බව සුනිල් සාන්ත තරුණයා හඳුනාගත් බව කියැවෙනව. මේ හඳුනා ගැනීම පර්යේෂණ සංගීතයක් හැදෑරීමට බෙහෙවින් උපකාරී වූ බව හිතන්නට පුළුවන්. අපේ සමප්‍රදායේ නාද මලා හා ඔහු හැදෑරූ සංගීතය යොදා ගෙන අලුත් සංගිතයක් දායාද කරන්නට සුනිල් සාන්ත උත්සාහ කළා.‘

ඔහු අලුත් දේ නිර්මාණය කරන්නට වෙහෙසුණේ සම්ප්‍ර්‍රදායෙන් අපට ලැබුණු දේ නොසලකා හැර නොවේ.

‘ඔව්. මේ කාලවකවානුවේ ආනන්ද සමරකෝන් ඇති කළ ජනප්‍රිය ගීත රැල්ලක් ලංකාවේ තිබුණ. සොබා දහම හා ප්‍රේමය ගැන තමයි එයින් ඉස්මතු වුණේ. සුනිල් සාන්තත් එවැනි මඟක් ගත් බව පැහැදිලියි. එහෙත් ඔහු තමන්ටත් රටටත් ආවේණික ගීත කලාවක්, සංගීත රටාවක් බිහි කරන්නට කල්පනා කළා. අප දන්නව මේ කාලයේ ගීතය අසන්නට ඇති එකම මාධ්‍ය ගුවන්විදුලිය. ග­්‍රැමපෝන් ගීතයට පසුව ගුවන් විදුලි මාධ්‍ය වැඩි පිරිසක් අතර ජනප්‍රිය වෙනව. එහෙත් මුල් කාලයේදි ගීත පටිගත කිරීමක් සිදුවුණේ නැහැ. සජීවීව තමයි ගායනා කෙරුණෙ. තැටි ගත ගීත එන්නෙ ඊට පසුව. ගුවන්විදුලියේ තැටි ගත කළ පළමුවෙනි ගීතය ගායනා කරන්නේ සුනිල් සාන්ත. ‘ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා සුදට සුදේ නංගෝ‘ ගීතය. අදටත් ජනප්‍රිය මේ ගීතය සිංහල ගීතයට ඔහු දුන් අනන්‍යතාව තහවුරු කරනව. මේ ගීතය ජනතාව අතර ජනාදරයට පත් වෙන අතර අද පවා ජනතාව අතර නොමැකී පවතිනව. ලංකාවට ගැළපෙන ගී ආර කුමක් ද කියන එක අවබෝධ කරගැනීමට සුනිල් සාන්තට හැකිවීම වාසනාවක්.‘

‘මේ අතරතුර කාලයේ දී ගුවන්විදුලිය විසින් සිදු කරන ලද රතන්ජංකර් වර්ගීකරණයට සුනිල් සාන්ත අකමැති වුණා. ලංකාවේ ගායක ගායිකාවන්ගේ හඬවල් වර්ගකිරීම ඉන්දියානු රාගධාරී සංගීත විශාරදයකුට පැවරීම ඔහුගේ විරෝධයට ප්‍රධාන හේතුව වුණා. ඇරත් සුනිල් සාන්තත් ඒ වන විට ඔහු තරමටම සංගීතය හදාරා සිටි අයෙක්. ගුවන්විදුලිය කළේ උචිත නැති කටයුත්තක් ලෙසයි ඔහු දුටුවෙ. ‘ලංකාවේ එහෙම හඬ වර්ගීකරණය කරන්න බැහැ. අපේ ශිල්පීන්ගේ දක්ෂතාව හෙළා තලා දැමීමක් තමයි මේ කරන්නේ.‘ කියා සුනිල් සාන්ත ගුවන්විදුලිය හැර දමා යාමට තීරණය කරනව. මේ නිසා ගුවන්විදුලිය බැබළවූ ප්‍රබල ගී හඬ මැකී යනව. මේ තීරණාත්මක සිදුවීමෙන් පසු සුනිල් සාන්ත කිසිදු ගුවන්විදුලි වැඩසටහනකට සහභාගි වෙන්නෙ නැහැ.

එයින් සංගීත කේෂ්ත්‍රයටම වූයේ සුළු පටු පාඩුවක් නෙමෙයි. සෑහෙන කලක් නිද්‍ර­ාගතවීමෙන් පසු යළිත් සුනිල් සාන්ත ගුවන්විදුලියට පැමිණෙන්නේ හැටේ දශකයේ නෙවිල් ජයවීර සභාපතිවරයාගේ කාල වකවානුවේදි. නැවැතත් සුනිල් සාන්තගේ හඬ ගුවන්විදුලි ශ්‍රාවකයන්ගේ පරිකල්පන ශක්තිය අවදි කිරීමට සමත් වෙන්නෙ සෑහෙන කාලයක නිහැඬියාවකට පසුවයි. නැටුම් ගැයුම් නරඹන්නට රංග ශාලාවකට නොගොස් නි‍ෙවසේම සිට රඟපෑම් මැවෙන මැවුම්කාර හඬට සවන් යොමු කිරීමට ශ්‍රාවකයන්ට ඉන්පසු යළි හැකි වෙනව. මෙහි ප්‍රතිඵලයක් ලෙස ‘පංචමධුර‘ වැනි ප්‍රතිභාසම්පන්න, ඥාන ශක්තිය අවදිකරන වැඩසටහන්වලින් සුනිල් සාන්ත යළිත් කලඑළි බසිනව.

සුනිල් සාන්ත බෞද්ධ නොවීමත් බටහිර සංගීතය මෙරටට ගෙන එන්නට උත්සහ කරන අයෙකු ලෙසත් සලකා ඔහුට ක්ෂේත්‍ර යේ ඉඩ නොදීමට ඇතැම් පිරිස් කටයුතු කළ බව කියැවෙනව. එහෙත් ඔහු අනාගත පරපුරට, විශේෂයෙන් එදා අංකුර ගායකයන්ට මහඟු ආදර්ශයක්, අධ්‍යනයක් ලබා දුන්නා.

‘කුමාරතුංග මුනිදාස මහතාගේ චින්ත විප්ලවයෙන් පිබිදීම, බටහිර හෝ කතෝලික සංස්කෘතියෙන් සුනිල් සාන්ත ලබා ගත් ආදර්ශ, පැරැණි ජන සංස්කෘතිය හා එහි නාද රටා ගැන විමසිලිමත් වීම, මේ සියල්ල එක්වීමෙන් ලබාගත් ගීත කලාවක් සුනිල් ශාන්තගේ සංගීතයේ තියෙනව. හියුබට් දිසානායක සහ අරිසෙන් අහුබුදු ගේ පදමාලා තමයි සුනිල් ශාන්ත වැඩිපුරම ගායනා කළේ. සුනිල් සාන්තගේ වර්ගීකරණයට අනුව හියුබට් දිසානායක ප්‍රේම ගීත රචනයට සුදුසු බවත් අරිසෙන් අහුබුදු දේශාභිමානී ගීතවලට සුදුසු බවත් කියැවුණා. මේ රචකයින් දෙදෙනා දෙවිදියේම ගීත ලියල තියෙනව.

ප්‍රේම ගීත සහ පරිසර වර්ණාත්මක ගීත ගායනා කිරීමෙන් පසු තමන්ගේ අන්‍යනතාව උදෙසා ශ්‍රාවකයන් පිරිසක් සුනිල් සාන්ත වෙනුවෙන් බිහි වෙනව. මේ බිහිවීම තමන්ගේ ජයග්‍රහණයක් ලෙස සුනිල් සාන්ත දකින්න ඇති.

සුනිල් සාන්තයන්ගේ හඬ දැන හෝ නොදැන වත්මන් ගායකයන් ප්‍රගුණ කරන තැනකට ගියා. මේ අනුව අයිවෝ ඩෙනිස්, හෙන්රි කල්දේරා, කැලැරන්ස් විජේවර්ධන තම ගීත ගැයීමේ දී හඬේ ප්‍රබලතාව උපයෝගි කරගන්නා බව පැහැදිලිව දක්නට ලැබෙනව. කැලැරන්ස්ගේ ‘ඉරක් බැස ගියා‘ කියන ගීතයත් සුනිල් සාන්තගේ ‘මිහිකත නළවලා‘ කියන ගිතයත් කොයිතරම් සමාන ද? සුනිල් සාන්තගේ ගීතයේ තියෙන්නේ ගුරුවරියක් ගැන කැලැරන්ස්ගේ ගීතයේ තියෙන්නේ පාසල් ගමන ගැන. බටහිර නාදමාලා ගෙන ඒවාට උචිත ගීත සැකසීමේ කලාව මුලින්ම හඳුන්වා දෙන්නේ සුනිල් සාන්ත. මේ කලාවම කැලැරන්ස් ඉදිරියට ගෙනයෑම ඉතාමත් ප්‍රශස්තයි. ආර්. ඒ. චන්ද්‍රසේන, ෂෙල්ටන් ප්‍රේමරත්න යන අයත් මේ ආභාසයෙන් ඔපමට්ටම් වන අය ලෙස හඳුන්වාදිය හැකිය.

මේ අය සංගිත මාස්ටර්ලා ලෙස සංගීත ක්ෂේත්‍රයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන අතර සුනිල් සාන්තගේ හුරුව ඉදිරියට ගෙන යෑමට තැත් කළා.

අද ගායක ගායිකාවන් සරල ජනප්‍රියත්වය කෙරෙහි හඹා ගියත් එදා සුනිල් සාන්තයන්ට එලෙස අවශ්‍ය වුණේ නැහැ. අපේ සංස්කෘතියේ කියැවෙන හිතේ පහන් සංවේගය ජනිත කරන්නට සුනිල් සාන්ත තම ගායනය උපයෝගී කර ගත්තාය කියා හිතන්නට පුළුවන්.

හොඳ වෙලාවට ඒ කාලෙ ‘ප්‍රබුද්ධ ගීත‘ කියන වර්ගීකරණය කරළියට ඇවිත් තිබුණෙ නැහැ.

ඒ කාලයේ ඒ ලක්ෂණ වර්ග නොකිරීම නිසා හොඳ සින්දු ජනප්‍රිය වීමත්, ජනප්‍රිය සින්දු හොඳ විමත් දක්නට හැකියි. සුනිල් සාන්ත මහතාගේ ගීත ප්‍රබුද්ධ ගීත මෙන්ම ජනප්‍රිය ගීත ද වූයේ ශ්‍රාවක රසාද්වාදය උපරිම තලයකට ගෙන ඒමට හේතු වූ නිසා. ‘ප්‍රබුද්ධ ගීත‘ වර්ගීකරණය පසු කාලෙක සිදුවන්නක්. ඒ කාලයේ සිටි සංගීතමය තරුව තමයි සුනිල් සාන්ත. ඔහුගේ රූපකායටත් ජනතාව ආකර්ෂණය වුණා.

එදා තරු යුගයක් නොවුණත් එදා පෑයු තරුවක් ලෙස සුනිල් සාන්ත හඳුන්වා දිය හැකියි. ඒ වගේම එදා ශ්‍රාවකයන්ට වැදගත් වුණේ කෘතිය මිස කෘතිය සෑදූ අයගේ ජාතිය, ආගම නොවේ. එසේ නොවී නම් කතෝලික සංස්කෘතික පසුබිමකින් ආ සුනිල් සාන්තගේ ගීත ජනතාව මෙතරම් ආදරයෙන් වැලඳ ගන්නේ නැහැ. එහෙත් වත්මන් ශ්‍රාවකයාට අවශ්‍යවන්නේ නිර්මාණයට වඩා පුද්ගලයා කවුද යන බව.

එදා පැවැති ජාති ආගම් අතර සමගිය නිසා තමයි නිර්මාණ එතරම්ම දියුණු වුණේ. ඒ මිශ්‍ර සංස්කෘතියකයි නිර්මාණයක ප්‍රබලත්වය, එහි නිර්මාණාත්මක ගුණය ආරක්ෂා කරන්නට හැකි වුණේ. එදා නිර්මාණවල නිර්මාණත්මක ප්‍රබලත්වයක් ඇති බව අපට දැනෙන්නේත් දියුණු පරිකල්පනයක් ඇති බව පැහැදිළි වෙන්නේත් එබැවිනි. ‘ඕලු පිපිලා වෙල ලෙළදෙනවා‘ ගීතයෙන් රසික හදවත් නැළවුණා මිස, ඒ නැළවුමට තව තවත් සමීප වූවා මිස සුනිල් සාන්තගේ සංස්කෘතික පසුබිම ගැන විග්‍රහ කරන්නට ගියේ නැහැ.

මිශ්‍ර සංස්කෘතිය අපට දායද කළ නිර්මාණ සහ නිර්මාණකරුවන් ගැන එදා අප සමාජය අගේ කළා. අද එවැනි මානසිකත්වයක් නැහැ. සංස්කෘතික මුහුවීම විශාල වටිනාකමක් ඇති බව වටහා ගන්නා අය අල්පයි. හොඳ නිර්මාණ බිහිවීමේ හිඟතාව කෙරෙහි මේ කරුණත් අද බලපානව.

 

Comments