
යොවුන් හදවත් තුළ වැජඹුණු ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ 20 වැනි ගුණ සැමරුම (මාර්තු 10 )ඊයේ දිනට යෙදී තිබුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
‘සඳ තනිවෙලා අහසේ හිරු තනි වෙලා උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා ‘ යන ගීතය ප්‍රවීණ සංගීතවේදී නැසී ගිය ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී සංකල්පනාවකට සහ සංගීතයට අනුව නිර්මාණය වූවකි. නැසී ගිය එච්.
ඩී. ප්‍රේමරත්න සිනමාවේදියානන් අධ්‍යක්ෂණය කළ ‘අපේක්ෂා‘ චිත්‍රපටයට එදා මෙම ගීතය ප්‍රවීණ ගායන ශීල්පිනී ඇන්ජලීන් ගුණතිලක මහත්මිය සමග ගායනා කළේ මිල්ටන් මල්ලවාරච්චි මහතා විසිනි.
මීට විසිවසරකට ඉහත දී කලාලොවෙන් සමුගත් ආදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කළ බොහෝ ගී පද සංකල්පනාවල ආත්මය බවට පත් වී තිබුණේ ප්‍රේමයයි. ප්‍රේමය අහිමිව, විරහ වේදනාවෙන් තැවුණු අව්‍යාජ යොවුන් හදවත් වලට ඔහු විසින් ගායනා කළ බොහෝ ගීත මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නා. ඔහු ගායනා කළඇතැම් ගී පද සංකල්පනා හී වාච්‍යාර්ථය අභිබවමින් ඔහුගේ ළයාන්විත හඬ යොවුන් හදවත්හි විරහ වේදනාව උච්චතම ස්ථානයට රැගෙන යාමට සමත් වූ වග රහසක් නොවේ.
යොවුන් හදවත් අසීමිත ලෙස සනහාලීමට තරම් වූ කවර ස්වරූපයක හෝ ගීතයක් ගායනා කිරීමට අවස්ථාවක් ලදහොත් එය ඉතාම භාග්‍යයක් ලෙස සැලකීමට තරම් සංවේදී හදවතක් තිබූ ඔහු එවැනි ගීත වලට උපරිම සාධාරණත්වයක් ඉටු කළේය. නැසී ගිය අග්‍රගන්‍ය ගීත නිබන්ධකයකු වූ කරුණාරත්න අබේසේකර සූරීන් විසින් රචිත ‘මදු මල ලෙස මෘදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ‘ යන ගීතයට එදා ඔහු පෞද්ගලිකව වඩාත්ම ඇළුම් කළේ ද ඒ නිසයි. එමෙන්ම ගායන ශීල්පියකු ලෙස එදා ඔහු ගොඩනගාගත් අනන්‍යතාව සහ ප්‍රතිරූපය ඔහුගේ සමස්ත සංගීත දිවියම වර්ණවත් කළා පමණක් නොව දිනෙන් දින ඔහු ඉහළ තලයකට රැගෙන යාමට ද ඉවහල් විය. වර්ෂ 1969 දී කරුණාරත්න අබේසේකර සූරීන් ගේ ගී පද සංකල්පනාවකට අනුව මොහොමඞ් සාලී මාස්ටර් විසින් සංගීතවත් කළ ‘ඔරුවක පා වෙන රෑ ගණ අඳුරේ ‘ යන ගීතය ගායනා කරමින් ගුවන් විදුලියේ ගායනයට අවතීර්ණ වූ මිල්ටන් මල්ලවාරච්චි මහතා වසර තිහකට අධික කාලයක් දේශීය ගීත ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් කළේය.
ඒ කිසියම් ආස්වාදයක් ලබාදෙන සහ අමරණීය මතකයෙන් සමුදායක් සහිත නිර්මාණ ගණනාවක් ද දායාද කරමිනි.
එලෙසින්ම රිදී තිරය තුළත් කිසියම් අනන්‍යතාවක් හිමි කර ගනු ලැබූ ඔහු චිත්‍රපට 150ක ට ආසන්න ප්‍රමාණයකට පසුබිම් ගායනයෙන් දායක වී තිබීමත් විශේෂත්වයකි. වර්ෂ 1971 දී තිරගත වූ ‘පූජිතයෝ‘ චිත්‍රපටියේ ‘සක්වල රත්වන පළිඟු තලාවක‘ යන ගීතය ඔහුගේ මුල්ම චිත්‍රපටි ගීතයයි.
පසුව රිදී තිරයට නැතිවම බැරි ගායකයෙක් බවට පත් වූ ඔහු සිනමා සක්විති ලෙස විරුදාවලිය ලැබූ ආචාර්ය ගාමිණි ෆොන්සේකා මහතා වෙනුවෙන් වැඩිම පසුබිම් ගීත ප්‍රමාණයක් ගායනා කර ඇති බවටත් වාර්තා වෙයි.
දශක තුනකට අධික කාලයක් මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කළ දහස් ගණනක ගීත සමුදාය අතුරින් බහුතරයක් අයත් වන්නේ ප්‍රේමය සහ විරහව නිමිති කරගෙන නිර්මාණය වූ ගීත ගොන්නටයි.
එලෙසින්ම දේශීය ගීත ක්ෂේත්‍රය තුළ ඔහුගේ නාමය පරම්පරා ගණනාවක සංගීත රසකාමීන්ගේ හදවත් තුළින් ඈත් නොවීමට හේතු වූයේත් ප්‍රේමය සහ විරහව විෂය කරගෙන ගීත ගායනා කිරීම හේතුවෙනි. මේ මැයි ගහ යට, සිහිනෙන් ඔබ මට, එදා රෑ ගුවන් තොටුපොළේ දී මා, පායා ආ හඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුනා , තනි වී සිටින්නයි මා අදහස් කළේ ආදී ගීත ඊට නිදර්ශන කිහිපයකි.
කිසියම් නිර්මාණයක් රසික රසිකාවියන් ගේ හදවත් තුළ දීර්ග කාලයක් රඳවා තබමින් ඔවුන්ව නිරතුරුවම වින්දනයට පත්කරලීමට සමතෙක් වේ ද ඔහු හෝ ඇය සැබෑම කලාකරුවෙකි. නැතහොත් කලාකාරිණියකි.
මිල්ටන් මල්ලවාරච්චි මහතා ද එවැනි කලාකරුවකු බව අවිවාදයෙන් කිවහැකිය. එහෙයින් ඔහු අපේ රටේ මතුනොව විදෙස් රටවල පවා සිංහල ගීත රසවිඳින රසික රසිකාවියන් සිත් තුළින් කිසි විටක දී හෝ කිසි කලක දී සමුනොගනු ඇත.