මං මිස් ජෙනිස් | සිළුමිණ

මං මිස් ජෙනිස්

සුසිරන්ද සිල්වා ගේ කුළුඳුල් අධ්‍යක්ෂණයක්

ජීවන් යනු ජීවන අරගලයට මැදිවුණු අපේ සමාජයේ ජීවත්වන තවත් එක චරිතයකි. ලිපිකරුවකු ලෙස සේවය කළ ඔහුට කිසියම් හේතුවක්මත ඔහුගේ රැකියාව අහිමි වෙයි. ඉන්පසු ජීවත් වීම සඳහා විවිධ රැකියා සොයා හෙම්බත්වන ජීවන් අවසානයේ තෝරාගන්නේ කාන්තාවක ලෙස වෙස්වලාගෙන වලව්වක කාන්තාවක් බලාගැනීමේ රැකියාවයි. පිරිමියකුට කාන්තාවක ලෙස ජීවත්වීම මොනතරම් නම් අභියෝගාත්මක කාර්යයක්ද යන්න වටහා ගන්නා ජීවන්ට එය සාර්ථකව කරගෙන යාමට හැකිවේවිද?

මේ සැබෑ ජීවිතයේ සිදුවුණු සිදුවීමක් නොවේ. එකට ගැටුම, ඉසුරු යෝගය සහ නිර්සත්වයෝ යන අතිශයින් ජනප්‍රිය වුණු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ සුසිලින්ද සිල්වා ගේ පළමු සිනමා සම්ප්‍රාප්තිය වන ‘මං මිස් ජෙනිස් ‘ චිත්‍රපටය පුරා දිගහැරෙන කතාවයි.

හපුතලේ, හික්කඩුව සහ කොළඹ යන ප්‍රදේශවල රූගත කෙරුණු ‘මං මිස් ජෙනිස්‘ චිත්‍රපටයේ ජීවන් සහ ජෙනිස් යන ද්විත්ව චරිත නිරූපණයක යෙදෙන්නේ අපේ රටේ සිටින වේදිකාව, රිදී තිරය සහ පුංචි තිරය යන කලා මාධ්‍යය තුනේම ඉදිරියෙන්ම සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියකු වන ආචාර්ය ජයලත් මනෝරත්නයි. මෙය මනෝරත්නයන්ගේ ද පළමු කාන්තා චරිත නිරූපණය වන නිසාම මෙය අපේ සිනමාවට සුවිශේෂී වෙයි.

‘‘ඇත්තටම මෙය මාගේ පළමු කාන්තා චරිත නිරූපණයයි. රංගන ශිල්පියකුට කාන්තාවකගේ චරිතයක් වේවා පුරුෂයකුගේ චරිතයක් වේවා එහි විශේෂයක් නැහැ. මේ දෙදෙනාගේම මනුෂ්‍යයන් විදිහට තිබෙන්නේ ශාරීරික වෙනස්කම් විතරයි. කලාවේ චරිත නිරූපණයේදී හැම තැනකම පාදක වන්නේ මේ මිනිසා කියන දේ විතරයි.

නමුත් පෙරදිගට හුරු පුරුදු විලාසයක් කාන්තාවකට තිබෙනවා. ඒ වගේම කාන්තාවකට ආවේනික භාව විලාසයක් තිබෙනවා. ඉතින් මම මේ චරිතය තරමක් අධ්‍යයනය කරලා පුරුදු වෙලා තමයි නිරූපණය කළේ.

මේ වගේ චරිත නිරූපණයන් ලෝක සිනමාව තුළත් අපට දැකිය හැකියි. මම එවැනි චිත්‍රපට 10 ක් 12 ක් පමණ නැරඹුවා. කාන්තා චරිත නිරූපණයන් එක වගේ වුණත්

බටහිර කාන්තාව සහ පෙරදිග කාන්තාව ලොකු වෙනසක් නැහැ සමානයි. බටහිර අයට කිසියම් වාසියක් තිබෙන නමුත් පෙරදිග රටවල අපි බලාපොරොත්තු වන්නේ කාන්තාව තරමක් ළඳ බොළඳ විය යුතුයි කියන එක. ඒ නිසා මේ චරිත නිරූපණය පහසු කාර්යයක් වුණේ නැහැ. විශේෂයෙන් කියන්න ඕන වේෂ නිරූපණ කටයුතු කළ නලීන් ප්‍රේමතිලක, ඇඳුම් පැළඳුම් කොණ්ඩා මෝස්තර සැකසුම් කළ චාම් සහ හරූන් දෙදෙනා මේ අය නිසා තමයි මම මේ චරිතය මේ විදියට නිරූපණය කළේ.‘‘ සිය චරිත නිරූපණය පිළිබඳව මනෝරත්නයන්ගේ අදහසයි.

මෙහි ජයලත් මනෝරත්නයන් සමඟ ගිරිරාජ් කෞෂල්‍ය, දුලීකා මාරපන, රොෂාන් රණවන, ජයලාල් රෝහණ, උදාරි පෙරේරා, කුමාර තිරිමාදුර, මාධනී මල්වත්ත, වසන්ත කුමාරසිරි, ගයාත්‍රි ඩයස්, කපිල සමරකෝන්, ඕෂධී නිමාෂා, අන්ජලෝ බාන්ස්, කුමාර වඳුරැස්ස සහ නිලන්ති ගුණසිංහ යන නළු නිළි කැල සෙසු චරිත නිරූපණය කරති.

සුසිලින්ද සිල්වා ගේ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණයෙන් දැනට රූගත කිරීම් නිමකෙරී ඇති ‘මං මිස් ජෙනිස්‘ චිත්‍රපටය ඩොනල්ඩ් ජයන්තගේ 56 වැනි සහාය අධ්‍යක්ෂණයයි. වෝල්ටර් අබේසුන්දර නිෂ්පාදනය කරන මෙහි අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂණයෙන්ද, නන්දන වික්‍රමගේ සහ බණ්ඩාර ඇහැලියගොඩ ගීත රචනයෙන්ද, ලක්ෂ්මන් විජේසේකර සංගීත අධ්‍යක්ෂණයෙන්ද දායක වෙයි. 

Comments