එෆ්. එම් නාළි­කා­ව­ලට මුදල් ගෙවා සිංදු දාගන්න බලා­පො‍රො­ත්තු­වක් නෑ | සිළුමිණ

එෆ්. එම් නාළි­කා­ව­ලට මුදල් ගෙවා සිංදු දාගන්න බලා­පො‍රො­ත්තු­වක් නෑ

ගුණදාස කපුගේ කලාකරුවා අප අතරින් වෙන්ව පසුගිය අප්‍රේල් තුන්වැනිදාට වසර පහළොවක් ගතවුණා. හිටි හැටියේම අපෙන් වෙන්ව ගියත් මේ සොඳුරු ගායකයාණන් ගැයූ ගීත අදත්, හෙටත් මතුවටත් රසිකයන්ගේ සිත් සතන්හි සදානුස්මරණයේ රැඳී තිබෙනවා. මේ ප්‍රවීණ ගායකයාගේ අඩුව මකන්නට ඔහුගේ පුත් මිත්‍ර කපුගේ ගායන ලොවට පිවිස අද වන විට රසික සිත් ආකර්ශනය දිනාගන්නා ගායකයකු බවට පත් වෙලා. ඒ නිසාම මිත්‍ර මෙවර රසඳුන සඳවට රන්තරු විශේෂාංගයට එක්කර ගත්තා.

 මිත්‍ර ඔබ පියාගේ ගීත පමණද ගායනා කරන්නේ..

නැහැ. මම තාත්තාගේ ගීත පමණක්ම නෙමෙයි ගායනාකරන්නේ. මගේම ගීතත් ගායනා කරනවා. එහෙත් මොන ප්‍රසංගයකට ගියත් රසිකයන් ඉල්ලන්නේ තාත්තාගේ ගීත. ඒක නිසා වෙන්න ඇති ඔයාල හිතන්නෙ මම තාත්තගෙ ගීත පමණයි ගායනා කරන්නෙ කියා.

මොනවද ඔබ ඔබගේම කියා කර තිබෙන නිර්මාණ..

2012දි මට සුමිති සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ලැබුණා. විමලරත්න අධිකාරි අධ්‍යක්ෂණය කළ කේ. බී හේරත්ගේ ඉසිවර රණකෙළි ටෙලිනාට්‍යයට තමයි එම සම්මානය ලැබුණේ. එයට අමතරව පසුගිය දිනවල වෛද්‍ය වරයකුගේ උත්සවයකට නිර්මාණ කිහිපයක්ම කළා. එයට අමතරව අලුත් ගීත දෙකක් කළා.සිනහ තොටුපළ නුඹයි කියා යූ ටියුබ් එකේ සර්ච් කළ විට එම ගීත ඇසිය හැකියි.

ඔබ කලාවට පිවිසෙන්නේ පියාගේ වියෝවෙන් පසුව නේද..

නැහැ. තාත්තා නැති වෙන්න කලින් 'ඉරබටු තරුව' සී. ඩී තැටියට පියාඹන්න ආසයි කියන ගීතය තාත්තා සමග ගායනාකළා. එම ගීතය රත්න ශ්‍රි විජේසිංහයන්ගේ පද රචනයක්. ඉන් පසුව කලාවට සම්බන්ධවනුයේ තාත්තාගේ වියෝවෙන් පසුව.

ඔබ කලක් විදේශගතව සිටියා..

උසස් පෙළ අවසන්කළාට පසුව එංගලන්තයේ දී මානවවංශ සංගීත විද්‍යාව හැදෑරුවා.ඒ සඳහා ගෞරව උපාධියක් හිමිවුණා. තාත්තාගේ හදිසි මරණයෙන් පසු නැවත ලංකාවට ආවා.

ඔබේ පියා මෙරට කලාවේ සුවිශේෂී මං සලකුණක්. ඔහුගෙන් ගුරුහරුකම් ලබාගෙන කලාවට පැමිණි කලාකරුවන් බොහෝ පිරිසක් සිටිනවා. ඔවුන්ගෙන් ඔබගේ ගමනට ලැබෙන සහාය කෙබඳුද..

තාත්තා කලාව කළේ බොහොම ස්වාධීනවයි. ඔහුට දේශපාලන දර්ශනයක් තිබුණා. දුප්පත් මිනිසුන්ට උදවුකළා. කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ, ජයතිලක බන්ඩාර, වැනි ගායකයන් කලාවට ගෙනාවේ තාත්තා. ඒ වගේම ගුවන්විදුලියේ වැඩසටහන් අධ්‍යක්ෂ වරයාව සිටියදී රත්න ශ්‍රි විජේසිංහ, පල්ලේගම හේමරතන ආදි විශිෂ්ට පද රචකයන් බිහිකරන්නත් මුල්වුණා.

අද බොහෝ කලාකරුවන්ගේ දරු දැරියන් කලාවේ ජනප්‍රිය චරිත බවට පත්වෙලා. එහෙත් ඔබ ඔවුන් අතර නැහැ.එයට විශේෂ හේතුවක් තිබෙනවාද..

ඇත්තටම මට මුදල් වියදම්කර එස්.එම්.එස් ගහල නාළිකාවල සිංදු කියන්න බලාපොරොත්තුවක් නැහැ. ඉදිරියේදි පිය සටහන් කියා ටී.එම් ජයරත්නයන්ගේ පුත් ඉසුරු ජයරත්න සමග ප්‍රසංගයක් පැවැත්වීමට හිතාගෙන ඉන්නවා. කලාකරුවන් සමග ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම වැඩ කරනවා.

නවක ගායකයෙක් ලෙස දැන් හැදෙන අලුත් ගීත ගැන මොකද හිතන්නේ..

මගේ තාත්තා ගායනා කළ 'දවසක් පැළ නැති හේනේ' ගීතය තමයි මම වඩාත් කැමති. එයට හේතුව එම ගීතයේ පදවැල් ඒ තරමටම සුන්දරයි. කොහොමත් ගීතයක් අලංකාර වෙන්න ලස්සන පදවැලක් තිබිය යුතු වෙනවා.එවිට ගීතය සවන්දීමේදි ලස්සන චිත්‍රයක් මවා ගත හැකියි. ඒ නිසා රූප රාමුවල අවශ්‍යතාවක් ඇතිවන්නේ නැහැ.මට හිතෙන්නේ දැන් හැදෙන ගීත විඳින්න බැරි වෙලා තියෙන්නේ ඒවාට යොදන රූප රාමු හේතුවෙන්. ඒ නිසා පරණ ගීතවලට මම කැම­ැතියි.

ඉදිරියේදි රසිකයන් වෙනුවෙන් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ..

‍තාත්තගේ ගීත වලට රසිකයන් ගොඩාක් ප්‍රියකරන නිසා මම හිතන්නෙ මම කොච්චර හොඳ ගීතයක් කළත් එය රසිකයන් වැළඳගන්නවා අඩුයි. ඉදිරියේදි මගේම කියා අලුත් නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම දේටම මට සහාය දෙන්නේ මගේ මව ප්‍රේමා කපුගේ. අනෙක් සොහොයුරියන් දෙදෙනාගෙන් එක්කෙනෙක් විදෙස්ගතව සිටින අතර අනෙක් සොහොයුරිය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරියක් ලෙස සේවය කරනවා.

 

 

Comments