
සිග්නීස් අන්තර්ජාතික සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාව විසින් 41 වැනි වරට පවත්වනු ලැබූ සිනමා හා ප්‍රාසංගික ටෙලිනාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විණි. ඒ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදීය.
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ සිග්නීස් අන්තර්ජාතික සංවිධානයේ සභාපතිනී හෙලන් ඔස්මන් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙවර සිග්නීස් ජූරි සභික මණ්ඩලය ලෙස සිග්නීස් ශ්‍රි ලංකා අධ්‍යක්ෂ සහ ජූරි සභාපති ගරු ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු (නි.ම.නි) පියතුමා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය මාලිනී ෆොන්සේකා, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ බාහිර කථිකාචාර්ය සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ ලේඛක හා ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩිප්‍රි කුරේ යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.
මෙවර සම්මාන පිරිනැමීම සඳහා ඉදිරිපත් වූ චිත්‍රපට සංඛ්‍යාව 26ක් වන අතර ටෙලි නාට්‍ය 18ක් සඳහා සම්මාන පිරිනැමුණු අතර සිග්නීස් අන්තර්ජාතික උපහාර උත්තමාචාර සම්මාන තුනක් පිරිනැමිණි. ඒ රංගවේදිනී කාන්ති ලංකා, සුමනා අමරසිංහ, සහ චිත්‍රපට සංරක්ෂක හා නිෂ්පාදක තිස්ස නාගොඩවිතානටය. මෙවර සිග්නීස් ප්‍රණාම සම්මාන පිරිනැමුණේ ගරු මර්සලින් ජයකොඩි පියතුමා, තිස් වසරක අනුස්මරණ සැමරුම වෙනුවෙනි.