
එකල අපට රුපවාහිනියක් නොතිබිණි. බොහෝ විට අප දුව ගියේ එහා ගෙදරටය. එහා ගෙදර යැයි කීවාට ඒ ගෙය පිහිටා තිබුණේ මීටර් පනහකට වැඩි දුරකිනි.
“විජේ (විජය කුමාරතුංග) ඉන්න චිත්‍රපටයක් හෙට යනවා”
එහා ගෙදර අක්කා ලොකු අක්කාට කීවේ තාත්තාට රහසිනි. කෙසේ හෝ ලොකු අක්කා ‘විජේ’ ඉන්න චිත්‍රපටය බලන්න ගියේ මා සමඟිනි. කළු සුදු රූපවාහිනියේ චිත්‍රපටය විකාශය විය. පුංචි මම කට ඇරගෙන බලා සිටියෙමි. ඒ ‘හන්තානේ කතාව‘ චිත්‍රපටයයි.
“මොකක්ද හන්තානේ කියන්නේ”
“දන්නේ නෑ”
අක්කා ඉඟි බසින් කීවාය.
හන්තානේ ගැන මුල්ම මතකය එයයි. කාලය ගෙවී ගියේය. හන්තානය හා බැඳුණු ගී බොහෝමයත් අසා ඇත. නොගිය හන්තානයට මෙන්ම නොගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අදත් සිතින් ආදරය කරමි. නමුදු පසු කලෙක කිහිප වරක්ම විශ්වවිද්‍යාල භුමියේ ඇවිදින්ට අවස්ථාව ලදිමි. මේ නිසාම පේරාදෙණි විශ්වවිද්‍යාලය ගැන ලියැවුණ ගීවලට දැනුදු අපමණ ලෙස ආදරය කරමි. ඒ ආදරය නිසාම දෝ මන්දා හන්තානය යන වචනය ඇති ගීතයක් ඇසුණ සැණින් හිත ඒ ගීතය පිළිබඳ විපරම් කරයි. එසේ විපරමින් සිටිය මොහොතක ඇසුණු ගීයකි “සන්තාන සුසුම්”. මේ ගීය ගයන යොවුන් පරපුරේ ගායන ශිල්පි සුනීර සුමංග දිනෙක රසඳුනට ආවේය. සුමීර (මුලින්ම අපට හඳුන්වා දුන්නෙත් ඔහුගේ පළමු ගීතය වන හන්තාන සුසුම් ගීය මුලින්ම අප වෙත එව්වෙත් ඇමරිකාවේ වෙසෙන සන්ධ්‍යානි සේනාරත්න සොයුරියයි) තොරතුරු කතාබහ කරමින් සිටින විටෙක ඔහු පැවැසුවේ අලුත් ගීතයක් කරන්නට නියමිත බවය.
සූනීර ගේ යොවුන් ලයාන්විත ගැඹුරු සොඳුරු කටහඬ අප සොඳුරු ඉසව්වකට කැඳවාගෙන යන්නේය. “හන්තාන සුසුම්” ගීයේ පද රචකයා වන නුවන් ලියනගේට අප ඇමතුවෙමි.
“මම උසස් පෙළට පාඩම් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න බලා ගෙන. ඒ සිහිනය හැබෑ කරගන්න බැරි වුණා. නමුත් පහුකාලෙක නුවර යද්දි පේරාදෙණිය විශ්ව විද්‍යාලය පැත්තට වාහනය හරවනවා. ඒක මාර ලෝකයක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මල් පිපෙන කාලයට හරි අපූරුයි. දවසක් නුවර යන ගමන් හෙළ බොජන් හලේ නතර වෙලා කෑම ගන්න ගමන් හන්තාන කන්ද දිහා බැලුවා. (ඒක වුවමනාවෙන් බලනවා නෙමෙයි ඉබේටම බැලෙනවා.)
හන්තානේ දකින විට මට සිහි වෙන්නේ නන්දා මාලනිය ගයන ‘හන්තාන අඩවියේ’
ගීතය. කී දෙනකුගේ සුසුම් මේ කන්දේ හැපෙන්න ඇද්ද? ඒ වගේම තමයි දැන් තිබෙන අධ්‍යාපන ක්‍රමය. එය සංඛේතවත් කරමින් තමයි
‘වැල් පාලම ගත සොලවා
අපි බය ද කියා බැලුවා...’
කියන පද ලියැවුණේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බද්ධ වෙච්ච තැන තියෙනවා. එකක් තමයි පේරාදෙණියේ වළ. මහාචාර්ය සරත්චන්ද්‍රයන් මනමේ කෙරුවේ මෙතැනදි. පේරාදෙණියේදී කී දෙනකුට තම පෙම්වතිය අහිමි වෙන්න ඇතිද? කීදෙනෙක් ආදරයෙන් බැඳී ඉඳලා වෙන් වෙන්න ඇතිද?
තම පෙම්වතිය බිරිය වෙන කෙනකුට දෙන්න හේතුව තමන්ම වෙන්න පුළුවන්. තමන්ගේ යම් අඩුපාඩුවක් වෙන්නට පුළුවන්.
‘වැදි රජුට කඩුව පවරා
වළ ළඟදි මනමේ හැඬුවා...‘එනිසයි එලෙසින් ලියැවුණේ.
ප්‍රේමය, විරහව, අධ්‍යාපය වගේම මට පේරාදෙණිය අහිමි වීමේ දුකත් මේ ගීතයේ ලියැවීමේදී මගේ අත්දැකීම් අතර වුණා. සුනීර මල්ලිව පුංචි කාලේ ඉඳලා දන්නවා. සූනීර රියැලිටි වැඩසටහනින් ජයග්‍රහණය කළාම ඔහු ඔහුගේම සින්දු කියලා මඟ හදාගන්න ඕන කියලා අපි හිතුවා. මම මේ ගීතය ලියලා අවුරුදු දෙකක් විතර වෙනවා. තිළිණ රුහුණුගේ වෙනස්ම තලයක ඉන්න සංගීත ශිල්පියෙක්. ඔහු කුඩා කාලේ හැදිලා තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළේ. කොහොම වුණත් මේ ගීතය ට තනු නිර්මාණය කරන්න පෙර සුමංග, තිළිණ මම එක් වෙලා පුළුල් තිරයක පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඒ අවට භුමියේ ඡායාරූප ගණනාවක් බැලුවා. පැයක් විතර එහෙම බලාගෙන යද්දි තමයි තිළිණ එක්වරම මෙයට තනුවක් නිර්මාණය කළේ.
එක්තරා විදිහකට බැලුවොත් තිළිණගේ සංගීත ජීවිතයේ වගේම සුමංගගේ ගායන දිවියෙත් මේ ගීතය එක්තරා හැරවුම් ලක්ෂයක් විදිහයටයි මම දකින්නේ. සන්තාන සුසුම් ගීතය වෙනුවෙන් රූප රචනය කළේ සාරංග මෙන්ඩිස් සොහොයුරා.”
ගීතයේ අත්දැකීම හා එහි වට පිටාව ගැන නුවන් පවසන්නේ එවැනි කතාවකි.
තම පළමු ගී නිර්මාණය ගැනත් එහි සාර්ථක බව ගැනත් කතා කරන සුනීර පවසන්නේ මේ සියලු කටයුතු සඳහා දායක වූ සියල්ලන්ටම තම ආදර ගෞරවය පිරිනමන බවලු.