මාලිංග අඩව්වකට සැරසෙයි ? | සිළුමිණ

මාලිංග අඩව්වකට සැරසෙයි ?

එළැඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිවීමත් සමඟම ලෝක කුසලානයට ද තමන් සුදුසු නොවන නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට ලසිත් මාලිංග තීරණය කර ඇති බව වාර්තා වෙයි. අන්තර් පළාත් සුපිරි එක්දින තරගාවලියේ සම ශූරයන් වූ ගාල්ල කණ්ඩායමේ නායකත්වය දැරූ මාලිංග එකී තරගාවලිය අතරතුරදී දෙවරක් ම ඉන්දීය ප්‍රීමියර් ලිග් තරගාවලියට එක්වීම ද විශේෂත්වයකි.

පසුගිය වසරේ පැවැති නවසීලන්ත එක්දින තරගාවලියේ පටන් විස්සයි 20 තරඟවල ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මාලිංගට හිමි වූ අතර, එහිදී මාලිංගගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට අකැමැති බව ක්‍රීඩකයන් කිහිප දෙනකු ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිලි කළ අතර එහිදී වඩාත් ආන්දෝලනාත්මක සිදුවීම වූයේ තිසර පෙරේරා විසින් යොමු කරන ලද ලිපියයි. මේ සියල්ල සැලකිල්ලට ගත් ක්‍රිකට් ආයතනය මෙවර අන්තර් පළාත් සුපිරි තරගාවලිය සංවිධානය කළේ ද ලෝක කුසලානයට කණ්ඩායම තෝරා ගැනීමට පෙරහුරුවක් වශයෙන් සහ නායකත්වයට සුදුස්සකු තෝරා ගැනීම මූලික අරමුණු කර ගෙනය.

මෙකී සුපිරි පළාත් තරගාවලිය පිළිබඳව ද මාලිංග තරගයක් අතර වාරයේ ප්‍රකාශ කළේ තරගාවලි කරන්නන් වාලේ කිරීමේ කිසිම තේරුමක් නොමැති බවයි. එමෙන් ම තරග සංවිධායකයන් හිස් ආවරණය සඳහා හරි හැටි තොප්පියක්වත් ලබාදීමට නොහැකි තරම් බංකොලොත් බවත්, හරි හැටි විවේකයක් පවා නොමැතිව තරග කිරීම ගැන බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බවයි.

සුපිරි පළාත් තරගාවලියේ නායකයන් ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් හා දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ද මාලිංග විවේචනාත්මක අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කර ඇතැයි මේ අතර වාර්තා විය.

මේ අතර තේරීම් කමිටු සභාපතිවරයා මීට පෙර අවස්ථා ගණනාවකදීම ප්‍රකාශකර තිබුණාවූ, අපි කාටවත් නායකත්වය දෙනවා කියලා පොරොන්දු වෙලා නෑ. මාලිංගට දුන්නේ දකුණු අප්‍රිකානු තරගාවලියේ නායකත්වය විතරයි. අනික අපට කාටවත් පොරොන්දු දෙන්න බෑ, මෙයාට නායකත්වය දෙනවා කියලා. මුලින් ම ලෝක කුසලානයට යන ටීම් එක තෝරලා ඉන්න ඕනෑ, ඊට පස්සේ තමයි නායකයා කවුද කියලා තීරණය කරන්නේ.

තිස්පස් වැනි වියේ පසුවන මාලිංග මේ දක්වා එක්දින තරග 218කට ක්‍රීඩා කර කඩුලු 322 ක් දවා ගෙන තිබෙන අතර ලෝක කුසලාන තරග (2007 - 2015) 22 කදි කඩුලු 43ක් බිඳ දමා තිබේ. මේ වසරේ තරග 8කදී කඩුලු 11 ක් බිඳ දමා තිබෙන අතර සාමාන්‍යය 38.18කි. මේ තරග අට ම ශ්‍රී ලංකාව පරාජය වී තිබේ. දිමුත් අවසන් වරට එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ 201‍5 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිවය.

Comments